සෞභාග්‍යයේ දැක්මෙන් රත්නපුර නංවන්න මේ මැතිවරණයේදී ජන සහය ලැබෙනවා | දිනමිණ


 

සෞභාග්‍යයේ දැක්මෙන් රත්නපුර නංවන්න මේ මැතිවරණයේදී ජන සහය ලැබෙනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක රංජිත් බණ්ඩාර

ඔබගේ පරම්පරාවේ අය දේශපාලනයට සම්බන්ධ අය නොවේ. ඔබ දේශපාලනයට සම්බන්ධ වුණේ කොහොමද?

මගේ පියා මැණික් ව්‍යාපාරිකයෙක්. පියාගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා තිබුණේ රත්නපුර පල්ලිය පාරේ. එවකට රත්නපුර ආසනයේ මන්ත්‍රී වූ නන්ද එල්ලාවල මහතා මගේ පියාගේ මිත්‍රයෙක්. ඔහුගේ කාර්යාලයත් පිහිටා තිබුණේ පල්ලිය පාරේ නිසා නිතරම පියාගේ වෙළෙඳසලට නන්ද එල්ලාවල මහතා එනවා. මමත් එහි යනවා. එහිදී නන්ද එල්ලාවල මහතාගේ එඩිතරකම සහ ජනතාව සමඟ පැවැත්වූ සුහදශීලීභාවය මගේ සිතට කා වැදුණා. දේශපාලනයට මගේ සිත ඇදී ගියා. මමත් සමහර අවස්ථාවලදී දේශපාලන කටයුතුවලට සුළු වශයෙන් සම්බන්ධ වුණා.

රත්නපුරේ ප්‍රගතශීලී නායකයන් වූ නන්ද, නාලන්ද මහත්වරුන්ගේ සහ සුරංගනී එල්ලාවල මහත්මියගේ අභාවයෙන් පස්සේ 1999 රත්නපුර ආසනයට සංවිධායකවරයකු නොසිටි අවස්ථාවක රත්නපුරේ ප්‍රගතශීලී ජනතාවගේ සහ තරුණ පිරිසේ ඉල්ලීම අනුව මා දේශපාලනයට පිවිසුණා. එම වසරේ පළාත් සභාමැතිවරණයට ඉදිරිපත් වූ මා පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වුණා. සබරගමු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සහ සභාපති වශයෙන් කටයුතු කළ මා සමාජ සුභසාධන, ළමා ආරක්‍ෂක සහ කර්මාන්ත අමාත්‍යවරයා වශයෙනුත් කටයුතු කළා.

දේශපාලනයේදී ඔබ කළ සේවය මතක් කළොත්?

සමාජ සුභසාධන, ළමාරක්‍ෂක සහ කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මා පත් වන අවස්ථාව වන විට අමාත්‍යාංශය අවතක්සේරුවට ලක් වී තිබුණා. ආබාධිත පුද්ගලයන් තමන්ට අවශ්‍ය උපකණ ලබා ගැනීමට ඉල්ලුම් කරන විට අමාත්‍යංශයේ ඒවා නැහැ. උපකරණ අමාත්‍යාංශයට ලැබෙන විට ඇතැම් ඉල්ලුම්කරුවකු මිය ගිහින්. මා අමාත්‍යධුරයට පත් වූ පසු මෙහි දුර්වලතාව හඳුනාගෙන සංචිතයක් පිහිටුවා, ආබාධිත පුද්ගලන් වෙනුවෙන් අවශ්‍ය ශ්‍රවණ උපකරණ, රෝද පුටු, කිහිලිකරු, ගබඩා කර තබා ඉල්ලුම්කරුවන් ඉල්ලූ විගස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ඒවා පිරිනැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළා.

මගේ අමාත්‍යාංශය මඟින් පළාත් සභා පාසල්වල ඩෙස් පුටු අලුත්වැඩියාව කිරීම සහ වෙනත් භෞතික සම්පත් ලබාදීම, ස්වයං රැකියාවල නියැළෙන තරුණ තරුණියන්ට කර්මාන්ත ආධාර මුදල් ලබාදීම, දිළිඳු පවුල්වලට නිවාස ආධාර ලබාදීම, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ග්‍රාමීය පාරවල් වැඩිදියුණු කිරීම වැනි සේවා රාශියක් කරන්න මට පුළුවන් වුණා.

මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න ඔබට පුළුවන් වෙයි ද?

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය රත්නපුරය වුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු නොසිටීම නිසා රත්නපුර ප්‍රදේශයේ සංවර්ධනය විශාල පසුබෑමට ලක්ව තිබෙනවා. රත්නපුරේ ප්‍රගතිශීලී ජනතාව මෙය අවබෝධ කරගෙන සිටින නිසා මෙවර මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් 2/3ක බහුතර බලක් සහිත ආණ්ඩුවක් පත්කිරීම ස්ථීරයි. එම පාර්ලිමේන්තුවේ රත්නපුර ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා වශයෙන් මා තොරා පත් කරනවාට සැකයක් නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඔබ දැක්වූ දායකත්වය කොහොම ද?

රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලනයට සම්බන්ධ සමහර මහජන නියෝජිතයන් වරප්‍රසාද, ඇමැතිකම් බලාපොරොත්තුවෙන් යහපාලන ආණ්ඩුවට එකතු වුණා. ඒත් පළාත් සභා අමාත්‍යවරයකුව සිටි මා ගියේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව මැදමුලන නිවෙසට වී සිටි අවස්ථාවේ, නැවත දේශපාලනයට පැමිණෙන්න කියා එතුමාට ආරාධනා කරන්න ගිය පිරිසෙන් මාත් කෙනෙක්.

රත්නපුර සංවර්ධනය කිරීමට ඔබට ඇති සැලසුම් මොනවාද?

යෝජනා රාශියක් මා සතුව තිබෙනවා. රත්නපුරේ වැඩි පිරිසක් රැකියාව වශයෙන් නියැළී සිටින්නේ මැණික් කර්මාන්තයේ. මැණික් කර්මාන්තය පරිසරයට හානියක් නොවන පරිදි ආපදා කළමනාකරණ සැලැස්මක් යටතේ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම, සංචාරක කර්මාන්තය නගා සිටුවීමට රත්නපුර මහ නගර සභාවට සහ ප්‍රාදේශීය සභාවට පහසුකම් සලසාදීම, වාහන තදබදය අඩු කිරීම, ඉදිකිරීම් ප්‍රමාද වී ඇති රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම කඩිනම් කිරීම සහ රත්නපුර පිටරවුම් මාර්ගය ඉදි කිරීම කඩිනම් කිරීම වගේ වැඩ රාශියක් කරන්න තියෙනවා. රත්නපුර පැරණි නගරය වෙළෙඳ නගරයක් ලෙසත් රත්නපුර නව නගරය පරිපාලන‍ නගරයක් ලෙස වැඩි දියුණු කිරීම, කාන්තාවන්ට ස්වයංරැකියා අවස්ථා සලස්වා දීම, දුදරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට තෝරාගත් පාසල් කීපයක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි ත්‍රෛභාෂා වශයෙන් සංවර්ධනය කිරීම හා ද්‍රවිඩ පාසල්වල ගුරු හිඟය පියවීමට වතුකරය ආශ්‍රිතව උසස් පෙළ දක්වා ද්‍රවිඩ පාසල් ආරම්භ කිරීම වගේ වැඩකොටසකුත් කරන්න තියෙනවා.

මහජනතාවගෙන් ඔබ ඉලල්ලා සිටින්නේ කුමක් ද?

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් වසර 30ක් පැවති යුද්ධය නිමා කර රට ආර්ථික වශයෙන් සංවර්ධනයට කරමින් සිටියදී යහපාලන ආණ්ඩුවක් බලයට පත් කරවීම නිසා රටේ ගමන ආපස්සට හැරුණා. පසුගිය ජනාධිපතිවරණය්දී 69 ලක්‍ෂයක ජනතාවක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජන්දය දී ජනාධිපතිධුරයට පත් කර ගත්තේ ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ දැක්ම ක්‍රියාවට නැංවීමටයි. ඒ සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලකුණ වන පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා අප ජයග්‍රහණය කරවන්න කියලයි මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එන්.පී. රාජදොරේ 
රත්නපුර විශේෂ

නව අදහස දක්වන්න