පාර්ලිමේන්තුව 21 වැනි සියවසට ගැළපෙන්න නිර්මාණය කරමු | දිනමිණ

පාර්ලිමේන්තුව 21 වැනි සියවසට ගැළපෙන්න නිර්මාණය කරමු

එජාප අපේක්ෂක නීතිඥ ෂෙහාර හේරත්

මොන පක්ෂයෙන් වුණත් උගතුන්ට ඡන්දෙ දෙන්න

විසි එක් වැනි සියවසට ගැළපෙන ආකාරයට මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නිර්මාණය විය යුතු බවත් එය කළ හැක්කේ තරුණයන්ට පමණත් බවත් අත්තනගල්ල එජාප සම සංවිධායක හා ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ ෂෙහාර හේරත් මහතා පැවසීය.

මේ නිසා ජනතාව කුමන දේශපාලන පක්ෂයකට ජන්දය දුන්නත් උගත් බුද්ධිමත් තරුණයන් මෙවර පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ යුතු යැයිද හෙතෙම පෙන්වා දුන්නේය. ඒ මහතා එසේ පැවසුවේ නිට්ටඹුව, හොරගොල්ල පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ මැතිවරණ හමුවකදීය. හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

"අද පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ පිරිස අඩුයි. පසුගිය පාර්ලිමේන්තුවේ සැලකිය යුතු පිරිසකට අ.පො.ස. උසස් පෙළ තිබුණේ නැහැ. දින 52 රජයේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් හැසුරුණු ආකාරය අපි දැක්කා. මිරිස් කුඩු ගැහුවා. වතුර බෝතල්වලින් ගහ ගත්තා. කුණුහරප කීවා. එවැනි පාර්ලිමේන්තුවක් නෙමෙයි අද රටේ තිබිය යුත්තේ. එබැවින් මෙවර මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව සිතා සිය ජන්දය පාවිච්චි කරන්නට ඕනෑ. රටේ පවතින අයිතිවාසිකම් ගැනත් දැනුමක් ජනතාවට තිබිය යුතුයි. එවැනි දැනුමක් නැති නිසා තමයි බොහෝ දෙනා අසාධාරණයට ලක් වී තිබෙන්නේ. මෙය මා වටහා ගෙන පසුගිය යහපාලන රජයේ අධ්‍යාපන ඇමැතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කළා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හා උසස් පෙළ විභාගයට තෝරා ගත හැකි විෂයක් ලෙසට නීතිය ඇතුළත් කරන්න කියලා. එය අධ්‍යාපන ඇමැති පිළිගත්තා. නමුත් එය ක්‍රියාත්මක කිරීමට කාලය හරස් වුණා.’

මහානාම විතානගේ - මල්වාන සමූහ

සුදත් පුබුදු කීර්ති - දෙල්ගොඩ සමූහ

නව අදහස දක්වන්න