චින්තන විප්ලවයක් රටට අවශ්‍යයි | දිනමිණ


 

චින්තන විප්ලවයක් රටට අවශ්‍යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක විදුර වික්‍රමනායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක නියත ජයක් හිමි කර ගැනීමට නොහැකි බව වෙනත් පක්ෂවල අපේක්ෂකයන් සඳහන් කරනවා. ඒ ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?

අප ජයග්‍රහණය කරනවා. පොහොට්ටුවේ ජය නියතයි. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක, ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා ඉවහල් වන ජයග්‍රහණයක්. ඒ වගේ ම ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය තහවුරු වීමකුත් මේ මඟින් සිදු වෙනවා.

පසුගිය කාලෙ ගොවීන්ගෙ වී අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පැනනැඟී තිබුණා. සහතික මිලක් ලබාදීම මඟින් ජනාධිපතිතුමා එයට විසඳුමක් ලබා දුන්නා. ඉදිරියේදී වී ගොවියා මුහුණ දෙන මේ වගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට ඔබලා සූදානම්ද?

වී ගොවියා ගැන විතරක් නෙමෙයි. මේ වගේ ගැටලු මුළු කෘෂිකර්ම පද්ධතියේම තිබෙනවා. ඒ නිසා, සමස්ත කෘෂිකර්ම පද්ධතියම ගැන හිතලා ඕනැ අප මේවට පිළිතුරු හොයන්න. ඒකට හේතුව එක දෙයකට විතරක් පැලැස්තර දැමීම පලක් නොවන නිසයි. මෙතුවක් කල් අප කරලා තිබෙන්නේ මේ පැලැස්තර ඇලවීම. ඒ නිසා අපට එක තැනක් විතරක් නෙවෙයි, මේ මුළු පද්ධතියටම වැඩපිළිවෙළක් සකසන්න වෙනවා. එහෙම නොවන තාක්කල්, ප්‍රශ්න වරින් වර මතුවෙන්න ඉඩ තිබෙනවා. ඒක හරියට පැච් දාලා දුවන ටයර් එකක් වගේ. එක තැනකින් හුළං යන්න යන්න තව තැනකට පැලැස්තර දමනවා. ආයෙ හදනවා. ආයෙ හුළං යනවා. ඒ වගේ තත්ත්වයකට එන්න පුළුවන්. කෘෂිකර්මාන්තය තමයි අපේ රට බලාත්මක කරන්න පුළුවන් හොඳම ක්ෂේත්‍රය. විශාලම ශක්ති ප්‍රභවය ඒකයි. එතැනින් අපට රැකියා බොහෝ ප්‍රමාණයක් උත්පාදනය කර ගන්න පුළුවන්. රටට අවශ්‍ය කරන විදේශ විනිමය, අප දැනට වියදම් කරන විදේශ විනිමය, සියයට 40කට 50කට අඩු කර ගැනීමේ හැකියාව තිබෙන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රය මඟින්. ඒ නිසා අප, වැවිලි , සත්ත්ව පාලනය, ධීවර ආදී කෘෂිකර්මාන්තයට අදාළ සියලුම අංශවල දියුණුව ඇති කර ගත යුතුයි. ඒ ඒ ක්ෂේත්‍රයට අදාළ සුවිශේෂී වූ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. ඒත් අප ප්‍රථමයෙන්ම බැලිය යුත්තේ ප්‍රාථමික නිෂ්පාදකයා වන ගොවියා, ධීවරයා, සුළු ඉඩම් හිමියා, සත්ත්ව පාලනය කැන පුද්ගයා විය හැකියි. ඒ හැමගේම ජීවන මට්ටම ඉහළ තැනකට ගේන්න වැඩපිළිවෙළකුත් තිබෙන්න ඕනෑ. ඒ වගේම අප ඊ ළඟට එන දෙවැනි තුන්වැනි පරම්පරාවේ ප්‍රශ්න, ගැටලු විසඳීමටත් අවධානය යොමු කරන්න ඕනෑ. උදාහරණයක් විදිහට මහවැලි ජනපදවල මුල් පදිංචිකරුවන්ට වඩා අනෙක් අයගේ අවශ්‍යතා වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි.

