පිටරටට අත නොපා ජීවත් වීමට කෘෂිකාර්මික කාර්මික ආර්ථික විප්ලවයක් | දිනමිණ


 

පිටරටට අත නොපා ජීවත් වීමට කෘෂිකාර්මික කාර්මික ආර්ථික විප්ලවයක්

මෙතක් බටහිර මත ම යැපෙමින් අප ගෙනගියේ නගර ආශ්‍රිත ව වෙසෙන සුළු පිරිසකගේ සුඛ විහරණය පිණිස වූ ආර්ථික රටාවක් විනා බහුතර ගැමි ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සපයන ආර්ථිකයක් නොවේ. කොරෝනා වසංගත තත්ත්වය තුළ පෙනී ගියේ, අප පවත්වාගෙන ගිය ආර්ථික රටාවත් සමඟ ආර්ථික සංවර්ධනයක් අත්කරගැනීම කෙසේ වෙතත් මේ රටේ ජනතාව නොමැරී ජීවත් වන්නේ කෙසේ ද යන ගැටලුවට අපට මුහුණ පෑමට සිදු ව ඇති බව ය. මෙහිදී පළමුවෙන් ම අප කළ යුත්තේ බටහිරෙන් යැපෙන ආර්ථිකය වෙනුවට අපේ ගම මුල් කරගත් ආර්ථිකයක් ගොඩනගා ගැනීම ය. එනම් අපේ පාරම්පරික කෘෂි ආර් ථිකය අප විසින් යළිත් ගොඩනඟාගත යුතු ය. අපි එතෙරින් යැපෙන්නේ නැති ස්වයංපෝෂිත රටක් බවට පත්වීම අභිප්‍රාය කොට ගනිමු. රටට අවැසි දේ රට තුළ ම නිපදවා ගනිමු. අවංක උත්සාහයක යෙදුණ හොත් ඉතා ඉක්මනින් එය යථාර්ථයක් කොට ගත හැකි ය.

 

පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ලබමින්, බතබුලතින් ස්වයංපෝෂිත ව පැවැති මේ දිවයින අද වන විට ඉතා සෝචනීය තත්ත්වයකට පත් ව තිබේ. රට ගොඩනැඟීම අද අපට ඇති දැවැන්තම අභියෝගයකි. මේ රටේ අනාගතය වෙනුවෙන් නව මාවතක ගමන් ඇරඹීමට නම් රට අගාධයට ඇඳවැටීම සම්බන්ධයෙන් බලපෑ කරුණු කාරණා පිළිබඳ සලකා බලනු වටී. නිදහස ලබාගැනීමෙන් අනතුරුව රටට අවශ්‍ය දර්ශනය ඇති කිරීම වෙනුවෙන් කිසිඳු ක්‍රියා ප්‍රතිපත්තියක් ඇති නොකිරීම ඒ සඳහා බලපෑ ප්‍රධානම හේතුව යි. රටක් ගොඩනැඟීමට නම් යම් නිශ්චිත ප්‍රතිපත්තියක්, දර්ශනයක් අනිවාර්ය වේ. ඒ දේවලින් පරිබාහිරව කටයුතු කිරීම රට අයාලේ යෑමට හේතු විය. විශේෂයෙන් ම අප වැනි යටත්විජිත බවට පත් ව පැවැති රටවල් ගොඩනැඟීමට නම් එම රටවල නායකයන්ට පැහැදිලි දර්ශනයක් තිබීම අත්‍යවශ්‍ය ය. එවැනි දර්ශනයක් ඇති නායකයින් අපට සිටියේ නැත. මුල පටන් ම සිටියේ එක්තරා අන්දමක බලලෝභී දේශපාලකයන් ය. ඒ දේශපාලකයන් එවන් දර්ශනයක් ගොඩනඟා ගැනීමට කටයුතු නොකළ අතර ඔවුන් කළේ සුද්දා දුන් දේ ඒ ආකාරයෙන් ම ඉදිරියට ගෙන යෑම ය. එය රටේ උන්නතියට අවාසිදායක විය. බටහිර ග්‍රහණයෙන් මිදී මේ රටේ ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික ක්ෂේත්‍රයන්හි විප්ලවීය වෙනසක් සිදු කිරීමට නම් අප අපට ම ගැළපෙන දර්ශනයක් සොයාගත යුතු ය. නො එසේ නම් මේ රට ගොඩනැඟීම උගහට ය. අද වන විට අප කෙතරම් සෝචනීය තත්ත්වයකට පත්ව ඇත්දැයි කිවහොත් නන් දෙසින් ගත් ණය පියවීමට නොහැකි ව මේ රටේ භූමි භාගයත් පිටරැටියන්ට හිමි කර දීමට සිදු වන තරමට කරුණු යෙදෙමින් පවතී. මේ තත්ත්වයෙන් ගොඩඒමට නම් නියත වශයෙන් ම විප්ලවීය වෙනසක් සිදු විය යුතු ය.

