සාක්ෂි වසන් කළැයි ශානි අත්අඩංගු වට | දිනමිණ


 

සාක්ෂි වසන් කළැයි ශානි අත්අඩංගු වට

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවකට අදාළව සාක්ෂි වසන් කිරීම සහ බොරු සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (31)

පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදි. බොරැල්ල ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඒ මහතාගේ නි‌ෙවසේදී අත්අඩංගුවට ගැනීම

සිදු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය. අත්අඩංගුවට ගන්නා විට පොලීසිය අපකීර්තියට පත් කිරීමේ චෝදනාවක් එල්ල වී පොලිස් කොමිසමේ නිර්දේශ මත අබේසේකර මහතාගේ වැඩ තහනම් කර තිබිණි. 2013 වසරේදී එවකට සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාව චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා බවත් ඒ අතර ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවක් පවා තිබුණු බවත් ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර වාස් ගුණවර්ධන මහතාවත්, ඔහුගේ බිරිය, පුතා, ඥාති පුත්‍රයකු ඇතුළු 08 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

2014 වසරේදී ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝගයක් මත රඳවා තබා ගෙන ඔහුගේ ප්‍රකාශ අනුව බව සඳහන් කරමින් ශානි අබේසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු ගම්පහ කළගෙඩිහේනේ පිහිටි ගෙවත්තක මඩුවක තිබී ගිනි අවි රැසක් සොයා ගෙන තිබුණු බවද ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. එම නිලධාරියා මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් පවා ලබාදී තිබුණි.

එසේ මඩුවකින් සොයා ගත්තේ යැයි සඳහන් ගිනි අවි අතර ටී 56 අවි 06 ක්, රිවෝල්වරයක්, පිස්තෝල 02ක්, මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවිවලට යොදන පතොරම් 11ක්, 8.5 වර්ගයේ පතොරම් 303ක්, 7.62 වර්ගයේ පතොරම් 215ක්, 0.38 වර්ගයේ පතොරම් 04ක්, බෝර 12 වර්ගයේ ගිනි අවි 04ක් ඇතුළු අවි ආයුධ රැසක් ඇතැයිද ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

එම ගිනි අවි වාස් ගුණවර්ධන මහතාගේ කීමට එම මඩුවට රැගෙනවිත් සැඟවූ බව එකල වාස් ගුණවර්ධන මහතා යටතේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ප්‍රකාශ කර තිබුණි. නිවෙස් හිමි අඹු-සැමි යුවළ ද ප්‍රකාශ තහවුරුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සහ අඹු-සැමි යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට නොගෙන සාක්ෂිකරුවන් ලෙස නම්කර තිබී ඇති බවත් ඔවුන් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් පවා නිකුත් කර තිබුණු බවත් ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට යොමු කළ බවත් එම අයදුම්පත මහාධිකරණය විසින් එකළ ප්‍රතික්ෂේපකර තිබුණු බවත් ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය ක්‍රියාත්මක වන්නේ පසුගිය ජුනි 01 වෙනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එක් සාක්ෂිකරුවෙක් අත්අඩංගුවට ගන්නා අතර දෙවැනි සාක්ෂිකරු අත්අඩංගුවට ගන්නේ ඊට පසුදිනය. ඔවුන් දෙදෙනාම පොලිස් නිලධාරීන් බවත් ඒ අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ ශානි අබේසේකර මහතාගේ කීමට අනුව ගම්පහ කලගෙඩිහේනේ නිවසේ දරමඩුවක ගිනි අවි සැඟවූ බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීමට සිදුවුණු බවය. එවැනි ප්‍රකාශයක් ලබා නොදුනහොත් තමන්ව නඩුවකට පටලවා සිරගත කරන බවට ශානි අබේසේකර මහතා තර්ජනය කළ බවත් ඊට බිය වී එවැනි බොරු ප්‍රකාශයක් ලබාදුන් බවත් ඔවුන් දෙදෙනා පවසා තිබෙන බව සඳහන්ය. අනතුරුව ජුනි 11 වෙනිදා ගිනි අවි සොයාගත් බව සඳහන් නිවසේ අඹු-සැමි යුවල අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අය ප්‍රශ්න කිරීමේදී සඳහන් කර ඇත්තේ ශානි අබේසේකර මහතා සමඟ පැමිණි නිලධාරීන් දෙදෙනෙක් පොලිතින් උරවල බහා රැගෙන පැමිණි ආයුධ රැසක් දරමඩුවේ දමා ඡායාරූප කිහිපයක් ගෙන නැවත එම ආයුධ මලුවලට බහා රැගෙන ගිය බවය.

මෙහිදී අදාළ ගිනි අවි එහි සැඟවීමට සම්බන්ධ හඬ පට කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. ඒ තුළින්ද හෙළිවී ඇත්තේ කලගෙඩිහේනේ නිවසින් හමුවූ ගිනි අවි එම ස්ථානයට දමා එම නිවසින් අත්අඩංගුවට ගත් බව යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.

 

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න