වර්තමාන වෙළෙඳ ලෝකයේ වර්ණ භාවිතය සාධාරණ ද? | දිනමිණ


 

වර්තමාන වෙළෙඳ ලෝකයේ වර්ණ භාවිතය සාධාරණ ද?

අද වෙළඳපොළ ඇත්තේ තරගකාරී තත්ත්වයකි. ඔවුන් සැම විටම උත්සාහ කරණුයේ පාරිභෝගිකයන් කෙසේ හෝ තමා වෙත ඇඳ බැඳ තබා ගැනීමටය. ඒ සඳහා එක්තරා මාධ්‍යයක් නම් වර්ණ භාවිතයයි. ආහාරපානවල ඇසුරුම් සඳහා බොහෝදුරට තද වර්ණ භාවිත කිරීම දැකිය හැකි අතර, ඇඳුම්පැලඳුම් සඳහා දීප්මත් ළා වර්ණයන් බහුලව යොදා ගනී. ඊට අමතරව ඔවුන් මේ සඳහා සරල වර්ණ හැකිතාක් යොදා ගන්නා බව පෙන්නුම් කරයි. පුවත්පත්, සඟරා පිටකවර නිර්මාණයේ දී තද හෝ ලා වශයෙන් වෙන් නොකර වෛවර්ණ භාවිත කරයි. ඒ අනුව විවිධ වර්ණ සඳහා දී ඇති අර්ථකථන එකිනෙකට වෙනස් වේ.

රක්ත වර්ණය

අාහාර රුචිකත්වය වැඩි කරයි. බොහෝ ක්ෂණික ආහාර වෙළෙඳාම් කරන ව්‍යාපාරිකයෝ මේ වර්ණය යොදා ගනිති. පාරිභෝගිකයන්ගේ විශේෂ අවධානය ලබා ගත යුතු කරුණු සඳහා රක්ත වර්ණය යොදා ගැනීමෙන් වැඩි අවධානයක් ලබා ගැනීමේ හැකියාවක් පවතී. ප්‍රේමය, රාගය උද්දීපනයො කරන වර්ණයක් බැවින් ඒ හා බැඳුණු නිෂ්පාදනවල දී මේ වර්ණය බෙහෙවින් යොදා ගනු ලබයි.

නිල් වර්ණය

නිල් පැහැය යනු ලොව වැඩි දෙනෙක් රුචිකත්වයක් දක්වන වර්ණයක් වන අතර, එය සාමය, ජලය, විශ්වාසවන්ත බව වැනි දේ සමඟ එකිනෙකට බැඳුණු වර්ණයකි. නිල් පැහැය මගින් ආරක්‍ෂාව, සුරක්‍ෂිතතාව ඉස්මතු කරනු ලබයි. සන්නිවේදන ආශ්‍රිත ව්‍යාපාර සඳහා ද මේ වර්ණය භාවිතෙ කෙරේ. ලොව ප්‍රචලිත ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියේ වර්ණය ලෙස නිල් පැහැය යොදා ගෙන ඇත්තේ ඒ හේතුවෙනි.

දම් වර්ණය

රාජකීයත්වය හා බැඳුණු වර්ණයක් වන අතර, නිදහස සහ ගෞරවය මේ වර්ණ මගින් පෙන්නුම් කරනු ලබයි. මේ වර්ණය මගින් ගැටලු විසඳීමේ හැකියාව සහ නිර්මාණශීලීත්වය පෙන්නුම් කරයි. බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා මේ වර්ණය යොදාගනු ලබන අතර, වියපත්වීමෙ වළක්වන ආලේපන වර්ග මේ අතර විශේෂ වේ.

කහ වර්ණය

සතුට දනවන වර්ණයකි. කහ පැහැය කුඩා දරුවන් බිය ගැන්වීමට සමත් නිසා ළදරු නිෂ්පාදන සඳහා මේ වර්ණය යොදා නොගනී. අනෙකුත් වර්ණයන්ට ප්‍රථමව අවධානය ලබා ගැනීමේ හැකියාවක් පවතින අතර, බස් රථ, කුලී රථ සහ එම රථයන්හි පුවරු සඳහා කහ වර්ණය භාවිත කරනු ලැබේ.

සුදු වර්ණය

සුදු පැහැය බොහෝ වෙබ් අඩවි නිර්මාණයේදී භාවිත කරයි. තනි වර්ණයක් ලෙස යොදා ගැනීම මගින් තනිකම සහ හිස් බව පෙන්නුම් කරන අතර, ඒ නිසාම සුදු පැහැය අනෙක් වර්ණ සමඟ සමබරව යොදාගනු ලැබේ.

තැඹිලි වර්ණය

යම් නිෂ්පාදනයක රසවත් බව සහ විනෝදාත්මක බව පෙන්නුම් කිරීමට මේ වර්ණය යොදා ගනී. එමෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ උපකරණ සහ වෙබ් අඩවී මේ වර්ණය යොදා ගනු ලබන්නේ ඒ හරහා යම් උත්තේජනයක් සපයන බැවිනි.

කළු වර්ණය

කළු පැහැය අධිකාරිත්වය හඟවන වර්ණයක් වන අතර, බලය, සථාවරත්වය, ශක්තිය සහ ඇතැම් අවස්ථාවලදී බුද්ධිමත් බව හඟවනු ලබයි. බොහෝ ව්‍යාපාර මේ වර්ණය භාවිත කරනු ලබන්නේ ස්ථාවරත්වය පෙන්නුම් කිරීමටය.

අළු වර්ණය

අළු පැහැය මගින් ප්‍රායෝගිකත්වය, වයෝවෘද්ධභාවය, ඒකමතිකභාවය වැනි දේ අඟවන නමුත් වැඩි වශයෙන් අළු පැහැය භාවිත කිරීම මගින් හිස් බව සහ මානසික ව්‍යාකූලත්වය නිරූපනය කරනු ලබයි.

මෙයට අමතරව වර්ණවල දීප්තිමත් බව සහ අඳුරු බවද බොහෝ නිෂ්පාදකයන් සහ සේවා සපයන්නන් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට යොදා ගනු ලබයි. දීප්තිමත් වර්ණ පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීම සඳහා උද්යෝගිමත් බව වැඩි කිරීමට සමත් වේ. ඒ අනුව විවිධ ව්‍යාපාරිකයන් අලෙවිකරණයේදී තම ව්‍යාපාරයේ ස්වභාවය අනුව වර්ණ තම ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගනු ලබයි.

 

 

ආර්. ඒ. දුලෝෂණා නිර්මාණි

තෙවැනි වසර

වාණිජ හා කළමනාකරණ පීඨය,

නැඟෙනහිර විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න