එංගලන්තයෙන් සුපර් ලීග් සටනට ජයග්‍රාහී ආරම්භයක් | දිනමිණ


 

එංගලන්තයෙන් සුපර් ලීග් සටනට ජයග්‍රාහී ආරම්භයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හඳුන්වා දුන් අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 6ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්තය සමත් විය.

මේ සමඟින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තයට හැකි වූ අතර, සුපර් ලීග් ලකුණු සටහන යටතේ ප්‍රසාද ලකුණු 10ක්ද හිමි විය.

සදම්ප්ටන්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය ලකුණු 172කට සීමා කළ එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 27.5කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී තිබියදීය.

එංගලන්ත පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 78ක් තුළ බිඳ වැටුණද සෑම් බිලින්ග්ස් සහ නායක ඔයින් මෝගන් එක්ව පන්දු 85කින් ලකුණු 96ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

සෑම් පන්දු 54කදී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 67ක් රැස් කළ අතර, පන්දු 40කින් ලකුණු 36ක් රැස් කළ මෝගන් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඉනිමට එක් කර ගත්තේය.

සිය මංගල ජාත්‍යන්තර එක්දින තරගයට එක් වූ කර්ටිස් කැම්පර් පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නොදැවී ලකුණු 59ක් රැස් කරමිනි. පන්දු 118කදී හතරේ පහර 4ක් ඉනිමට එක් කර ගත් ඔහු, කෙවින් ඕ බ්‍රයන් (22) සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 51ක් සහ ඇන්ඩි මැක්බ්‍රින් සමඟින් 8 වැනි කඩුල්ලට ලකුණු 66ක් එක් කරමින් ඉනිම ගොඩනගා ගත්තේය. මැක්බ්‍රින්ගේ ඉනිමට පන්දු 48කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී ඩෙවිඩ් විලී ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත්තේ සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමිනි. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 34කට කඩුලු 4ක් දවා ගැනීම ඉහළම දස්කම ලෙස වාර්තා විය. තරගයේ වීරයා සම්මානයද විලීට පිරිනැමිණි.

දෙපිල අතර, දෙවැනි එක්දින තරගය අද (1) සදම්ප්ටන්හිදීම පැවැත්වේ.

නව අදහස දක්වන්න