ලොව වටා කොරෝනා: කොලම්බියාව 13 වැනි තැනට | දිනමිණ

ලොව වටා කොරෝනා: කොලම්බියාව 13 වැනි තැනට

ආසා­දි­තයෝ 276,055යි

මරණ 9,454යි

142,777ක් සුවය ලබති

කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ගැන දත්ත පෙන්නුම් කරන විවිධ ලේඛනවල රටවල් පිළිවෙළ වෙනස් වන තැන් පවතී. මේ එක් ලේඛනයක ස්පාඤ්ඤය 9 වැනි ස්ථානයේ පසු වන අතර, තවත් ලේඛනයක 12 වැනි ස්ථානයේ පවතී. කෙසේ වෙතත් ස්පාඤ්ඤය 9 වැනි ස්ථානයේ පවතින දත්ත අනුව මේ ලිපි පෙළ සකස් කළ බැවින් පාකිස්තානයට පසු දත්ත ලේඛනයේ පෙන්නුම් කරන්නේ කොලම්බියාවයි. ඒ අනුව ලේඛනයේ 13 වැනි ස්ථානය දරණ එරට කොරෝනා ආසාදිතයන් ගණන 276,055 කි, මරණ 9,454කි, සුවය ලැබීම් 142,777කි. කෝටි පහක ජනගහනයක් සිටින එරට කොරෝනා පරීක්ෂණ ලක්ෂ 15ක් සිදු කෙරී ඇත.

පෙබරවාරි මාසයේ කිසිම කොරෝනා රෝගියකු වාර්තා නොවූ එරට මුලින්ම රෝගියකු වාර්තා වූයේ මාර්තු 06 වැනිදාය. එදා සිට ක්‍රමිකව වර්ධනය වූ එරට කොරෝනා රෝගීන් ගණන මැයි මැද භාගය වන විට වේගයෙන් වර්ධනය වීමට පටන් ගත්තේය. ජූනි මුල් භාගයේ එරට ආසාදිතයන් ගණන ලක්ෂය පසු කළ අතර ඉන්පසු ආසාදිතයන් ගණන ඉතා වේගයෙන් ඉහළ ගියේය. වර්තමානයේ එරට කොරෝනා ආසාදිතයන් ගණන ජනගහනයෙන් සියයට දශම 5ක මට්ටමේ පසුවෙයි. එරට මරණ ගණනද ඇත්තේ ශීඝ්‍රයෙන් වර්ධනය වන මට්ටමකය. අලුත්ම දත්ත අනුව එරට එක් දිනක මරණ ගණන 380ක් වාර්තා වී තිබේ. එරට කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 3.4ක් මරණයට පත් වෙති.

මාර්තු 24 වැනිදා එරට නිරෝධායනය නිල වශයෙන් ආරම්භ වූ අතර අප්‍රේල් 13 වැනිදා එය අවසාන විය. ඉන්පසු එය 8 වරක් දීර්ඝ කරන ලද අතර අවසාන වතාවට සැප්තැම්බර් 01 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

කොලොම්බියාවේ වත්මන් ක්‍රියාකාරී කොරෝනා ආසාදිතයන් 123,258ක් සිටින අතර එරට සිටින රෝගීන් බොහොමයක් නිවාසවල තනි කර දමා හෝ තනි කරමින් ප්‍රතිකාර ලබා දෙමින් පසු වෙති. එරට රෝහල්ගත වන ආසාදිතයන්ගෙන් සුවය නොලබන්නේ හෝ මරණයට පත් වන්නේ සියයට 13ක ප්‍රමාණයකි. කොලොම්බියාවේ ඇතැම් නගරවල ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකකවලින් සියයට 75ක්ම කොරෝනා රෝගීන්ගේ භාවිතයට ගෙන ඇත.

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න