සුද්දා ගෙනා ආර්ථිකය

නිදහසින් පසු අපට යම් නිශ්චිත පැහැදිලි ආර්ථික දර්ශනයක් තිබුණාද? අප කළේ සුද්දා ගෙන ආ ආර්ථික ප්‍රතිපත්තිය ම ඉදිරියට ගෙන යෑමක්ය. සුද්දා කළේ මෙරට තේ, රබර් ඇතුළු බොහෝ දේ පිටරටට විකුණා, අපට අවශ්‍ය සියල්ල එතෙරින් ගෙන ඒම ය. කොටින් ම කිවතොත් අප විසින් ගොඩනගා ගෙන තිබුණේ සම්පූර්ණයෙන් ම බටහිර පාදකකොට ගත් ආර්ථිකයකි. සුද්දා ගිය පසුව ද අප ඒ ප්‍රතිපත්තිය වෙනස් නොකොට ම දිගින් දිගටම කළේ මෙරට ඇති දේ එතෙරට විකුණා එතෙරින් ගෙනෙන දෙයින් යැපීමට උත්සාහ ගැනීම ය. එක්තරා අවස්ථාවක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙම තත්ත්වය වෙනස් කරමින් බටහිර මත යැපෙන්නේ නැති ආර්ථිකයක් ඇති කිරීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ විය. 1977න් පසුව සිදු වූයේ සම්පූර්ණයෙන් ම බටහිර මත යැපෙන ආර්ථිකයක් පවත්වාගෙන යෑම ය. එතැන් පටන් රට කරවූ සියලු ජනපතිවරුන් ඒ ප්‍රතිපත්තිය ම පවත්වාගෙන ගියා විනා වෙනසකට මුල නොපිරූහ. අප මේ රටට අවැසි ආර්ථිකයක් ගොඩනඟාගත යුතු ම ය. බටහිරෙන් යැපීම අපට තව දුරටත් කළ නොහැකි බව කොරෝනා පසක් කළේ ය. හදිසියේ මුහුණ පෑ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බටහිරට විශාල ආර්ථික අවපාතයක් ඇති වූ අතර අප ද එහි කොටස් කරුවන් ය. උද්ගත වූයේ ඉතාම භයානක තත්ත්වයකි. මෙරට ජනතාවට කෑමටබීමට යමක් සපයාගත හැකි වේවිද යන ගැටලුව ද දැඩි ලෙස ඇති වූ වකවානුවක් අපි අසීරුවෙන් පසු කළෙමු. පවත්නා ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කළ යුත්තේ එබැවිනි.

