රටේ අනාගතයට දායක වෙන්න! | දිනමිණ


 

රටේ අනාගතයට දායක වෙන්න!

අද සුවිශේෂී දිනයක් සේ සැලැකිය හැකිය. රටේ අනාගතය පිළිබඳ දේශපාලන තීන්දුවක් ගැනීමේ වැදගත් අවස්ථාව ජනතාව හමුවේ පවතී. ඡන්ද බලය යනු පුරවැසියා සතු වන වස්තුවකි. එහි අගය රුපියල් ශතවලින් ගණනය කළ නොහැකිය. අතීතයේ ඡන්ද අයිතිය හිමි වූයේ තෝරාගත් පුද්ගලයන්ට පමණි. තමන් සතු වත්කම්, අධ්‍යාපන සුදුසුකම් සේම තරාතිරම ද ඊට අදාළ සාධක ලෙස පැවැතිණි. එහෙත් අද වන විට වයස සම්පූර්ණ වූ සියලු පුරවැසියන්ට ඡන්ද අයිතිය හිමි වේ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ කැපී පෙනෙන ලක්ෂණයකි. රාජ්‍ය පාලනයට හවුල්වීමේ හැකියාව ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගන්නට ජනතාව බුද්ධිමත් විය යුතුය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට මෙවර මැතිවරණයේ ඡන්දය භාවිත ප්‍රතිශතය 80% හෝ 85% හෝ ඉක්මවා යන්නට පුළුවන. එය ඉතා සාධනීය තත්ත්වයක් සේ සලකන්නට පුළුවන. අපේ මැතිවරණවල ඡන්දය භාවිත වීමේ ප්‍රතිශතය 70% ඉක්මවා ඇත්තේ අවස්ථා කිහිපයකදී පමණි. මුළු ඡන්දදායකයන්ගෙන් 80% ක් ඡන්දය භාවිත කරන්නේ නම්: එය ඉතා යහපත් තත්ත්වයකි. ඉන් සනාථ වන්නේ මහජනයා මැතිවරණ කෙරෙහි තබා ඇති විශ්වාසය යැයි කිව හැකිය. කොරෝනා වසංගත තත්ත්වය යටතේ මැතිවරණය කෙරෙහි ජනතා උනන්දුව අඩු වන්නේ යැයි මතයක් පැවැතිය ද මේ වන විට එම මතය ප්‍රතික්ෂේප වී ගොසිනි.

මේ මොහොතේ ප්‍රධාන කාර්යයන් දෙකක් කෙරෙහි අප‍ගේ අවධානය යොමු කළ යුතුව තිබේ. යුතුකම් හා වගකීම් ලෙස එම සාධක දෙක හඳුනා ගත හැකිය. ඡන්ද අපේක්ෂකයන් තම යුතුකම් හා වගකීම් වටහාගත යුතු සේම ඡන්දදායකයා ද තම යුතුකම් හා වගකීම් වටහාගෙන ක්‍රියා කළ යුතුය. අපේක්ෂකයන්ගේ යුතුකම හා වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන අයුරින් මැතිවරණය පැවැත්වීමට දායකත්වය ලබා දීමය. ඒ අතර, තමන්ගේ ප්‍රතිපත්ති හා සැලැසුම් පැහැදිලි ලෙස ජනගත කිරීමත් ඔවුන් සතු වගකීමකි. ඡන්දදායකයාගේ පළමු යුතුකම වන්නේ ඡන්ද පොළට ගොස් තම අභිමතය ප්‍රකාශ කිරීමය. ඡන්දය පුරවැසි අයිතියක් වන අතර, එය භාවිත නොකර සිටීම වගකීම් පැහැර හැරීමකි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට සෑම ඡන්ද පොළක්ම සියයට-සියයක් සුරක්ෂිතය. ඡන්ද පොළට කොවිඩ් - 19 වයිරසයට ඇතුළුවීමට ඉඩක් නැත. එලෙසම ඡන්ද පොළ වෙතින් වයිරසය කාන්දු වීමට ද ඉඩක් නැත. ඡන්ද පොළට අදාළ සියලු කාර්යයන් සිදු වන්නේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙතකට අනුවය. කොමිසම ඒ පිළිබඳ සහතිකයක් ද ලබාදී තිබේ. ඡන්ද පෙරහුරු ගණනාවක් ද පවත්වා ඇත. එයින් සනාථ වී ඇත්තේ කොවිඩ් - 19 පිළිබඳ කිසිදු භීතිකාවකින් තොරව මැතිවරණය ක්‍රියාත්මක කළ හැකිය යන්නය. කිසිදු ඡන්ද දූෂණයක් සිදු වීමට ඉඩක් නැති බව ද මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. ඒ අනුව මෙය විශ්වාසවන්ත මැතිවරණයක් බවට පරිවර්තනය වී තිබේ.

