හලාවත වැවිලි සමාගම කජු නිෂ්පාදනයේ ප්‍රමුඛයා වෙයි | දිනමිණ


 

හලාවත වැවිලි සමාගම කජු නිෂ්පාදනයේ ප්‍රමුඛයා වෙයි

කොවිඩ්  අතරේ නෙළූ  ඓතිහාසික අස්වැන්න

සුළඟ සිහිලැල්ය. දුරින්දුරට ඈත දිනක දුටු සිතුවමක් සිහිවන අන්දමේ නෙත පිනවන මුහුදු දසුනය. පුත්තලමෙහි කෙලවරක සයුරු මානයේ මොහොතකට නතරවීමු. මේ හලාවත වැවිලි සමාගමට අයත් තම්බපන්නි වතුයායේ එක් කෙළවරකි. කජුගසින් පිරි වතුයායක් මැද්දෙන් අප මෙහි පැමිණියේ එහි ඇති සොඳුරුතම ඉසවුවක් දැක ගැනීමේ අදහසින් යුතුවය. වැවිලි කර්මාන්තය හා බැඳි සංචාරක කර්මාන්තයට ප්‍රවේශ විය හැකි මේ අපූරු ස්ථානයට සංචාරක කර්මානතය සඳහා පහසුකම් සැපයිය හැකි තෝතැන්නකි. බෝටිටු ආශ්‍රිත කළපු සංචාරයක්, නැවුම් මුහුදු ආහාර සපිරි ආහාර වේලක් විඳ ගැනීමට මෙන්ම නාඹර කජු හා කජු පුහුලන් ඇසුරින් සැකසූ වයින් ආදියෙන් සප්පායම්වීමටත් බටහිර මුහුදේ සොඳුරුතම දසුන් දැකගැනීමටත් මේ ස්ථානය අනාගතයේ දිනෙක කදිම තෝතැන්නක් වනු නොඅනුමානය. සොබාදහමේ සොඳුරුතම දායාදයන් උරුමකරගත් හලාවත වැවිලි සමාගමෙහි වත්කම් අතරින් මිල කළ නොහැකි මෙබඳු ස්වභාවික ස්ථාන සේම එම සමාගමෙහි ආදායම් ඉහළ දැමීම සඳහා කණ්ඩායමක් සේ කටයුතු කරමින් කළමනාකාරීත්වය හා සේවක මණ්ඩලය කර ඇති සේවය අමිල මෙහෙවරකි. මේ ඒ පිළිබඳ විමසුමකි.

ශ්‍රී ලාංකික සංස්කෘතිය හැඳින්විය හැකි තවත් වදනකි "කෘෂිකාර්මික සංස්කෘතිය". කෙසේ වෙතත් පසුගිය වකවානුවේ කෘෂිකර්මාන්තයට හිමි වූයේ අල්ප සැලකිල්ලකි. මේ හේතුවෙන් වැවිලි කර්මාන්තයෙන් ලාභ ඉපයීමට හැකියාව ඇත්තේ පෞද්ගලික අංශයට පමණක් බවට ද මතයක් ඇති විය. මෙයින් ඉස්මතු වූයේ රාජ්‍ය ව්‍යවසාය ලෙස පවතින වැවිලි ක්ෂේත්‍රයේ ආයතන රජයේ මුදල් නාස්ති කරන සුදු අලින් බවයි.

මේ චෝදනාව සෑම විටම සෑම ආයතනයකටම සාධාරණ නොවන බව තහවුරු වන පුවත් ඉඳහිට හමු වෙයි. මේ එවැනි පුවතක් පිළිබඳ නොවේ. කලක් තිස්සේ සැලසුම් සහගතව වඩාත් ක්‍රමානුකූලව ගොඩනඟා ඉන් අනඟි ප්‍රතිඵල නෙළා ගැනීමට සමත්ව ඇති හලාවත වැවිලි සමාගම පිළිබඳයි.

මෙරට කජු සඳහා කටයුතු කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන්නේ කජු සංස්ථාවයි. උතුරු නැඟෙනහිර, උතුරු මැද, වයඹ ආදී පළාත් ආශ්‍රිතව විශාල ඉඩම් ප්‍රමාණයක් කජු සංස්ථාව සතු වුවත් 2020 වර්ෂයේ දී රාජ්‍ය ආයතන සියල්ල අභිභවා වාර්තාගත කජු අස්වැන්නක් නෙළා ගැනීමට හලාවත වැවිලි සමාගම සමත් විය. මෙයට අමතරව හලාවත වැවිලි සමාගම සතුව පොල්, රඹුටන්, ගම්මිරිස්, කුරුඳු, ඩ්‍රැගන්පෘට් වගාවන්ද සාර්ථකව නඩත්තු කරමින් පවතී.