මෙතක් බටහිර මත ම යැපෙමින් අප ගෙනගියේ නගර ආශ්‍රිත ව වෙසෙන සුළු පිරිසකගේ සුඛ විහරණය පිණිස වූ ආර්ථික රටාවක් විනා බහුතර ගැමි ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සපයන ආර්ථිකයක් නොවේ. කොරෝනා වසංගත තත්ත්වය තුළ පෙනී ගියේ, අප පවත්වාගෙන ගිය ආර්ථික රටාවත් සමඟ ආර්ථික සංවර්ධනයක් අත්කරගැනීම කෙසේ වෙතත් මේ රටේ ජනතාව නොමැරී ජීවත් වන්නේ කෙසේ ද යන ගැටලුවට අපට මුහුණ පෑමට සිදු ව ඇති බව ය. මෙහිදී පළමුවෙන් ම අප කළ යුත්තේ බටහිරෙන් යැපෙන ආර්ථිකය වෙනුවට අපේ ගම මුල් කරගත් ආර්ථිකයක් ගොඩනගා ගැනීම ය. එනම් අපේ පාරම්පරික කෘෂි ආර් ථිකය අප විසින් යළිත් ගොඩනඟාගත යුතු ය. අපි එතෙරින් යැපෙන්නේ නැති ස්වයංපෝෂිත රටක් බවට පත්වීම අභිප්‍රාය කොට ගනිමු. රටට අවැසි දේ රට තුළ ම නිපදවා ගනිමු. අවංක උත්සාහයක යෙදුණ හොත් ඉතා ඉක්මනින් එය යථාර්ථයක් කොට ගත හැකි ය.

 

ජනතාවගේ අවශ්‍යතාව

මේ රට ඉතාමත් සශ්‍රීක රටකි. මෙරට ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලිය හැකි ආර්ථිකයක් අප විසින් ගොඩනගා ගත යුතු ය. ඒ වෙනුවෙන් අප බිහි කරන කර්මාන්ත ද මෙරට කෘෂි ආර්ථිකයට අදාළ කර්මාන්ත විය යුතු ය. අපේ ග්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් නව තාක්ෂණය සහ නව විධික්‍රම යොදාගනිමින් සම්පූර්ණයෙන් ම කෘෂි ආර්ථිකය මත යැපෙන කාර්මික විප්ලවයක් බවට පත් කළ යුතු ය.

නව තාක්ෂණය යොදාගනිමින් බිහි කරන කෘෂි නිෂ්පාදන ඇතුළු තවත් දේ අපනයනය කළ හැකි ය. තව දුරටත් අපට පිටරටින් යැපෙන්නට බැරි ය. පසුගිය කාලය පුරා මේ රට යැපුණු ප්‍රධාන ආදායම් මාර්ගයක් වූයේ මැද පෙරදිග සේවයේ යෙදුණ කාන්තාවන් එවන මුදල්ය . දැන් එය අපහසු වී ඇත. මේ වන විට ඒ අතරින් බොහෝ දෙනා උත්සාහ ගන්නේ එම සේවයෙන් නිදහස් ව මෙරටට පැමිණීමට ය. ඊළඟට රටට මුදල් ලැබුණු ප්‍රධාන මාර්ගයක් වූ සංචාරක ව්‍යාපාරය ද නැත්තට ම නැති වෙමින් යන්නේ කොරෝනා වසංගතයත් සමඟිනි. කඩා වැටෙමින් යන සංචාරක කර්මාන්තය යළි ගොඩනැඟීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත. මෙරට තවත් එක් ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස හඳුනාගත හැකි ඇඟලුම් කර්මාන්තයේදී ද සිදු වන්නේ එතෙරින් ගෙනැවිත් මෙරට නිමවන රෙදිපිළි යළි එතෙර යැවීම ය. ඔවුන් ඒ නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමුව හොත් එය ද විශාල අර්බුදයකි. එබැවින් මෙයාකාරයෙන් හැමවිට ම බටහිර මත යැපීම නතරකොට අපේ ම කෘෂි ආර්ථිකයක් ගොඩනඟා එම කෘෂි ආර්ථිකය තුළින් කාර්මිකකරණයක් සිදු කළ යුතු ය. එය වඩා වැදගත් තීරණයක් වනු ඇත.

