දුන් ණය සහන ගත් ආයතනයක් නෑ | දිනමිණ


 

දුන් ණය සහන ගත් ආයතනයක් නෑ

එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදාර රත්නායක

කොරෝනා වසංගතය නිසා බිඳ වැටුණු ව්‍යාපාර ආයතනවලට සියයට හතරක පොලියට ණය ලබා දෙන බව පැවැසුවත් එම ණය ලබා ගත් ආයතනයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදාර රත්නායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මේ ආණ්ඩුවට කොරෝනා ගැටලුවත් සමඟ ආර්ථිකය කළමනාකරණය කර ගන්න බැරි වෙලා. මිනිසුන්ගේ අතේ සල්ලි නෑ. ජීවත් වෙන්න ඉතාම අපහසු යුගයක් ඉදිරියට එනවා. ඒ වගේම මේ ආණ්ඩුවෙන් ලබා දුන් ආර්ථික සහන කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නෑ. කොරෝනා ප්‍රශ්නයත් එක්ක පසුගිය මාස කිහිපය ඇතුළත ව්‍යාපාර 1800කට වඩා වැඩි ප්‍රමාණයක් වැහිලා. 4%ක පොලී අනුපාතයට ණය දෙනවා කියා ආණ්ඩුව කිව්වා. ඒත් ඒ ණය ලබා ගත් කිසිම කෙනෙක් නෑ. කිසිම ප්‍රතිලාභයක් කිසිම ව්‍යාපාරයකට ලැබුණේ නෑ. ඒ නිසා රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා. ඒ මිනිස්සු පාරට වැටිලා. ඒ රැකියා සුරක්ෂිත කරන්නටත්, ඒ අයට ජීවත් වීමට අවශ්‍ය පසුබිමක් හදන්නටත් කිසිම වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂය ලෙස මේ සියලුම රැකියා අහිමි වු පුරවැසියන්ට රුපියල් 10,000ක් නැවත රැකියාවක් ලැබෙනතුරු ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

මැද කොළඹ සමූහ - ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න