ඒ පිළිබඳ හලාවත වැවිලි සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් රූකාන්ත පෙරේරා මහතා දැක්වූ අදහස් මෙසේයි. " කජු නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්වීම අප ලද ජයග්‍රහණයක්. කජු කෑම තරමට හොඳ කජු අස්වැන්නක් ලබා ගැනීම හා නෙළා ගැනීම දුෂ්කර කටයුත්තක්. ඒ දුෂ්කරතා ජයගෙන අස්වැන්න උපරිම මට්ටමට ඉහළ දැමීමට හැකිවීම අප සතු දක්ෂතාවයක් ලෙසයි මා සලකන්නේ. අක්කර 1,600කින් අප ලද අස්වැන්න ටොන් 202ක්. පසුගිය වසරේ ලද අස්වැන්න වූයේ ටොන් 153ක ප්‍රමාණයක්. මේ වසරේ දී එය 25% වැඩි කිරීමට හැකිවී තිබෙනවා. මෙවැනි වාර්තාගත අස්වැන්නක් ලබාගැනීම සඳහා බලපෑ ප්‍රධානතම කාරණය කළමනාකරණය වඩාත් ශක්තිමත් කර දූෂණය හා නාස්තිය හැකි උපරිමයෙන් අවම කිරීමයි. කජු රසය වගේම එහි මිල ඉහළ නිසාත් කජු වාරයට බොහෝ දෙනකුගේ ඇස් අපගේ වතු දෙස යොමුවන්නේ නිතැතින්මයි. මේ අතරින් පිරිසක් අස්වනු නෙළා ගැනීම ආසන්නවීමේදී වාරය කජු හොරකමේ යෑම සඳහා සැලසුම් කරනවා. මේ පිරිසගෙන් වතු ආරක්ෂා කිරීම ඉතා දුෂ්කරයි. කජු සංග්‍රාමය ලෙස අස්වනු නෙළීම හැඳින්විය හැකි තරමට ත්‍රාසජනයක දුෂ්කර අත්දැකීම් සහිත කටයුත්තක්. මෙය පාලනය කිරීම සඳහා හඳුනාගත් විකල්පය සිවිල් ආරක්ෂක නිලධාරීන් වතුවල ආරක්ෂාව සඳහා යොදවා ගැනීමයි. මේ ක්‍රමය බොහෝදුරට සාර්ථක වූ අතරම දිවා රාත්‍රි අස්වැන්න ආරක්ෂා කිරීමේ අරමුණින් වෙහෙසෙන නිලධාරීන් නිසා අස්වැන්න අපතේ යෑම වළක්වා ගැනීමට හැකියාව ලැබුණා. අස්වනු නෙළීමේ කටයුතු යෙදී තිබු‍ණේ කොවිඩ් 19 වසංගතය සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ වකවානුවේයි. මේ කාලයේ දී දිවා රාත්‍රි නොබලා සේවය කළ අය අතර අපගේ කාර්ය මණ්ඩලයට හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. අපගේ අස්වැන්න ආරක්ෂා කළ යුතු ප්‍රධානතම බාධකය සොර සතුරන්. රජයේ වත්තෙන් කජු හොරා ගැනීමට පුරුදු වූ පිරිසක් සිටිනවා. එය ලැජ්ජාවට කරුණක් ලෙස වැඩි දෙනකු නොසලකන අතර, වීර ක්‍රියාවක් චන්ඩි වැඩක් ලෙස සලකන තත්ත්වයක් ඇතිවී තිබුණා. රටේ නොයෙක් ප්‍රදේශවල සේවයට ගොස් සිටින ඇතැම් අය කජු අස්වැන්න නෙළන කාලයට ගමට සේන්දු වෙන්නේ දවසක් දෙකක් මහන්සියෙන් සොයන වේතනය පැයක් දෙකක් කජු ඇහිඳීමෙන් උපයා ගැනීමටයි. මේ අය රාත්‍රියේ මෙන්ම පාන්දරද සංවිධානවී කජු වතු වෙත පැමිණෙන්නේ පැය කිහිපයක් ඇතුළත හැකි උපරිමයෙන් කජු අහුලා ගැනීමටයි. පසුගිය වකවානුවේත් මෙවැනි සංවිධානාත්මක පිරිස් සමඟ අපගේ නිලධාරීන් නිරන්තරයෙන් ගැටුම් අති කර ගැනීම් වාර්තා වුණා. කොවිඩ් 19 ඇඳිරි නීති සමයේ අපගේ නිලධාරීන් බොහෝ දෙනකුට පොලීසි, උසාවි තුළත් මේ නිසා රාජකාරි කිරීමට සිදුවී තිබුණා. සොරුන් මෙල්ල කිරීමට අවම බලය යෙදීමට සිදු වූ අවස්ථා කොතෙකුත් වාර්තා වුණා. එලෙස කටයුතු කිරීම නිසා අස්වැන්න සුරක්ෂිතව රැස් කිරීමට අපගේ නිලධාරීන්ට හැකිවී තිබෙනවා. "