ඉදිරියේදී ඔබලාට, කෘෂි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ද?

එහෙම කියන්න බැහැ. කෘෂිකර්මාන්තය කියන්නේ සියයට 95ක්ම අවදානම්. පෙර කියලා, දැනුම්දීලා එන ගැටලු නෙවෙයි තිබෙන්නේ. සියයට පහයි සාර්ථකත්වය. ඒක තමයි සාමාන්‍යයෙන් න්‍යායාත්මකව දෙන පදනම. එවැනි දේකදි ඕනැම වෙලාවක දේශගුණය, පළිබෝධ, රෝග වෙන්න පුළුවන්. මොනවා හරි දේකින් කෘෂිකර්මාන්තයට බරපතළ තර්ජන, අභියෝග එල්ල වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් උද්ගත වෙන්නේ ආණ්ඩුව කරන්නේ කවුද? කියලා බලලා නෙමෙයි. රාජ්‍ය යන්ත්‍රණය සකස් වෙලා තියෙන්නෙ කොහොමද? කෘෂිකර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවද? එවන් අවස්ථාවක බලන්න ඕනෙ මේ වගේ කරුණු ගැනයි. ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා, තිබෙන අණ පනත් හොඳින් ක්‍රියාත්මක වෙලා බලාත්මක නොවෙන නිසා, ඒ ඒ කාල පරාසවලදී යම් යම් දුර්වලතා ඇති වෙනවා.

පශ්චාත් උපාධිධාරීන් වැඩිම ප්‍රමාණයක් සිටින ක්ෂේත්‍රයක් විධිහට කෘෂි ක්ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්. ඒත් ඒ පශ්චාත් උපාධිවලින් අප රටට සේවයක් ලබා ගන්නව ද? මානව සම්පත කියන දේ අපේ රටේ කළමනාකරණය කරලා ප්‍රයෝජනයට ගන්නව ද?

මෙය කෘෂිකර්මාන්තයට පමණක් නෙවෙයි, මුළු මහත් රටේම තිබෙන ප්‍රශ්නයක්. අපේ රටේ කෘෂිකර්මාන්තය කියන්නේ, එහෙ මෙහෙ අඳුරෙ අත පත ගගා යන ක්ෂේත්‍රයක් විදිහටයි අප දකින්නේ. මේවයෙ තිබෙනවා පර්යේෂණ. ඒ සඳහා අය වැයෙන් මුදලක් වෙන් වෙන්නේ හරි අඩුවෙන්. ඒත් ඒ සඳහා විශාල මුදලක් වෙන් විය යුතුයි. විශ්වවිද්‍යාල, ඒ වගේම රාජ්‍ය ආයතන සමඟ එකට බැඳුණු වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒකට මෙහෙයුම් කමිටුවක් පැවැතිය යුතුයි. කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය වගේ එක එක ක්ෂේත්‍රවලට ඇමැතිවරු පත් කළ­ාම, අමාත්‍යාංශ කැඩිලා යනවා. මේ ක්ෂේත්‍රය එක එක ඇමැතිවරුන්ට බෙදිලා යනවා. අමාත්‍යාංශ කැඩුවහම, හොඳට තිබිය යුතු, එක විෂයයකට බලපාන තව විෂයයක් කැඩිලා යනවා. ඒ දේ වළක්වා ගැනීම සඳහා, අදාළ අමාත්‍යාංශ එකතු කරලා, මෙහෙයුම් කමිටුවක් සකසා ගත යුතුයි. උදාහරණ විධිහට, වී මිල තීරණය කරන්නේ කවුද? කිය කියා තර්ක කරමින් ඉන්නවට වඩා, පාරිභෝගික, වෙළෙඳ අමාත්‍යාංශය මේ මෙහෙයුම් කමිටුවට පැමිණීම අවශ්‍යයි. අලුත් විධිහට හිතලා වැඩපිළිවෙළක් සකසා ගත්තේ නැත්නම්, කෘෂිකර්මාන්තය විතරක් නෙවෙයි, රටම දියුණු කරන්න බැරි වෙනවා.

