ගෙල සිර කර මරාදැමූ දරුවාගේ සිරුර ගලේවෙල ඇළක | දිනමිණ


 

ගෙල සිර කර මරාදැමූ දරුවාගේ සිරුර ගලේවෙල ඇළක

රෙදි කැබැල්ලකින් ගෙල සිර කොට ඝාතනය කර තිබූ අවුරුදු 8 ක පිරිමි දරුවකුගේ මළ සිරුරක් ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී 31 දින පස්වරුවේ සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මව් සෙනෙහස අහිමි වී ඥාති නිවෙසක හැදී වැඩුණු සනුජ පෙරේරා නමැති කුඩා දරුවෙකි.

තිස් එක් වන දින පස්වරුවේ මෙම දරුවා පදිංචිව සිටි ඥාතී නිවෙස ආසන්නයේ ඇළ මාර්ගය වෙලක් අසල සිටියදී එකවරම මෙම දරුවා අතුරුදන් වීමත් සමග නිවැසියන් මෙම දරුවා සෙවීමට පටන් ගෙන ඇතැයි පොලිසිය කියයි.

පසුව ඥාතීන් දරුවාගේ පියාට ද කතා කොට දරුවා නොමැතිබව පවසා ඔවුහු නි‍ෙවස තුළත් ගෙවත්තේ එම ආසන්නයේ පිහිටි වේලේ මෙන්ම ඇළ මාර්ගයේ ද

පරීක්ෂා කර බැලීමේදී මෙම දරුවාගේ මළ සිරුර ඇළ ඇතුළේ තිබී සොයාගෙන ගලේවෙල රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම දරුවාගේ ගෙල ප්‍රදේශය රෙදි කැබැල්ලකින් සිරකොට මුහුණේ සෑම තැනම වැලි තැවරී තිබුණු බව පොලිසියේ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම දරුවා පදිංචි නිවෙස ඉදිරිපිට විවිධ සාදවලට ඉඩ ලබා දෙන ස්ථානයක් බවත් ඇළ මාර්ගය විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ තෝතැන්නක් බවට පත්ව ඇති බවත් පොලීසිය කියයි. දරුවා ඝාතනය වූ ස්ථානය ආසන්නයේ හෙරොයින් මත් කුඩු භාවිතා කළ සුන්බුන් රැසක් ද දැක ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

එමෙන්ම මෙම දරුවා සෙවීමේ කටයුතු සිදු කරද්දී යම්කිසි මත්ද්‍රව්‍ය භාවිතා කළ අයකු බවට සැක කරන පුද්ගලයකු හිස නමාගෙන ඇළ ආසන්නයේ සිටි බව මියගිය දරුවාගේ මිත්තණිය දැක තිබේ.

ගලේවෙල බම්බාව ප්‍රාථමික විදුහලේ තුන් වැනි වසරේ ඉගනුම ලබන මෙම දරුවාගේ මව මීට කලකට ඉහතදී ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවද පවුලේ ඥාතීහු පැවසූහ. ඉන්පසු මෙම දරුවා පියාගේ ළඟම ඥාති නිවෙසක හැදී වැඩී ඇති බවද පොලිසිය කියයි.

මෙම දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් අටසීයක් පමණ දුරින් වූ පදිංචි කරුවකු අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එළුවන් සහ හරක් ඇති කරන 62 හැවිරිදි පුද්ගලයකු වෙයි.

මෙම දරුවාගේ සිද්ධිය ගලේවෙල පොලීසියට දැනුම් දීමෙන් පසු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර වීරරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ස්ථාන පරීක්ෂා කොට එම ස්ථානය දැඩි ලෙස ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබිණි.

ඒ අනුව මාතලේ (soco) අපරාධ ස්ථාන පරීක්ෂා නිලධාරී පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් 01 දින පැමිණ ස්ථාන පරීක්ෂාව කිරීම සිදුකරනු ලැබීය.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ එම ස්ථානයට දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගතිලක මහතා පැමිණ ස්ථානය පරීක්ෂාකොට ගලේවෙල රෝහලේ තබා තිබූ දරුවාගේ මෘතදේහය දඹුල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

එම කාර්‍යයන් සිදුවෙද්දී ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති රුක්ෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර වීරරත්න මහතා දඹුල්ල පොලිසියට අයත් නිල සුනඛ අංශයේ සහයෝගය ලබාගෙන තිබිණි .ඒ වන විටත් මෙම දරුවාගේ මරණය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි වී තිබිණි.

මතලේ අපරාධ ස්ථාන පරික්ෂා නිලධාරීන්ගේ සහාය ඇතිව එම ස්ථානයේ තිබුණු දරුවාගේ ගෙල සිරකොට තිබූ රෙදි කැබැල්ල ට සමාන රෙදි කැබැල්ලක් නිල සුනඛ බෙන්ජි ට ලබා දී මෙන් පසු එම ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි නිවෙසක් වෙත මෙම පොලිස් නිල සුනඛයා දිවයන්නට වූ බව පොලීසිය කියයි.

පසුව ප්‍රශ්න කිරීම සඳහා එම නිවසේ පුද්ගලයා පොලිස් භාරයට ගෙන තිබිණි.

මෙම දරුවා රැකබලා ගත් දරුවාගේ පියා වන චානක උදය පෙරේරා මහතාගේ මවගේ නැගණිය වන යු. ජී. චන්ද්‍රානි මහත්මිය පොලීසියට කියා සිටියේ පොලිස් භාරයට ගත් පුද්ගලයා දරුවා අතුරුදන්ව සොයන අවස්ථාවේදී ද එම ස්ථානයේ සිටි බවය. දරුවා සොයමින් සිටියදී ඔහුගෙන් ද දරුවා දුටුවේදැයි යන්න තමා ප්‍රශ්න කළ බවද පැවසුවා ය. එහෙත් තමා දරුවා නොදැක්ක බව පවසා යතුරුපැදියකින් පිටව ගිය බව ද ඇය පොලීසියට පවසා තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා තම දරුවාට අසල්වැසියෙකු නිසා දැඩි ලෙස ආදරය කළ බවත් තම දරුවා එළුවන්ට සහ හරකුන්ට දැඩි කැමැත්තක් දක්වන නිසා ඔහු විසින් කුඩා වසු පැටවකු ද මීට පෙර දරුවා වෙත ලබා දී තිබුණු බව ද ඇය පොලීසියට ප්‍රකාශ කර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටිති.

පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේ දී සිදුකෙරිණි .දීර්ඝ පරීක්ෂණයකින් පසුව දඹුල්ල මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය බී.සි.එස්. පෙරේරා මහතාගේ නිගමනය බවට පත් වූයේ බරපතළ ලිංගික අපරාධයක් සිදු කොට ගෙල සිරකර මෙම දරුවා ඝාතනය කර ඇති බව ය.

සැකකරු දඹුල්ල අධිකරණයට 02 දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර වීරරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.

 

සිගිරිය විශේෂ - ගලේවල මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න