හලාවත වැවිලි සමාගම සතු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 5,733ක් වෙනවා. රජයේ ඉඩම් ජනසතු කිරීමේ ක්‍රියාවලියට අනුව සමාගමක් බවට පත්වූ හලාවත වැවිලි සමාගම පුත්තලම දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රිකය අතර විහිදී තිබෙන පොල් වගාව ප්‍රමුඛ කොටගත් වැවිලි සමාගමකි. හලාවත වැවිලි සමාගම සතු ප්‍රමුඛතම වතු ප්‍රදේශ 8කි. ඒවා පිහිටි ස්ථාන අනුව මෙලෙස නම් කර ඇත. පලුගස්වැව, මංගලඑළිය, පුත්තලම, හලාවත, නිකවැරටිය, බිංගිරිය, මාදම්පෙ, දිවුලපිටිය. දකුණු ආසියාවේ තනි යායක් ලෙස පැතිරී ඇති විශාලතම පොල් වගාව පිහිටා ඇත්තේ හලාවත වැවිලි සමාගම යටතේ පාලනය වන පලුගස්වැව වතුයායේවීම ද හලාවත වැවිලි සමාගමෙහි වපසරිය පිළිබඳ කියැවෙන්නකි. ඉතා සාර්ථක පොල් වගාවක් ලෙස නඩත්තු වෙන මේ පොල් වතුයායෙහි අමතර ආදායමක් ලබා ගන්නේ මී ගව පාලනයෙනි. ඒ ආශ්‍රිතව මුදවපු යෝගට් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන අතරම, පොල් අස්වැන්න පොල් සහ කොප්පරා ලෙසින් පමණක් අලෙවි නොකොට කප්රුක යන වෙළෙඳ නාමය යටතේ නැවුම් උසස් පොල් තෙල් නිෂ්පාදනයක් ද හඳුන්වා දෙමින් ආදායම් පුළුල් කිරීම සඳහා කටයුතු කර ඇත.

සුළු වශයෙන් හලාවත වැවිලි සමාගම යටතේ කජු වගා කර පැවතියත් විධිමත් ලෙස කජු වගාව ආරම්භ කරන්නේ 2002 වසරේදීයි. ඒ තම්බපන්නි වතුයායෙහි එවකට වතු අධිකාරි ලෙස කටයුතු කළ වත්මන් සහකාර සාමාන්‍යාධිකාරි බන්දුජීව හෙට්ටිආරච්චි මහතාගේ නායකත්වය යටතේයි. ඒ අනුව අක්කර 1,600ක් පුරා කජු පැළ 60,000කට වැඩි ප්‍රමාණයක් සිටුවා ඇති අතර, මෙසේ පළදරන්නේ එම කජු වගාවයි. කජු වගාව සඳහා කටුක දේශගුණය මෙන්ම වැලි සහිත පසද වැදගත්ය. හලාවත වැවිලි සමාගම සතු මෙවැනි ඉඩම් කජු වගාව සඳහා යොදාගෙන ඇති අතර, කජු පැළ සිටුවීම මෙන්ම එය වසරක පමණ කාලයක් රැකබලා ගැනීම ද කැපවීමෙන් කළ යුතුය. වේගයෙන් ව්‍යාප්ත වන කැලයෙන් මෙන්ම වියළි දේශගුණය නිසා මිය යෑමට නොදී පැළ ආරක්ෂා කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතුය. වතු අධිකාරිවරයා මෙන්ම සහකාර වතු අධිකාරිවරුන්ගේ කැපවීම කොතෙක්ද යන්න කජු පැළ මහ කජු ගස් බවට පත්වීම පිටුපස ඇති කතාවයි. "මේ කජු ගස් හැදුවේ අපේ අත්වලින්. ඒ නිසා රැකියාවට එහා ගිය බැඳීමක් මේ වගාවත් එක්ක අපිට තිබෙනවා. ඒ නිසා මෙයින් ලැබුණ අස්වැන්න රැක ගැනීමට අප දිවාරෑ නොබලා මහන්සි වුණා." තම්බපන්නි වතුයායෙහි වත්මන් වතුඅධිකාරි සුමේධ පෙරේරා මහතා පැවසුවේ එසේයි. අතීතයේ තම්බපන්නි ලෙස හැඳින්වූ වතුයාය වර්තමානයේ පරිපාලන පහසුව සඳහා තම්බපන්නි හා මංගලඑළිය යනුවෙන් වතුයායන් දෙකක් ලෙස වතු අධිකාරිවරුන් දෙදෙනෙක් යටතේ බෙදා පාලනය කෙරෙන්නේ පාලන පහසුව සඳහා බව පවසන්නේ සහකාර සාමාන්‍යාධිකාරි බන්දුජීව හෙට්ටිආරච්චි මහතායි. සොරසතුරු උවදුරු වගේම වතු ආශ්‍රිතව මතු වන ගැටලු සඳහා පිළියම් සෙවීමේදී භූමි වපසරිය සීමාවීම වඩාත් වැදගත්. මෙවර අස්වැන්න ඉහළ යෑමට බලපෑ කරුණු අතර වතු අධිකාරින් දෙදෙනකු යටතේ පාලනය බෙදී යෑම මූලික හේතුවක්. මේ නිසා අවධානය වැඩිවී ගැටලු අවම කර ගැනීමට හැකිවී තිබෙනවා.

