වැඩ කිරීමේ හැකියාව පෙන්වා ඇති පොහොට්ටුවට ජනතාව තුනෙන් දෙකක නියත බලයක් ලබා දෙනවා | දිනමිණ


 

වැඩ කිරීමේ හැකියාව පෙන්වා ඇති පොහොට්ටුවට ජනතාව තුනෙන් දෙකක නියත බලයක් ලබා දෙනවා

ගම්පොළ, මහනුවර, යටිනුවර, සෙංකඩගල ජන හමුවලදී අගමැති කියයි

 

සියලු ජාතීන් නියෝජනය කරන සෑම දෙනාගේම අයිතීන් සුරකින එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි

රාජපක්ෂලාගේ අයිතීන් කඩන්න 19 ගෙනාවත් ඉන් සියලු ජනතා අයිතිවාසිකම් උල්ලංඝණය වූණා

කෘෂිකර්මාන්තයේ බරපතළ ගැටලු විසඳීමට වහා කටයුතු කරනවා

පහසුකම් අඩු ග්‍රාමීය රෝහල් හා මාර්ග සංවර්ධනයට පියවර

 

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරය ලොවම අගයන සංස්කෘතික නගරයක් කරනවා

වැඩ කිරීමේ හැකියාව ජනතාව ඉදිරියේ පෙන්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහ මැතිවරණයෙන් ජනතාව තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දෙන බවට තමන් දැඩිව විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සියලු ජාතීන් නියෝජනය කරන, සෑම ජන කොට්ඨාසයකම අයිතීන් ආරක්ෂා කරන එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එසේම, මහනුවර ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගර අතර ප්‍රමුඛ නගරයක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් අගමැතිවරයා පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකත්වයෙන් ගම්පොළ, මහනුවර, යටිනුවර, සෙංකඩගල නගරවලදී ඉකුත්දා (30) පැවැති ජන හමු අමතමිනි.

රාජපක්ෂවරුන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම ප්‍රමුඛ කොට ගනිමින් යහපාලන රජය 19 වෙනි සංශෝධනය ගෙන ආවද එම සංශෝධනයෙන් මෙරට ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී පැවැති විද්වත් හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා අවාසනාවන්ත ලෙස එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරීමට කටයුතු කිරීම නිසා නව පක්ෂයක් බිහි කිරීමට තමන්ට සිදු වූ බවද ඒ මහතා පැවැසීය.

කුමන බාධක හමුවේ වූවද යහපාලන රජය නොසිතූ ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්කිරීමට හැට නව ලක්ෂයක් ජනතාව කටයුතු කළේ ඔහුගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ අනුමත කිරීම හේතුවෙන් බව කී අගමැතිවරයා, එම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයාට සහාය දක්වන කැබිනට් මණ්ඩලයක් සහ බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම මේ අවස්ථාවේදී වගකීමෙන් සිදු කළ යුතු කටයුත්තක් බවද පැවැසීය.

උගත් බුද්ධිමත් පළපුරුදු දේශපාලනඥයන් සහ තරුණ තරුණියන් නියෝජනය වන, ජනතාවට වැඩක් කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට පත් කර එවීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂි නිෂ්පාදනවල මිල පහළ යාම නිසා මෙරට කෘෂි කර්මාන්තයේ නියැළී සිටින්නන් මුහුණ දී තිබෙන බරපතළ ගැටලු විසඳීමට වහාම පියවර ගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා ගම්පොළ පැවැති ජන හමුවේදී පැවැසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙන බවද, ඒ අනුව ඉදිරියේ දී ගම්මිරිස්, සාදික්කා ඇතුළු අපනයන භෝගවලට හොඳ මිලක් ලබා දීමට හැකි පරිදි කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇති බවද කීය.

මීට අමතරව වතු කම්කරු වැටුප් ගැටලුව විසඳමින් රුපියල් දහසක වැටුපක් ලබාදීම සඳහා රජය මැදිහත් වීමට තීරණය කොට ඇති බවද පැවැසීය.

