ජනපති ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරයක ගමින් ගමට ගොස් ජනතා ගැටලු සොයයි | දිනමිණ


 

ජනපති ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරයක ගමින් ගමට ගොස් ජනතා ගැටලු සොයයි

කොරෝනා වසංගතය පාස්කු ප්‍රාහාරය නිසා ඇති වූ කුලී රථ රියැදුරන්ගේ  දුෂ­්කරතා ගැන සොයා බලන්න

ජනපතිගෙන් ඇමැති ප්‍රසන්නට උපදෙස්

කඩොලාන විනාශය නවතා මීගමුව කලපුව  සංවර්ධනය කරන්න

හිටපු රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා  ජනපතිගෙන් ඉල්ලයි

බැනර් - කටවුට් නැති මුදල් වියදම් නැති ජනපතිගේ නව ඡන්ද සංකල්පයට ජනතා ප්‍රසාදය

නිසි ක්‍රමවේදයකට කසළ බැහැර කර, මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කර දෙන්න

ජනපතිට ජනතාවගෙන් ඉල්ලීමක්

වේයන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම ජනපති අතට

බස්නාහිර පළාත් මාර්ග  සංවර්ධන අධිකාරියේ  වසරක් 25ක් සේවය කළ  පිරිසගේ සේවය ස්ථීර  කිරීමට අවධානය

‘දොම්පේ අභිමානය’ ග්‍රන්ථය ජනපතිට  පිළිගන්වයි

පාස්කු ප්‍රාහාරය සහ කොවිඩ්- 19 නිසා ගුවන්තොටුපොළ වැසී යෑමෙන් කුලී රථ රියැදුරන් පත්ව ඇති දුෂ්කරතා සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට නියෝග කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පෙරේදා (30) දෙවන වරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු ඇමැතිවරයාට මේ උපදෙස් දුන්නේය.

ගමින් ගමට ගොස් ජනතාව හමු වී ජනතා ගැටලුවලට අවධානය යොමු කර ඊට විසඳුම් දීමේ නව සංකල්පය හඳුන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව එහිදී සිය ප්‍රසාදය පළ කළහ.

ජන රැලි වෙනුවට ආදේශ කළ නව සංකල්පය මුදල් නාස්තිය මෙන්ම බැනර්, කටවුට් සහ පෝස්ටර් ආදියෙන් පරිසරයට වන හානිය ද පිටු දකිමින් සැබෑ තතු අවබෝධකර ගැනීමත්, බොහෝ ප්‍රශ්නවලට එසැනින් විසඳුම් ලබාදීමත් මහත් අස්වැසිල්ලක් බව එම ජනතාව පැවැසූහ.

මීගමුව කලපුව සහ කඩොලාන විනාශය නවතා කලපුව සංවර්ධනය කර දෙන්නැයි හිටපු රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා මීගමුව, වැල්ලපිටිය ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාගෙන් ජනතාව ඉල්ලා සිටියහ.

අපේක්ෂක ආනන්ද හරිස්චන්ද්‍ර මහතා කටාන, වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය අසළ සංවිධාන කර තිබූ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස සමඟ සුහද කතා බහක නිරත විය.

කසළ බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කර මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කර දෙන්නැයි ජනතාව ඉල්ලා සිටි අතර, උතුරු මැද පළාතේ වකුගඩු රෝගි දීමනාව සියලු පළාත්වලට ව්‍යාප්ත කරන්නැයි ද ජනාධිපතිවරයාට යෝජනා කෙරිණි.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පොළ සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිවරයාට ජනතාව මහත් හරසර පිරිනැමූහ. එහිදී ප්‍රදේශවාසියකු වන විකුම් සම්පත් දිඹුල්ගස්හේන මහතා නිර්මාණය කළ කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළේය. පැයකට කසළ ටොන් 15ක් යකඩ, ප්ලාස්ටික් සහ කාබන් ලෙස වෙන් කොට ප්‍රතිචක්‍රීකරණය කළ හැකිවීම යන්ත්‍රයේ ඇති විශේෂත්වයක් සේම, රසායනිකයක් භාවිත කර දුගද පැතිරීම වැළැක්වීමට හැකි මේ යන්ත්‍රයේ සමස්ත ක්‍රියාවලිය කැමරා මඟින් අධීක්ෂණය කෙරේ.

බණ්ඩාරවත්ත, පරාක්‍රම විද්‍යාලයේ 5 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනුර ප්‍රභාශ්වර පුතු කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් ජනාධිපතිවරයා වෙත පරිත්‍යාග කළේය.

අපේක්ෂක ලක්ෂ්මන් ගුණවර්ධන මහතා ගම්පහ නගර සභා රථ ගාලේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා රැස්ව සිටී ජනතාව සමඟ සුහද කතාබහක නිරත විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පො‍ෙරාන්දු ඉටු කරමින් නීරෝගිමත් ජාතියක් බිහි කිරීම උදෙසා වික්‍රමාරච්චි විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කිරීමට ගත් පියවර අගයා වාණිජ්‍ය කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය ජනාධිපති රාජපක්ෂ මහතා වෙත ප්‍රණාම සහතිකයක් පිරිනැමීය.

වේයන්ගොඩ පරණ බස්නැවතුම්පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිවරයා වෙත අපේක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා වේයන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම පිළිගැන්වීය.

සමූපකාර පනත සංශෝධනය සහ සමුපකාර කොමිෂන් සභාවට දක්ෂ නිලධාරීන් පිරිසක් පත් කිරීමේ අවශ්‍යතාව ගැන අත්තනගල්ල සමුපකාර සමිතියේ සභාපතිවරයා ජනාධිපතිවරයා සමඟ මෙහිදී කියා සිටියේය.

අපේක්ෂක උපුල් මහේන්ද්‍ර මහතා අත්තනගල්ල, වාරණ රජමහා විහාරය අසල රථගාලේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට ජනතාව ඉමහත් හරසර දැක්වූහ.

ඉන්දීය ශ්‍රමිකයන් ගෙන්වීම සීමා කර, පාරම්පරික රන්, රිදී, කර්මාන්තකරුවන්ට ස්වර්ණාභරන නිෂ්පාදනයට සහ කම්හල්කරුවන්ට තාක්ෂණික දැනුම සහ මෙවලම් සපයා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව කිරිඳිවැල සිට ආරක්ෂක සේවා විද්‍යාලයට පාසල් බස් රථයක් දෙන්නැයි අපේක්ෂක මිලාන් ජයතිලක මහතා කිරිඳිවැල මහජන රථගාල භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට පැවසීය. එසේම

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ 25 වසරක් සේවයේ නියුතු පිරිසක් සේවය ස්ථීර කර දෙන්නැයි කළ ඉල්ලීම කෙරෙහි ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු විය.

අපේක්ෂක වර්නන් ගුණරත්න මහතා දෙකටන සංවිධාන කර තිබූ ජන හමුවට ද සහභාගී වූ ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත විය. ‍

ගෙවතු ලක්ෂයක් වගා කිරීම අරමුණු කරගත් බීජ බෙදාදීමේ වැඩසටහනේ අවසන් බීජ කට්ටලය සහ “දොම්පේ අභිමානය” ග්‍රන්ථය වර්නන් ගුණරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණි.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ද මේ අවස්ථාවල්ට එක්ව සිටියේය.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න