කොවිඩ් පරදා ඡන්දය පෙරමුණට! | දිනමිණ


 

කොවිඩ් පරදා ඡන්දය පෙරමුණට!

මැතිවරණය සඳහා තවත් දින දෙකක් ඉතිරිව පවතී. පෘථිවියේ භ්‍රමණය වීම නොනවතී ද: එලෙසම අගෝස්තු 05 දා මහ මැතිවරණය පැවැත්වීම ද ඒකාන්ත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා තිබේ. මැතිවරණ නිරීක්ෂකයන්ගේ පූර්ව නිගමනය වූයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මහජනයා ස්වකීය ඡන්දය කෙරෙහි ඒ හැටි උනන්දුවක් දක්වන්නේ නැති බවය. එහෙත් මේ වන විට ඉහත නිගමනය මුළුමනින්ම ප්‍රතික්ෂේප වී ඇත. කොවිඩ් 19 පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය පෙරමුණට පැමිණ ඇතැ’යි කිව හැකිය. දිවයිනේ සියලු ප්‍රදේශ වෙතින් මැතිවරණ උණුසුම දැකගත හැකිය. ජනතාව මැතිවරණ කෙරෙහි උනන්දු වන තරමට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන බව ද පෙන්වා දිය යුතුය.

2020 මහ මැතිවරණය කල් තැබීමේ වුවමනාව දේශපාලන පක්ෂ කිහිපයකට හා නායකයන් කිහිප දෙනකුට ද තිබිණි. ඒ සඳහා යොදාගත් ප්‍රධාන සාධකය වූයේ වසංගත තත්ත්වයයි. ජනතාව මැතිවරණය වෙතින් ඈත් කර තැබීමට පිරිසක් උත්සාහ කළහ. තව පිරිසක් නීතියේ පිහිට පතමින් මැතිවරණය කල් තැබීමට උත්සුක වූහ. තවත් පිරිසක් කොරෝනා භීතිකාවෙන් මහජනයා බියට පත් කළහ. දැන් මේ සියල්ල සන්සුන් වී තිබේ. නීතියෙන් මැතිවරණයට බාධාවක් පැනවූයේ නැත. කොරෝනා දෙවන රැල්ල පවා මුළුමනින්ම පාලනය විය. මැතිවරණය ජනතාවගේ අවශ්‍යතාවක් බව ද එය කල් තැබිය නොහැකි බව ද මේ වන විට මුළු රටම පිළිගෙන තිබේ.

ආණ්ඩුව මුල සිට ම පෙන්වා දුන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අත තැබීම නුසුදුසු බවය. මේ අනුව ජනාධිපතිවරයා මැතිවරණය පැවැත්වීමේ මුළු අයිතිය හා වගකීම කොමිසම වෙත භාරදී බලපෑමකින් තොරව තීන්දු ගැනීමේ අවස්ථාව නිලධාරීන්ට භාරදී තිබිණි. එය සාධනීය තත්ත්වයකි. මැතිවරණ පවත්වා ජනතා පරමාධිපත්‍යයට අවකාශය ලබාදීම කොමිසමේ වගකීමකි. කොමිසමේ සභාපතිවරයා වරක් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය කොවිඩ් -19 ඉදිරියේ පරාජය වීමට ඉඩ දී බලා සිටිය නොහැකි බවය. වසංගත තත්ත්වය යටතේ රටවල් කිහිපයක්ම මැතිවරණ පැවැත්වීය. දකුණු කොරියාව මහ මැතිවරණය පැවැත්වූයේ කොරෝනා වසංගතය උපරිම මට්ටමින් බලපෑම ඇතිකරන කාලයක් තුළය.

ඉදිරි කාලය සැලකිය හැක්කේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් හැටියටය. ජගත් සංවිධාන මේ වනවිටත් පෙන්වා දී ඇත්තේ එකිනෙක රාජ්‍යයන් ස්වාධීන ලෙස නැඟී සිටීමට සැලසුම් සකස්කර ගත යුතු බවය. ලෝක ආර්ථිකයේ පසුබෑම ඉදිරියේ සෑම රාජ්‍යයකටම නව ආර්ථික උපාය මාර්ග සොයා යෑමට සිදු වේ. එය කළ හැක්කේ ශක්තිමත් හා ස්ථාවර රාජ්‍ය තන්ත්‍රයක් යට‍ෙත්ය. දේශපාලන ආරවුල් හා කඹ ඇදීම් පවතින්නේ නම්: ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි පසුබිමක් ගොඩනැ‍ඟෙන්නේ නැත. ජනතාව මේ තත්ත්වය වටහාගත යුතු අතර මහ මැතිවරණය තීරණාත්මක අවස්ථාවක් බව ද සිහි තබා ගත යුතුව තිබේ.