වෙළෙඳ ව්‍යාපාර සහ ස්වයං රැකියාවල නිරත වන්නන්ට ණය පහසුකම් ලබාදීමට ද නව වැඩපිළිවෙළ යටතේ සැලසුම් සකස් කොට ඇති බවත් කීය.

සුළු තේ වතු හිමියන්ට නව තාක්ෂණික දැනුම ලබා දීම සහ රක්ෂණාවරණයක් ලබා දීමටත්, පොහොර සහනාධාරය ලබා දීමටත්, පොහොර හිඟයකින් තොරව ලබා දීමටත් රජය කටයුතු කරමින් සිටින බවත්, සෞඛ්‍ය පහසුකම් අවම ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරීමටත්, ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමටත්, නව වැඩපිළිවෙළ යටතේ කටයුතු යොදා ඇති බවත් පැවැසීය.

පසුගිය රජය කාලයේ නවතා දමා තිබූ කොළඹ- මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා දේශපාලනයේ අලුත් ම දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය බවට පත්ව ඇතැයි මහනුවර යටිනුවර පැවැති ජනහමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ ඉදිරි ගමන තහවුරු කිරීමේ හැකියාව ඇති අපේක්ෂකයන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා වැඩ කිරීමේ හැකියාව ජනතාව ඉදිරියේ පෙන්වා දී තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මැතිවරණයේදී ජනතාව තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දෙන බව දැඩි සේ විශ්වාස බවද කීවේය.

ලංකා සමසමාජ පක්ෂය, නව වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ රැසක් ද මේ වන වටිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගෙන ශක්තිමත්ව මැතිවරණයට මුහුණ දෙමින් සිටින බවද කීවේය.

පිරිසුදු පානීය ජලය ලබා දීමට රජය ගෙන යන වැඩපිළවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 42%ක ප්‍රමාණයකට පමණක් පිරිසුදු පානීය ජල පහසුකම ලබාදී ඇති බවයි. සියලු ජනතාවට පිරිසුදු පානීය ජල පහසුකම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විටත් සකසමින් පවතින බවද පැවැසීය.

ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, කරාබු නැටි ආදී සුළු අපනයන භෝග වගාවේ නිරත ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇතැයි ද වැඩිදුරටත් පැවැසීය.

බෝගම්බර හිර ගෙදර හෝටලයක් ඉදිකරන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඉදිරියේ පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයේ ප්‍රමුඛ අරමුණ වන්නේ දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරය සංස්කෘතිමය නගරයක් බවට පත් කරමින් ලෝකයේ සංස්කෘතික නගර අතර වටිනාකම වැඩිම නගර අතරට ගෙන ඒමට පියවර ගැනීම බවද මහනුවර සෙංකඩගල පැවැති ජන හමුවේදී අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

දළදා වහන්සේ වැඩම කරන මාර්ගයේ මස් පිණිස සතුන් ප්‍රවාහනය කිරීම අනුමත කළ නොහැකි කටයුත්තක් වන අතරම, එය කාගේත් අවධානය යොමු නොවූ කරුණක් බවත් පැවැසූ අගමැතිවරයා, දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව අසල මාර්ගය වසා දැමීමට පියවර ගනු ලැබුවේ එම මාර්ගයෙන් මස්කඩ හිමිකරුවන් හරක් ලොරි සහ මස් පිණිස සතුන් ප්‍රවාහනය කිරීම නවතා දැමීමට බවත් පෙන්වා දුන්නේය.

බෝගම්බර සිට උමං මාර්ගයක් ඉදිකොට මහනුවර නගරයේ මාර්ග තදබදය අවම කර ජනතාවට සහන සැලසීමට ද සැලසුම් කොට තිබෙන බව පැවැසූ අගමැතිවරයා, මේ සියලු ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයකින් ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කීය .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමට ප්‍රධානත්වය ගෙන කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම, පක්ෂය ගොඩනැඟීම සඳහා සිය කාලය, ධෛර්ය, ශ්‍රමය කැප කළ සියලු දෙනා කිසිසේත් අමතක කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, ආනන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ මහත්වරුන් සහ මෙවර මහ මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවලට සහභාගී වූහ.

නව අදහස දක්වන්න