මංගලඑළිය වතුයායෙහි වතු අධිකාරි පියල් ධර්මසේන මහතා පවසන්නේ මෙවර වාර්තාගත අස්වැන්නක් ලබාගැනීම පිටුපස ඇති රහස ඉහළ කළමනාකාරිත්වයෙහි සහාය උපරිමයෙන් වතු කටයුතු සඳහා හිමිවීම බවයි. "අස්වැන්න නෙළීමේ කටයුතු අපි ආරම්භ කළේ මාර්තු 20 වැනිදා කොවිඩ් ගැටලුව ඉතා ඉහළින් පැවති අවදියේයි. සභාපතිවරයා, සාමාන්‍යාධිකාරිවරයා වගේම සහකාර සමාන්‍යාධිකාරිවරුන් ක්ෂේත්‍රයේ කටයුතු පවා නිරීක්ෂණය කිරීමට අනපේක්ෂිතව පැමිණ ඒ සඳහා අප දිරිමත් කළා. අපට ඒ පිළිබඳ විශ්වාසය තබමින් අවස්ථානුකූලව තීරණ ගැනීමට මෙන්ම කටයුතු කිරීමට සහාය ලබාදුන්නා. අත්‍යවශ්‍ය සම්පත් කඩිනමින් සපයා දීම වැනි කටයුතු නිසා අස්වැන්න අපතේ යා නොදී කටයුතු කිරීමට හැකි වුණා."

මෙවර වාර්තාගත අස්වැන්නක් ලැබීම පිළිබඳ සාමාන්‍යාධිකාරි මහින්ද රණවීර මහතා පවසා සිටියේ විශ්වාසයෙන් යුතුව ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කිරීම සඳහා නායකත්වයක් ලැබීම හේතුවෙන් ජයග්‍රහණ කරා ප්‍රවේශවීමේ හැකියාව ලැබී ඇති බවයි. සභාපතිවරයාගේ නායකත්වය සහ නීතිය පිළිබඳ විශාරද දැනුමකින් යුතුවීමත් සමාගමෙහි ශක්තියට හේතුවක් බවයි. මෙවර ටොන් 202ක අස්වැන්නක් ලබාගත් අප 2021 වසරේ දී එය ටොන් 250ක් දක්වා වැඩි කිරීමයි අරමුණ. ඒ සඳහා වතු අධිකාරිවරුන් සතු සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. තවමත් පළ නොදරන කජු ශාක මේ වනවිටත් හඳුනාගෙන තිබෙනවා. මල් හට නොගන්නා මේ ශාකෙවල මල් හට ගැනීම සඳහා හෝමන ඉසීම එක් සැලසුමක්.

කජු අස්වැන්න වැඩි කිරීමට පමණක් නොවේ සමාගමක් ලෙස ආදායම ඉහළ දැමීම සහ පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමයි අපගේ අරමුණ. හලාවත වැවිලි සමාගම යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන වතුකලාප 08ට විශේෂිතව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීම සඳහා එක් වතුකලාපයකින් ව්‍යාපෘති 02 බැගින් ව්‍යාපෘති 16ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් වඩාත් කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමයි අරමුණ. ඒ අනුව පානීය ජල බෝතල් කර්මාන්තයක් ආරම්භ කිරීම මෙන්ම කෘෂිකර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යපාරයක් ආරම්භ කිරීමටත් සැලසුම් පවතිනවා. කණ්ඩායමක් විදිහට අපේ අරමුණ හලාවත වැවිලි සමාගම සතු සම්පත් ජාතික සම්පත් ලෙස ඉහළට ඔසවා තැබීමටයි.

 

සටහන - බුද්ධිකා බ්‍රාහ්මණගේ

 

නව අදහස දක්වන්න