බාබර් අසාම් පාකිස්තානු පිල ඉහළට ඔසවා තබයි | දිනමිණ

බාබර් අසාම් පාකිස්තානු පිල ඉහළට ඔසවා තබයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිරියෙන් පසුවන ප්‍රබල පිතිකරුවකු සතු විශිෂ්ට හැකියාව විදහා දැක් වූ පාකිස්තානයේ බාබර් අසාම් එංගලන්තයට එරෙහිව පෙරේදා මැන්චෙස්ටර් නුවර ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී නොදැවී අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරු ශාන් මසූඩ් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 96ක අගනා සම්බන්ධතාවක් ද ගොඩ නැගූ අසාම් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබූ අතර, අඳුරු කාලගුණය හේතුවෙන් තරගය නතර කරන විට නොදැවී ලකුණු 69ක් ලබා සිටියේය. ඒ වනවිට සංචාරක පාකිස්තානු පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 139කි.

අසාම්ට අනගි සහයක් දුන් මසූඩ් නොදැවී ලකුණු 46ක් ලබා සිටී. එහෙත් ඔහු ලකුණු 45ක් ලබා සිටියදී දෙවතාවක්ම කඩුල්ල බේරාගැනීමට සමත් වූයේ කඩුලු රකින ජොස් බට්ලර් උඩ පන්දුවක් සහ ස්ටම්ප් කිරීමක් මඟ හරවා ගැනීම නිසාය. මේ දෙවතාවේදීම ඔහුට පන්දු යවනු ලැබුවේ පිටදඟ පන්දු යවන ඩොම් බෙස් විසිනි.

බාබර් අසාම් එංගලන්තයට එරෙහිව තරග වදින දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර වසර 2018 මැයි මාසයේ සිය අයර්ලන්ත සංචාරය අතරතුර එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පාකිස්තාන පිල කඩුලු 9ක ජයක් වාර්තා කළ ටෙස්ට් තරගයට එක් වූ අසාම් එහි පළමු ඉනිමේදී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් විය. ආබාධයකට ලක්වීමෙන් පසු ඔහු පිටියෙන් ඉවත් වූ අතර, දෙවැනි ඉනිමේදී පිටියට පැමිණීමට අවශ්‍ය නොවූයේ පාකිස්තානය එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත් බැවිනි.

මෑත කාලයේ ටෙස්ට් පිටියේ බිහි වූ පෙරළිකාර පිතිකරුවකු ලෙස නම් දරා සිටින 25 හැවිරිදි මේ පිතිකරුවා ලකුණු 50 සීමාව පසුකළේ පිට පිට හයවැනි වරටය. මීට පෙර ඔස්ට්‍රේලියාවට, ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කරමින් සිය අවසන් ටෙස්ට් තරග 5දී ඔහු ශතක 4ක් සහ අර්ධ ශතක 2ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන පාකිස්තානු පිලේ පළමු කඩුල්ල ලෙස අබීඩ් අලි ලකුණු 16කට දවාලීමට ජොෆ්රා ආචර් සමත්වෙද්දී පාකිස්තානු ලකුණු පුවරුව දිස් වූයේ 36ක් ලෙසිනි. අනතුරුව පිටියට පිවිසි නායක අසාර් අලී ලකුණු ලැබීමටත් පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ක්‍රිස් වෝක්ස් සමත් වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 43දීය.

නව අදහස දක්වන්න