 

ඇඟලුම් කම්හල් බංකොළොත් වීම

පසුගිය කාලය පුරා ම ඇඟලුම් ඇතුළු අපේ අපනයනවලින් වැඩි කොටසක් ගෙන ගියේ බටහිරට ය. ඔවුන් ඒවා මිලදී නොගන්නේ නම් අප බංකොලොත් ය. ඒ හේතුවෙන් සෑහෙන දුරකට අපට බලපෑම් කිරීමටත් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති මේ රට තුළ ගෙනයෑමටත් බටහිර රටවලට හැකි විය. එවන් තත්ත්වයක් තුළ අපට සිදුවනුයේ බටහිර බලවතුන්ගේ පදයට නටන්ට ය. රට බෙදන්නයි කිව්වොත් රට බෙදිය යුතු ය. මානව හිමිකම් රකින්නයි කී විට මානව හිමිකම් රැකිය යුතු ය. අපට සිදු වනුයේ බටහිර බලවතුන් ඉදිරියේ දණින් නැමී ඔවුන් කියන කියනා දේ කරන්න ය. බටහිර මත යැපෙන ආර්ථිකය හේතුවෙන් අපට අපේ ම ආර්ථිකයක් ද අපේ ස්වාධිපත්‍යය ද අහිමි වී ඇති බව වටහා ගත යුතු ය. මෙම තත්ත්වය සම්පූර්ණයෙන් කණපිට හැරවීම වෙනුවෙන් අවශ්‍ය කරන ආර්ථික විප්ලවය ද කඩිනමින් ඇරඹිය යුතු එකක් ම ය.

රට ගොඩනැඟීම සම්බන්ධයෙන් කතා කරන විට සංස්කෘතිය නම් මඟ නොහැරිය යුතු ම මාතෘකාවකි. අද වන විට මේ රට දැඩි ලෙස දුරාචාරයට ගොදුරු වී ඇත. අපේ සභ්‍යත්වය, පුරුෂාර්ථ, ආකල්ප, ඇදැහීම් සියල්ල විනාශ මුඛයට ඇදවැටී සින්දුවෙන් පන්දුවෙන් නැළවෙන ජාතියක් බවට අප පත් ව සිටීම ඛේදජනක ය. සම්පූර්ණයෙන් ම විවෘත ආර්ථිකයට අවශ්‍ය සංස්කෘතියකට ගොදුරු ව සිටින අප මේ වන විට කාපල්ලා බීපල්ලා කියාගත් නිස්සාර ජාතියක් බවට පත් ව ඇත. විශේෂයෙන් මෙරට තරුණ පරපුර දෙස අවධානය යොමු කරන විට පෙනීයන්නේ ද ඔවුන් අතරින් බහුතරයකට මේ රට ජාතිය ගැන කිසිඳු හැඟීමක් නැති බව ය. කනේ ගහගත් ඇබ ද ඇති ව ජංගම දුරකතනයෙන් මුහුණු පොත පීරමින් ජීවිතය ගෙවා දමයි. එසේ ම අපේ සංස්කෘතිකාංගවලට ද කණ කොකා හඬා ඇත. අද අපට සංගීතය කියා යමක් තිබෙනවාද? ටෙලිවිෂනයේ රියැලිටි වැඩසටහන් රැල්ලට පමණක් ඇතැම්හු සංගීතය කියති. ටෙලි නාට්‍ය කලාවට අද අත් වී ඇති ඉරණම ගැන ද අමුතුවෙන් කිව යුතු නැත.

 

බහුතරක් සිටිනුයේ සාහිත්‍ය රස නොහඳුනන්නන්. පොතක් පතක් නොකියවන ජාතියක් බවට විශේෂයෙන් ම අපේ තරුණ පරම්පරාව පත්ව සිටී. සියල්ල පිරිහෙමින් පවතින යුගයක අවශ්‍යතාව වී ඇත්තේ විප්ලවීය වෙනසකි. ජාතිකත්වය, සභ්‍යත්වය මුල්කරගත්ත චින්තනයක් ගොඩනඟා ගනිමින් සංස්කෘතික විප්ලවයකට මුල පිරිය යුතු ය.

දේශපාලන ක්ෂේත්‍රය ද කණපිට හරවා නැවත සැකසිය යුතු ය. සුදු ජාතිකයන් අපට දුන් දේශපාලන ක්‍රමවේදය, පාර්ලිමේන්තුව සහ පක්ෂ ක්‍රමය මේ රට ක්‍රමයෙන් ඇද දමන්නේ අගාධයකට ය. ඒ බව අද වන විට මේ රටේ ජනතාව ද අවබෝධ කරගනිමින් සිටිති. පාර්ලිමේන්තුවේ 225 ම දියවන්නාවට දැමිය යුතු බව අද ඒ පාර්ලිමේන්තුව නියෝජනය කළ නායකයින් ම ප්‍රකාශ කිරීම විහිළුවකි. ජනතාවට මේ පාර්ලිමේන්තුව සහ පවන්නා දේශාපාලන ක්‍රමය තිත්ත වී ඇත. පක්ෂ ක්‍රමය ද අද වන විට සම්පූර්ණයෙන් ම විකෘතියකි.