මැතිවරණය පැවත්වෙන්නේ අලුත් පසුබිමක් යටතේ නව උපමානවලට යටත්ව යැයි කිව හැකිය. මැතිවරණ කොමිසමේ ඒ සඳහා විශේෂ සූදානමක් හා පෙරහුරුවක් ද පවත්වා ඇත. දේශපාලන පක්ෂවල මෙන්ම මහජන නියෝජිතයන්ගේ ද වඩාත් නිවැරැදිව කිව හොත් ඡන්ද අපේක්ෂකයන්ගේ ද පූර්ව ප්‍රචාරක කටයුතු සිදු වූයේ ද ඉහත කී විශේෂ තත්ත්වය යටතේය. මැතිවරණ කොමිසම කිසිදු පැකිළීමකින් තොරව තීන්දු ගන්නා බවත් අවශ්‍ය උපමාන නිර්දේශ කරන බවත් දැකගන්නට ලැබිණි. දේශපාලන බලපෑමක් නොවූ බැවින්කොමිසමට එම කාර්යය නිදහස්ව කරගෙන යෑමට අවස්ථාව ලැබිණි. එය ශ්‍රී ලාංකේය දේශපාලනයේ නව ප්‍රවේශයක් ලෙස ද සටහන් කර තැබිය හැකිය.

මහ මැතිවරණයකදී ජනමාධ්‍යයට විශේෂ වැඩ කොටසක් හිමි වන අතර, එය මැතිවරණයේ තීරණාත්මක සාධකයක් ලෙස ද පවතී. ශ්‍රී ලංකාව හඳුන්වන්නේ ද මාධ්‍ය සමාජයක් සහිත රාජ්‍යයක් හැටියටය. රටේ තීන්දු තීරණ ගැනීමට මහජන මතය වෙනස් කිරීමට පමණක් නොව: ආණ්ඩු තැනීමටත් ජනමාධ්‍යයේ බලපෑම තීරණාත්මක සාධකයක් ලෙස පවතී. මෙවර මැතිවරණයේදී සියලු ජනමාධ්‍ය හැසිරුණේ ස්වාධීන ලෙස යැයි පොදු නිගමනයකට පැමිණිය හැකිය. ආණ්ඩුව ජන මාධ්‍යය පාලනය කිරීමට ගියේ නැත. ජනමාධ්‍යයට බලපෑම් කිරීමට ගියේ ද නැත. එය යහපත් තත්ත්වයකි.

දැනට ජීවමාන ශ්‍රී ලංකාවේ පැරැණිම ජාතික පුවත්පත හැටියට දිනමිණ ද මධ්‍යස්ථ ස්ථාවරයක ස්ථාපනය වෙමින් සියලු දේශපාලන පක්ෂවලට සම - ආකාරයේ ප්‍රචාරයක් ලබාදීමට උත්සුක විය. පැරැණි සම්ප්‍රදාය නීති රාමු, පමණක් නොව: ආයතනගත සදොස් තැන් ද නිවැරැදි කරමින් ඉදිරිගාමී වීමට අපට හැකි විය. විපක්ෂයට වෙනදා නොලැබෙන ඉඩක් මෙවර දිනමිණ ලබා දුන්නේය. විකල්පයට වෙනදා නොලැබෙන ඉඩක් මෙවර දිනමිණ ලබා දුන්නේය. අපගේ ජනමාධ්‍ය කාර්යභාරයෙහි ඉලක්කය යහපත් රාජ්‍ය පාලනයකි. යහපත් පුරවැසි සමාජයකි. මේ අරමුණු දෙක සඳහා කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමට අපි බැඳී සිටිමු.

මහ මැතිවරණය දෙස නිරීක්ෂණ ඇස යොමු කරන විට පැහැදිලි වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් හැටියටය. ප්‍රජාතන්ත්‍රවාදය කොවිඩ් - 19 පරාජය කර ඇතැ’යි සිතන්න බොහෝ සාධක තිබේ.

 

 

නව අදහස දක්වන්න