රට ඉදිරියෙහි ඇති අභියෝග දෙස බලන විට මෙවර මැතිවරණය ඉතා තීරණාත්මක එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. කොරෝනා වසංගතයත් සමඟ සමස්ත ලෝකයේම ආර්ථිකය කඩා වැටී ඇත. සමාජ නොසන්සුන්තා තැනින් තැන එළියට පනී. රැකියා අහිමි වීම්, ව්‍යාපාර කඩා වැටීම් සේම කර්මාන්ත වසා දැමීම් ද වෙනත් රටවලින් වාර්තා වන්නට පටන්ගෙන තිබේ. ලෝක වෙළෙඳ පොළ සමඟ නිරන්තරයෙන් ගැටෙන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය ඉතා අහිතකර ලෙස බලපාන්නට පුළුවන. මේ තත්ත්වයට මුහුණ දිය හැක්කේ බුද්ධිමත් නායකත්වයක් සමඟ ශක්තිමත් හා ස්ථාවර ආණ්ඩුවක් ස්ථාපනය කරගතහොත් පමණි. එය ඡන්දදායකයා වටහා ගත යුතු මූලික සත්‍යයකි. හැඟීමට නොව: බුද්ධියට මෙහිදී ප්‍රමුඛ තැන ලබාදිය යුතුව තිබේ.

ප්‍රධාන දේශපාලන ධාරා සියල්ලම පාහේ තම ප්‍රතිපත්ති, සැලැසුම් හා වැඩසටහන් ජනගත කර තිබේ. මාස කිහිපයක් තිස්සේ ගමින්-ගමට යමින් නගරයෙන් නගරයට යමින් දේශපාලකයන් සිය දැනුම්වත් කිරීම් සිදු කර ඇත. ඒ ඒ දේශපාලන පක්ෂ ගැන ද ඒ ඒ නායකයන් ගැන ද පරිපූර්ණ වැටහීමක් ජනතාවට ඇතැ’යි සිතන්නට පුළුවන. එකිනෙක පක්ෂවල ප්‍රතිපත්ති හා වැඩසටහන් සාපේක්ෂ ලෙස සලකා බලන්නට ද එකිනෙක නායකයන්ගේ චර්යා රටා නිරීක්ෂණය කරන්නට ද කාලයක් තිබිණි. ඒ අනුව ජනත‍ාවට නිදහසේ තීන්දුවක් ගැනීමට අවස්ථාව තිබේ.

මැතිවරණයේ පූර්ව කාල පරිච්ඡේදය දෙස ආපසු හැරී බලන විට ද සතුටුදායක තත්ත්වයක් වාර්තා වී තිබේ. මිනිස් ඝාතන සිදු වී නැත. ප්‍රචණ්ඩ ක්‍රියා බෙහෙවින්ම අඩුය. සුළු සිද්ධීන් කිහිපයක් හැරුණුකොට බරපතළ ගැටුම් වාර්තා වී නැත. මනාප පොරය පවා උත්සන්න වූ බවක් පෙනෙන්නට නැත. මැතිවරණයේ ප්‍රචාරක කටයුතු විනයගරුක ලෙස සිදු වී ඇතැ’යි කීම අසත්‍යයක් නොවේ. පරිසර හිතකාමී ප්‍රචාරක ව්‍යාපාර ගෙන යෑම මෙවර මැතිවරණයේ තවත් කැපී පෙනෙන ලක්ෂණයකි. හැම අතෙකින්ම පාහේ දකින්නට ලැබෙන්නේ මැතිවරණය පිළිබඳ සුබදායක තත්ත්වයකි. ජනමාධ්‍ය ස්වකීය උපමාන ආරක්ෂා කරමින් ඉදිරි පැය කිහිපය ද කටයුතු කරනු ඇතැ’යි විශ්වාස කළ හැකිය.

ලබන විසිවනදා නව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය. අලුත් ආණ්ඩුවට ද සමස්ත පාර්ලිමේන්තුවට ද නව උපාය මාර්ග සොයමින් රට ගොඩනැඟීමට ශක්තිය ලැබේවා යන්න අපගේ අවංක ප්‍රාර්ථනය වෙයි.

නව අදහස දක්වන්න