 

ත්‍රස්තවාදීන් හදන විශ්වවිද්‍යාල

කවුරුන් කවර පක්ෂය නියෝජනය කරන්නේ ද යන්න සිතාගත නොහැකි ය. මුදල් විසි කළ හැකි නම් ඕනෑ පක්ෂකයක ලොකු පොඩි මාළු තමන්ගේ කූඩයට දමාගත හැකි ය. වත්මන් දේශපාලනය ඇත්තේ එතරම් පිරිහුණු තැනක ය. ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් කිසිවක් නැති අතර විවිධ කොමිෂන් සභා පත්කොට තිබුණ ද හතර අත ඇත්තේ දූෂණය යි. මෙයින් ගැලවීමට නම් නව දේශපාලන සංස්කෘතියක්, නව දේශපාලන දර්ශනයක් ඇති කරගත යුතු ම ය.

පවත්නා අධ්‍යාපන ක්‍රමය ද නිසරු ය. මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ විශේෂ පැහැදීමක් ඇති කරගත නොහැකි ය. බොහෝ විට ඒ ඔස්සේ සිදු වන්නේ රටේ ධනය සම්පූර්ණයෙන් ම විනාශ කර දමනසුලු දේ ය. විශ්වවිද්‍යාලවලට ඇතුළු වන ඇතැම් දරුවන් ඒවායෙන් පිට වන්නේ ත්‍රස්තවාදීන් ලෙසිනි. එහි වරද සම්පූර්ණයෙන් ම එම දරුවන්ට ම පැවැරිය යුතු නැත. මේ නිසරු අධ්‍යාපනය ක්‍රමය ද වගකිව යුතු ය. තැනින් තැන වෘත්තීය අධ්‍යාපන ආයතන පිහිටුවමින් අඩුවැඩි වශයෙන් කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම හඳුනාගත හැක්කේ මෙරට අධ්‍යාපනයේ දොස්පරොස් ඇති තැන්වලට පැලැස්තර ඇලවීමක් වශයෙනි. රට ගොඩනැගීමෙහිලා මේ පවත්නා අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම වෙනස් කිරීම අත්‍යවශ්‍ය වන අතර පැලැස්තර ඇලවීම නිෂ්ඵල ය. අධ්‍යාපන ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදු නොවුණහොත් අනාගත තරුණ පරපුර රට ජාතිය පිළිබඳ හැඟීමෙන් තොර පිරිසක් බවට පත් වනු නොඅනුමාන ය.

අත්වී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් ගැලවීමට නොහැකි වුව හොත් මේ අපේ ජාතියේ අවසානය විය හැකි ය. කෙසේ වෙතත් බහුතර සිංහල ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් කර ගැනීමට පළමු වරට අපට හැකි වී තිබේ. මෙතුවක් කලක් අපට ජනාධිතිවරයෙකු පත් කරගැනීමට අවැසි වූ විට සුළු ජන කොටස්වල සහාය ලබාගැනීමට සිදු වූ අතර ඒ තත්ත්වයෙන් අත්මිදී වත්මන් ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් කරගැනීමට හැකි වී තිබීම විශේෂත්වයකි. මේ රට ගොඩනැඟිය හැකි සුවිශේෂ නායකයකු ලෙස හඳුනාගත හැකි එතුමාට පුරවැසියන් ලෙස අප විසින් සම්පූර්ණ සහයෝගයක් ලබාදිය යුත්තේ සියලු ක්ෂේත්‍රවලට අවශ්‍ය කරන ඒ ඒ දර්ශනයන් ගොඩනඟාගැනීමත් ඒ අනුව ම රට කරවීමත් වෙනුවෙනි.

සටහන

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න