ලොව වටා කොරෝනා සවුදි අරාබියට දාහතර වැනි තැන | දිනමිණ


 

ලොව වටා කොරෝනා සවුදි අරාබියට දාහතර වැනි තැන

ආසාදිතයෝ 274,219යි මරණ 2,842යි 231,198ක් සුවය ලබති

ලෝකයේ නව කොරෝනාවයිරසය පැතුරුණු රටවල් අතුරින් දාහතර වැනි ස්ථානයේ සිටින්නේ සවුදිඅරාබියයි.

එරට මුළු ආසාදිතයන් ප්‍රමාණය 274,219ක් වන අතර, මරණ ප්‍රමාණය 2,842කි. එරට සුවය ලැබූ ගණන 231,198කි.

සවුදිඅරාබියේ මුලින්ම කොරෝනා රෝගියකු වාර්තා වූයේ මාර්තු 2 වැනි දාය. ඉන් පසු ක්‍රමිකව වර්ධනය වූ එරට කොරෝනා ආසාදිතයන් ගණන අප්‍රේල් මැද භාගය වන විට වේගයෙන් වර්ධනය වන්නට පටන් ගත්තේය. මේ වන විට එරට කොරෝනා ආසාදිතයන් වර්ධනය වන්නේ ඉතාම ඉහළ වේගයකිනි. එරට එක් දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන හමුවූයේ ජූනි 17 වැනිදාය. ඒ 4,919කි. ජූලි 30 වැනි දා එරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 1629කි. රෝගීන් ගණන යම් ලෙසකින් පහත වැටුණත් සවුදියේ මරණ අනුපාතය ක්‍රමයෙන් ඉහළ යමින් පවතියි. අලුතෙන් රෝගය වැලඳෙන්නන්ට සාපේක්ෂව අලුතෙන් සුවය ලැබූ සංඛ්‍යාව සැලකීමේ දී අප්‍රේල් මාසයේ සුවය ලැබූවන්ට වඩා රෝගය අලුතෙන් වැලඳුණු සංඛ්‍යාව වැඩිවිය. මැයි මාසයේ ඒ දෙකම සමාන මට්ටමක පැවැති අතර ජූනි මාසයේ අලුතෙන් රෝගය වැලඳුණු සංඛ්‍යාව වැඩිවිය. ජූලි මාසයේ අලුතෙන් රෝගය වැලඳුණු සංඛ්‍යාව වේගයෙන් පහත වැටෙමින් පැවැති අතර සුවය ලැබූ ගණන උච්ඡාවචනයට ලක් වී තිබූ බව දත්ත පෙන්නුම් කරයි. සවුදි අරාබියේ කොරෝනා වයිරසයෙන් මියයන සංඛ්‍යාව ඉතා පහළ මට්ටමක ස්ථාවරව පවතින අතර සුවය ලැබීම් සංඛ්‍යාව ඉති ඉහළ මට්ටමක ස්ථාවරව පවතියි. මේ අනුව රෝගීන් සංඛ්‍යාවට මරණ අනුපාතය සියයට 1ක පසුවන අතර සුවය ලැබීමේ අනුපාතය සියයට 99ක මට්ටමේ පවතියි. සෞදි අරාබිය පසුගිය ජූනි මස මැද භාගයේ එරට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කළේය. එයින් අදහස් කළේ ව්‍යාපාරවල වර්ධනයට ඉඩ සලසා දීමයි. කෙසේ වෙතත් ආගමික, වන්දනාමය, විදේශ සංචාරමය කටයුතු උපරිම වශයෙන් 50දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට සීමා කෙරිණි.

ඉස්ලාම් භක්තිකයන්ගේ වැදගත්ම වන්දනා කර්තව්‍යයක් වන හජ් වන්දනාව පැවැත්වෙන සෞදි අරාබිය මෙවර හජ් වන්දනාව ස්වදේශිකයන් 1,000කට සීමා කළේය. වෙනදාට ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මිලියන දෙකක් පමණ මේ වන්දනාවේ යෙදෙමින් සෞදි අරාබියේ මක්කමට සහ මදීනා වෙත පැමිණෙති.

 

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න