විජයග්‍රහණය සාමකාමී ලෙස සමරමු - අගමැති මහින්ද | දිනමිණ


 

විජයග්‍රහණය සාමකාමී ලෙස සමරමු - අගමැති මහින්ද

පූර්ව මැතිවරණ සමයේ මෙන් රටේ නීතියට ගරු කරමින් කිසිවෙකුට කරදරයක් නොවන ආකාරයට අප ලැබූ විශිෂ්ට විජයග්‍රහණය ගෞරවාන්විතව හා අර්ථවාන්විතව සමරන ලෙස සියලු දෙනාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලීමක් කර සිටියි.
 
අගමැතිවරයා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත. එම සම්පූර්ණ සටහන පහත සදහන් වේ.
 
විජයග්‍රහණය සාමකාමී ලෙස සමරමු!
 
අභියෝගාත්මක කාල සීමාවක රටේ අනාගතය ගොඩනැංවීමේ භාර දූර කාර්යයට නව ජවයක් එකතු කිරීමට දිවා රෑ නොබලා කටයුතු කරමින්, බාධක අභියෝග හමුවේ නොසැලී ජනාධිපතිවරණයේ දී අප ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පරිවර්තනය කිරීමට දායක වූ සමස්ත ශ්‍රී ලාංකේය දේශප්‍රේමී ජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පළ කර සිටිමි.
 
එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට තරඟ කළ මා හට, විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් කුරුණෑගල දිස්ත්‍රික් දේශප්‍රේමී ජනතාවට ද මාගේ හෘදයාංගම ස්තූතිය පළ කර සිටිමි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මා කෙරෙහි තැබූ විශ්වාසය තව දුරටත් තහවුරු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔබ සියලුම දෙනාටම කෘතවේදීව නැවතත් සිහිපත් කර සිටිමි.
 
පූර්ව මැතිවරණ සමයේ මෙන් රටේ නීතියට ගරු කරමින් කිසිවෙකුට කරදරයක් නොවන ආකාරයට අප ලැබූ විශිෂ්ට විජයග්‍රහණය ගෞරවාන්විතව හා අර්ථවාන්විතව සමරන ලෙස ද ඔබ සියලු දෙනාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි.
 
දුෂ්කර කාල වකවානුවක රට නැවත ගොඩනැංවීමේ භාරදූර්ය කාර්යභාරය ජනතාව අප වෙත පවරා තිබේ. ජනතාව අප වෙත පැවරූ එම කාර්යභාරය ඉටුකරලීම අපේ වගකීමය. සියලු පක්ෂ පාට භේද අමතක කර රට සංවර්ධනය කිරීමේ ගමනට අප සමග අත්වැල් බැඳගන්නා ලෙස සමස්ත ජනතාවට ආරාධනා කර සිටිමු.
 
අගමැති මහින්ද රාජපක්ෂ
2020.08.07
 

නව අදහස දක්වන්න