ඊළඟ නඩු දිනයට පෙර සම්පායෝ අල්ලන්න | දිනමිණ


 

ඊළඟ නඩු දිනයට පෙර සම්පායෝ අල්ලන්න

නැත්නම් වැ.බ. පොලිස්පති පෞද්ගලිකව  අධිකරණයේ පෙනීසිට කරුණු දැක්විය යුතුයි

නීතිපති  දෙපාර්තමේන්තුවේ ප්‍රථම මාධ්‍ය හමුවේදී  නි. සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් කියයි

බන්ධනාගාර විසමාචාර සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම පැහැර හරින සියලු නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා ඊයේ (31) පැවැසීය.

වරෙන්තුකරුවකුට රැකවරණය ලබා දීම බරපතළ වරදක් බව පවසා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නීතියේ ප්‍රතිපාදන මත වරෙන්තුකරුවන්ගේ දේපළ තහනමට ලක් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද සඳහන් කළේය.

වසර 136ක් පැරණි ඉතිහාසයක් ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ පළමුවරට පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව පැවසීය.

මීගමුව මහොස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිස්පතිවරයා පුද්ගලිකව අධිකරණයට කැඳවීමට තමා නොතිසී ඉල්ලා සිටියේ ඔහු සමඟ ඇති පෞද්ගලික ප්‍රශ්නයකට නොව පොලිස්පතිවරයා ඔහු වෙත පැවැරී ඇති රාජකාරිය හරිහැටි ක්‍රියාත්මක කර නොමැති බවට පෙනී ගිය නිසා යැයි ද හෙතෙම පැවැසීය.

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුව නිකුත් කර මේ වන විට දින 10ක් ගත වුවත් මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම කනගාටුදායක මෙන්ම ප්‍රශ්න සහගත ද බව පවසා සිටි ඒ මහතා, ඊළඟ නඩු දිනය වන ලබන අගහරුවදා වන විට ද සම්පායෝ අත්අඩංගුවට නොගත හොත් පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිට පෞද්ගලිකව ඒ සම්බන්ධව කරුණු දක්වන ලෙසට ඉල්ලීමක් කරන බව ද කීය. බන්ධනාගාරය තුළ මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සිදු වන දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ සියලු සැකකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව අවසානය දක්වාම අත්නොහැර විමර්ශන සිදු කරන බව පවසා සිටි දිලීප පීරිස් මහතා, මෙවැනි අපරාධකරුවන්ට, නීතිය අභිබවායාමට උත්සාහ කරන්නන්ට හා අධිකරණය ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට පසුබට වන නිලධාරීන්ගේ සැබෑ පැටිකිරිය අධිකරණය හමුවේ දී හෙළි කිරීමටත් ඔවුන් අධිකරණය හමුවේ නිරුවත් කිරීමටත් තමා පසුබට නොවන බව ද කීවේය.

කවුරු කැමැති වුවත් අකමැති වුවත් රටේ අනාගතය හා ජන ජීවිත විනාශ කරන වැරදි කරන පුද්ගලයන් සම්බන්ධව සිදු කරන විමර්ශන අවසානය දක්වාම ගෙන යාමට නීතිපතිවරයාවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවද හෙතෙම කීවේය.

මෙම මාධ්‍ය හමුවට රජයේ නීතිඥ ඉෂාරා ජයරත්න මෙණෙවිය හා පරිපාලන අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ද සහභාගී වූහ.

කුමුදු හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න