ෆවාඩ් අලාම්ට වසර 11කට පසු අවස්ථාවක් | දිනමිණ


 

ෆවාඩ් අලාම්ට වසර 11කට පසු අවස්ථාවක්

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වන පාකිස්තාන සංචිතය නම් කර ඇති අතර, ඊට ෆවාඩ් අලාම් සමඟ පලපුරුදු ක්‍රීඩකයන් දෙදෙනෙක් වන හිටපු නායක සර්ෆ්‍රාස් අහමඩ් සහ වහබ් රියාස් කැඳවා තිබේ. විසිදෙනකුගෙන් සමන්විත නම් කළ මේ සංචිතයේ නායකයා ලෙස අසාර් අලී කටයුතු කරන අතර, මින් පෙර කණ්ඩායමට එක්ව සිටි මැද පෙළ පිතිකරු ඉෆ්තිකාර් අහමඩ්ට සිය ස්ථානය අහිමි වී තිබේ.

අලාම්ට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව ඇත්තේ වසර 11කට පසුව වීම විශේෂත්වයකි.

2009 වසරේ ජූලි මස ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ පී.සරා ඕවලි පිටියේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත් 34 හැවිරිදි අලාම් ක්‍රීඩා කර ඇත්තේ තරග 3ක් පමණි. 2009 වසරේම නොවැම්බර් මස නවසීලන්තයට එරෙහිව ඔහු අවසන් වරට ටෙස්ට් තරගයට එක් විය. පසුගිය වසරේ පැවැති ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට අලාම් කැඳවා තිබුණද ඔහුට ක්‍රීඩා කිරී‍මේ අවස්ථාවක් හිමි නොවීය.

සර්ෆ්‍රාස් පසුගිය ඔක්තෝබර් මාසයේදී ටෙස්ට් සහ විස්සයි20 නායකත්වයෙන් ඉවත් කළ අතර, බංග්ලාදේශය සමඟ පැවැති තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයද අහිමි විය.

2018 වසරේ අවසන් වරට ටෙස්ට් තරගයට එක් වූ රියාස් අනතුරුව දින නියමයක් නැතිව ටෙස්ට් පිටියෙන් ඉවත් වීම නිසා පසුගිය වසරේ ක්‍රීඩා නොකළේය.

දෙපිල අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ 5 වැනිදා මැන්චෙස්ටර්හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී ආරම්භ වන අතර, අනෙක් තරග දෙක 13 සහ 21 දිනවල සවුත්හැම්ප්ටන්හිදී ආරම්භ වීමට නියමිතය.

පාකිස්තාන ටෙස්ට් සංචිතය - අසාර් අලි (නායක), බාබර් අසාම්, අබීඩ් අලි, අසාද් ෂාෆික්, ෆහීම් අෂ්රෆ්, ෆවාඩ් අලාම්, ඉමාම් උල් හක්, ඉම්රාන් ඛාන්, කෂිෆ් භට්ටි, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), නසීම් ෂා, සර්ෆරාස් අහමඩ් (කඩුලු රකින්නා), ශදාබ් ඛාන්, ෂහීන් අෆ්රිඩි, ෂාන් මසූඩ්, සොහෙයිල් ඛාන්, උස්මාන් ෂින්වාරි, වහබ් රියාස්, යසීර් ෂා.

නව අදහස දක්වන්න