මේ ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සිදු කළත්, ඒවා ගොවියාට නිසි ආකාරව සන්නිවේදනය වෙන්නෙත් නෑ. එක්කෝ ගොවියා ඒවා පිළිගන්න කැමැති නැහැ. කෘෂි ව්‍යාප්ත සේවය කඩා වැටුණු එකක්. ඒකට හේතුව සුදුසු අය නෙවෙයි ඒ ඒ තැන්වලට දාලා තියෙන්නේ.

යම්කිසි ආණ්ඩුවක් ආරම්භ කළ හොඳ වැඩපිළිවෙළක්, ඊට පසු එන පාලකයන් විසින් ඉදිරියට පවත්වාගෙන යෑමක් අපේ රට තුළ දක්නට ලැබෙන්නේ නැහැ නේද?

පළමු වැනි දේ, අපට ඔබින ප්‍රතිපත්තියක් සකසා ගැනීමයි. මෙවැනි දේ නිසා තමයි අපට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ. ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම්, ඒ වගේ දේ සිදු වෙන්නේ නැහැ.

උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීම කොයි වගේද?

උපාධිධාරීන්ට වැටුප් දීලා, රැකියා දීගෙන යනකොට මැතිවරණ කොමිසම මඟින් ඒක නැවැත්තුවා. මැතිවරණ කොමිසම හිතන විධිහේ යම් සාධාරණයත්වයක් තිබුණත්, ඒ අය හිතන්නේ මේ දේ මානසික අල්ලසක් කියලනෙ. ඒත් උපාධිධාරියෙක් කියන්නේ හොඳ දැනුමක් තිබෙන කෙනෙක්. ඒ දැනුමෙන් මේ රටට ප්‍රයෝජනයක් ගන්න නම්, හැදෑරූ උපාධි පාඨමාලාවට අදාළ නිසි රැකියාවක් ලබා දිය යුතුයි. මෙය අපේ රටේ බොහෝ දුරට නිසි පරිදි සිදු වන්නේ නෑ. උපාධිධාරීන් හිතන්නෙත් අප රාජ්‍ය අංශයට ඇතුළත් විය යුතුයි කියලයි. අවසානයේ දේශපාලනඥයන් ඉදිරියේ දණ්ඩ නමස්කාරය කරනවා. ඒත් උපාධිධාරියා එසේ විය යුතු නෑ. ඒ තත්ත්වය වහාම වෙනස් විය යුතුයි.

අද අපේ සමාජ රටාව සැකසිලා තිබෙන්නේ, මොන සුදුසුකම තිබුණත්, දේශපාලනඥයකුගේ මැදිහත් වීමකින් තොරව, රැකියාවක් ලබා ගැනීමට නොහැකි ආකාරයටයි. ඔබ හිතන්නේ ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් වෙයි කියල ද?

සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන මතයේ මම ඉන්නේ.අප හිතන්නේබ රාජ්‍ය අංශය ගැන විතරයි . සමුපකාර අංශය ගත්තහම කොයි තරම් වටින අංශයක්ද? උපාධිධාරියා විශ්වවිද්‍යාලයෙන් එළියට එද්දි, රජය මඟින් රාජ්‍ය අංශයේ රැකියාවක් දිය යුතුයි කියලා හිතනවා. ඒත් ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. සමුපකාර අංශය නිදා වැටුණු යෝධයෙක් හා සමානයි. ගෞරවාන්විතව ඇගැයීම්, සමාලෝචන කරලා, සමුපකාර අංශය නගා සිටුවීමට අප ක්‍රියා කළ යුතුයි. උපාධිධාරීන්ට රැකියා සෙවීම කාගේවත් පෙලඹවීමකින් තොරව සිදු විය යුතුයි. අප කැමැති වුණත්, අකැමැති වුණත් ඒ දේ කළ යුතුයි. දේශපාලනඥයාගේ මැදිහත් වීමකින් තොරව රැකියා සපයා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. රාජ්‍ය, පෞද්ගලික සහ සමුපකාර යන අංශය හරහා රැකියා ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තිබිය යුතුයි. පිටරටවල සිදු වෙන්නේ, උපාධිය අවසන් කිරීමට මාස තුන හතරකට කලින් විවිධ රැකියා ස්ථාන මඟින් ඒ විශ්වවිද්‍යාලවලට ඇවිත් තමාගේ පුරප්පාඩුවලට අදාළ සුදුස්සන් බඳවා ගැනීමයි. ඒ ක්‍රමවේදය අප රටටත් ගළපා ගැනීමට අප කටයුතු කළ යුතුයි. අපේ රටේ, පශ්චාත් උපාධිය තිබෙන පුද්ගලයා උගන්වන්නේ දෙකේ පන්තියට. අපේ රටේ මිනිසුන්ගේ අසරණකම, අවශ්‍යතාව නිසා මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.

පවතින ගැටලු වළක්වා ගැනීම සඳහා පවතින ඉදිරි සැලැසුම් මොනවද?

අප ළඟ වැඩසටහන් ගණනාවක් තිබෙනවා. මැතිවරණයෙන් පස්සේ අප අනිවාර්යයෙන් ම යෝග්‍ය තාක්ෂණය පදනම් කර ගත් අනිවාර්ය අලුත් වැඩසටහනකට එන්නම වෙනවා. බෝග වගාවේදී වගේ ම බෝග නිෂ්පාදනයේදී මේ දේ කළ යුතුයි. අප රටේ නිෂ්පාදනය කරගත හැකිව තිබියදී, පිටරටවලින් ආහාර ගෙන්වීමට අප විශාල මුදලක් වැය කරනවා. ඒත් එහෙම අවශ්‍යතාවක් නැහැ. පසුගිය සමයේදී මිනිසුන්ට අපේ අවශ්‍ය දේ අප ම නිෂ්පාදනය කරගත යුතුයි කියන අදහස තිබුණත්, කොරෝනා වසංගතය පාලනය වුණාට පස්සේ ඒවා මතකයෙන් ගිලිහිලා. වගාවන් ආයෙ වල්වැදිලා.

කුඩු පාතාලය මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට රජය ක්‍රියාත්මක කර තිබෙනවා. කුඩු සහ පාතාලය සහමුලින් ම අතුගා දැමීමට හැකිවෙයි කියා ඔබ හිතනවද?

අනිවාර්යයෙන් ම පුළුවන්. ඒ වගේම ජනතාවත් ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනගාගෙන සිටිය යුතුයි. මට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳ අසීමිත විශ්වාසයක් තිබෙනවා. එතුමා ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම‘ කෙරෙහි ප්‍රසාදයක් තිබෙනවා. ඉදිරියේදී සියලු කටයුතු සිද්ධ විය යුත්තේ ඒ අනුවයි. සෞභාග්‍යයේ දැක්ම කියන්නේ ප්‍රායෝගික වැඩසටහනක්. ඒත් ඒක බලාත්මක කිරීම හෝ ක්‍රියාත්මක කිරීම හෝ සඳහා පාර්ලිමේන්තුවේ ආශිර්වාදය ලබාගත යුතුයි. ඒකට හේතුව, සමස්ත වැඩසටහන වගේම, මේ දෙයට අදාළ අණ පනත්, සංශෝධන වගේ දේ ගෙන ආ යුතු නිසයි.අලුතෙන් පාර්ලිමේන්තුව රැස් වෙනකොට අප වෙනුවෙන්, රට වෙනුවෙන් වැඩ කරන්නේ කවුද කියන එක මහජනතාව තේරුම් ගත යුතුයි. සල්ලි විසි කරන කෙනා ගැන නෙමෙයි හිතන්න ඕ‍නෙ. අප වෙනුවෙන්, රට වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කාටද? කියලා හිතලා මේ අවස්ථාවේ නිසි තීන්දුව ගත යුතුයි. මේවා බලාත්මක කර ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ සහයක් ලැබීමෙනුයි.

