බොක්සිං නිලවරණය ඩයන් ගෝමස් යළි මුල් පුටුවට | දිනමිණ


 

බොක්සිං නිලවරණය ඩයන් ගෝමස් යළි මුල් පුටුවට

තනතුරු සියල්ල නිතරගයෙන්

ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේ දී හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා නිතරගයෙන් පත්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණය සඳහා නාම යෝජනා කැඳවීම පසුගිය 18 වැනිදා නිමාවට පත් වූ අතර, නාම යෝජනා බාර දෙනු ලැබුවේ ඩයන් ගෝමස් පාර්ශ්වය පමණක් වීම විශේෂත්වයකි. ඒ අනුව ඉදිරි වසර 4ක කාලසීමාවකට ඔහු බොක්සිං ආයතනයේ සභාපතිවරයා ලෙස යළි කටයුතු කරනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

මීට පෙර වසර 2017 දී බොක්සිං සභාපතිවරයා ලෙස ඩයන් ගෝමස් මහතා නිතරගයෙන් පත් වූ අතර, ඔහු සභාපති ධුරයට පත්වන තෙවැනි අවස්ථාව මෙය වේ. ඩයන් ගෝමස් මහතා පළමුවරට බොක්සිං ආයතනයේ සභාපතිවරයා ලෙස පත් වූයේ 2004 වසරේදීය. වසර 2004 සිට 2007 දක්වා බොක්සිං ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඩයන් ගෝමස් මහතා අනතුරුව 2017 සිට මේ දක්වා එම තනතුරෙහි කටයුතු කරමින් සිටී.

මෙරට පාසල් බොක්සිං ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරග සඳහා යොමු කරමින් ජාතික තලයට පිවිසීමට පෙර ඔවුන්ගේ හැකියාවන් මුවහත් කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කළ ඩයන් ගෝමස් මහතා ජාතික බොක්සිං සංචිතයට නව මුහුණුවරක් ගෙනදීමට සමත් වූ පරිපාලකයකු ලෙස ප්‍රකටය. ඔහු ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ කාන්තා සංගමයේ සාමාජිකයකු ලෙසත්, ආසියානු බොක්සිං සංගමයේ විධායක කමිටු සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි.

බොක්සිං නාම යෝජනා බාර දුන් ඩයන් ගෝමස් මහතාගේ පාර්ශ්වයේ උප සභාපතිවරු ලෙස දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ රිදී පදක්කම් දිනූ හිටපු ජාතික ශූරයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් ගුණරත්න සහ හිටපු ජාතික පුහුණුකරු වසන්ත කුමාර මහත්වරුන් පත්වීමට නියමිතය.

බොක්සිං ආයතනයේ නව ලේකම්වරයා ලෙස ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ තාක්ෂණික නිලධාරියකු සහ ආසියානු බොක්සිං විනිසුරු සංගමයේ ලේකම්වරයා ද වන විශ්‍රාමික ලුතිනන් කර්නල් හේමන්ත වීරසිංහ මහතා පත්වීමට නියමිතය. හිටපු ජාතික ශූරයකු ද වන වීරසිංහ මහතා මීට පෙර 2008 සිට 2010 දක්වා කාලසීමාවේදී ද බොක්සිං ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

පාසල් බොක්සිං වළල්ලේ සුප්‍රකට ස්ටබ්ස් පළිහ තරගාවලියේ ශූරයකු වූ එම්.ඒ.ඩී.පීරිස් මහතා මෙවර භාණ්ඩාගාරික තනතුරට පත්වීමට නියමිත අතර, විධායක කමිටු සාමාජිකයන්, උප ලේකම් සහ උප භාණ්ඩාරික තනතුරු මහා සහා රැස්වීමේදී පත්කෙරෙනු ඇත.

බොක්සිං ආයතනයේ නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේවර්ධන මහතා කටයුතු කළ අතර, විශ්‍රාමික බ්‍රිගේඩියර් ජනක මාසක්කාර සහ විශ්‍රාමික පොලිස් අධිකාරී වසීර් සවුජා මහත්වරු සෙසු කමිටු සාමාජිකයෝ වූහ.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න