මහනුවර සංවර්ධනයට මහනාහිමිවරුන්ගේ අනුමැතිය ගැනීම ආණ්ඩුවේ සම්ප්‍රදායක් | දිනමිණ


 

මහනුවර සංවර්ධනයට මහනාහිමිවරුන්ගේ අනුමැතිය ගැනීම ආණ්ඩුවේ සම්ප්‍රදායක්

ඇමැති විමල් වීරවංශ

බෝගම්බර සිපිරි ගෙදර භූමියේ හෝටල් පමණක් නොව ඓතිහාසික මහනුවර නගරයේ සිදු කෙරෙන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මහා නාහිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත්, එය ගෝඨාභය රාජපක්ෂ පාලනයේ සම්ප්‍රදාය බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන ජාතික නිදහස් පෙරමුණු අපේක්ෂක, හිටපු මධ්‍යම පළාත් සභා කෘෂිකර්ම ඇමැති නිමල් පියතිස්ස මහතාට සහයෝගය දැක්වීමට පසුගිය දා නුවරඑළිය, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජන රැලියකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.

සමහරු මේ ජනවරමේ ආනුභාවය බිඳින්න අසත්‍ය ප්‍රචාර සිදු කරනවා. ප්‍රවෘත්තියක් යනවා, ‘මහනුවර බෝගම්බර සිපිරි ගෙදර පැවති භූමියේ හෝටලයක් හදන්න මේ ආණ්ඩුව තීරණය කරලා’ කියලා. ඇමැතිවරුන් 14කින් සමන්විත කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරයෙක් ලෙස මා වගකීමෙන් කියනවා, අපේ ආණ්ඩුව බෝගම්බර සිපිරි ගෙදර භූමියේ හෝටල සෑදීම විතරක් නොවෙයි, මහනුවර නගරයේ කරන ඕනෑම දෙයක් ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතියට යටත්ව කරන්නේ කියලා. උන් වහන්සේලාගේ අනුමැතිය නැතිව මොනම ව්‍යාපෘතියක්වක් ඓතිහාසික මහනුවර නගරයේ අප කරන්නේ නෑ.

අප වාලච්චේන කඩදාසි කම්හලේ යකඩවලට පණ දුන්නා. අද හෙටම පළමු වැනි කඩදාසි ටොන් 50කට ආසන්න නිෂ්පාදන තොගය කොළඹ දී අලෙවි කරනවා. සෙලාන් බැංකුවට සින්න වෙලා තිබු ඇඹිලිපිටියේ කඩදාසි කම්හලත් තව මාස හයක් යන්න කලින් අප පටන් ගන්නවා.

නව අදහස දක්වන්න