දේශපාලනඥයා ඇඟිලිගැසීම්වලින් තොර කෙනෙක් විය යුතුයි කියා ඔබ නිරතුරුවම පවසනවා. ඔබ ඒ වගේ ඇඟිලිගැසීම් කරන්නේ නැති කෙනෙක් ද?

හරියට යමක් තිබෙනවා නම්, අප මොකටද ඇඟිලි ගැසීම් කරන්නේ? දේශපාලනඥයන්ගේ වගකීමෙන් කොටසක් වෙන්නේ සම්බන්ධීකරණ ක්‍රියාවලිය. අප හොයන්න ඕනෙ ප්‍රශ්නෙකට විසඳුම් . ඒත් දේශපාලනඥයා කරන්නේ තිබෙන ප්‍රශ්නවලට තවත් ප්‍රශ්න එකතු කිරීම . අවුලෙන් අවුලට පත් වෙන්නේ ඒ නිසයි. ඒ නිසා අප අලුතෙන් සිතිය යුතුයි. ලෝකය අපට වඩා බොහෝ දුරක් ඉදිරියට ගිහින් තිබෙන්නේ. ඒ අය ඉදිරියට ගියේ කොහොම ද? කියන දේ පිළිබඳ හිතලා අප අලුත් වැඩපිළිවෙළකට යා යුතුයි. අභිමානය ආරක්ෂා වන වැඩපිළිවෙළක් මුළු රටේම තිබිය යුතුයි. අමාත්‍යාංශද දෙපාර්තමේන්තුද මණ්ඩලද කියන දෙය එහිදී වැදගත් නෑ. රට ඉදිරියට ගෙන යන්න නම්, සියලු ම ක්ෂේත්‍ර ඉදිරියට යා යුතුයි. ඒ අනුව මේ රටට කාර්මික, කෘෂිකාර්මික, පරිසර සහ චින්තන විප්ලවයක් ඇති විය යුතුයි.

පසුගිය කාලෙ පරිසරය විනාශයට ලක් කළ පිරිස් සිටියා. ඒ නිසා මේ අවස්ථාවේ සිතිය යුත්තේ, එවැනි අයට තව දුරටත් අවස්ථාව දිය යුතුද? කියන දේ ගැනයි. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ සඳහා හොඳම විසැඳුම ලබා දෙන්න හැකියාව තිබෙන්නේ ජනතාවටයි.

ඉදිරියේදී ඔබ නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් ජනතාවට වගේම, මුළු මහත් රටටම දැනෙන වෙනසක් කරන්න ඔබ සූදානම් කුමන ආකාරයටද?

අපට හොඳ නායකයෙක් ඉන්නවා. සැලැස්මක් තිබෙනවා. අප හැමෝම එකට එකතු වුණොත්, අපේ රට හොඳ මට්ටමකට රැගෙන ආ හැකියි. කොහොමත් ජනතාව සම්බන්ධ කිරීමේ තැන මම ඉන්නවා. ‘මේ අපේ රට‘ කියන දේ ගැන ජනතාවට හැඟීමක් දිය යුතුයි. ඒ මඟින් අපට අපේ රට ඉදිරියට ගෙන යා හැකියි. අධ්‍යාපනයට, ජීවන මට්ටම ඉහළ නැංවීමට ක්‍රියා කිරීම මඟින් රට උසස් තැනකට ගෙන ආ හැකියි. මම කොහොමත් ඉදිරියේදීත් මේ රටේ කෘෂිකර්මාන්තයට මුල් තැන දීලයි කටයුතු කරන්නෙ.

සංවාදය ඉරෝෂිණී දීපිකා

නව අදහස දක්වන්න