කළු සල්ලි සුදු කරනවිවිධාකාර ක්‍රමෝපාය | දිනමිණ

කළු සල්ලි සුදු කරනවිවිධාකාර ක්‍රමෝපාය

ඕනෑම ආර්ථිකයක මූල්‍ය නොවන ව්‍යාපාර අංශය ඉතා පුළුල් වපසරියකින්, විධිමත් සේම අවිධිමත් ව්‍යාපාර අංශ ගණනාවකින් සැඳුම්ලත්, බොහෝ විට නීති රෙගුලාසි රාමුවකට එක්ව ක්‍රියාකිරීමට අසීරු, එකිනෙකට වෙනස් ව්‍යාපාර රාශියකින් සමන්විතය. බොහෝ රටවල මෙම ව්‍යාපාර අංශ අධීක්ෂණය කරනු ලබන ආයතනික ව්‍යුහයක් නොමැති වීම ද, ව්‍යාපාර බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික අවශ්‍යතාවක් නොමැති වීම ද, මෙම ව්‍යාපාර අංශයෙහි පොදු ලක්ෂණ ය. මෙවැනි හේතු නිසා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා ලෝක නියාමන නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික අපහසුතා රැසකට ලොව පුරා මූල්‍ය නොවන ව්‍යාපාර ආයතන මේ වන විට මුහුණ පා සිටී.

 

පොදු පිළිගැනීමක් ඇති, හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන, ගෙවීම් කටයුතු සඳහා ‍පොදුවේ භාවිත වන මුදල්, ඕනෑම රටක දී නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ ඒ සඳහා බලයලත් අධිකාරියකට පමණි. එසේ නිකුත් කරන මුදල් ඉපයීම මෙන්ම ගනුදෙනු සඳහා භාවිත කිරීම ද පොදුවේ පිළිගනු ලබන නීති රාමුවක සිදු කළ යුතුය. අයථා ආකාරවලින් මුදල් ඉපැයීම මෙන්ම අයථා කටයුතු සඳහා මුදල් වියදම් කිරීම ද නීති විරෝධී ලෙස සලකනු ලබයි. බොහෝ රටවල විධිමත් නෛතික ආර්ථික රාමුවෙන් පිටත අයථා ආර්ථික ගනුදෙනු ද අඩු වැඩි වශයෙන් සිදු වේ. මෙවන් නීති විරෝධී ආර්ථික ගනුදෙනුවලින් ඕනෑම රටක විධිමත්, නෛතික ආර්ථික කටයුතු ‍කෙරෙහි එල්ල වන්නේ අහිතකර බලපෑමකි. එබැවින්, එවැනි අයථා ආර්ථික ගනුදෙනු වැළැක්වීම සඳහා ලොව පුරා විවිධ නීතිරෙගුලාසි ක්‍රියාත්මකව පවතී.

ගෝලීයකරණය සහ දියුණු තාක්ෂණික ක්‍රමවේද හේතුවෙන් අයථා අන්දමින් ඉපැයූ මුදල්වල සහ එවැනි ගනුදෙනුවල අහිතකර බලපෑම සෙසු රටවලට ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතී. එබැවින්, එවැනි ගනුදෙනුවල අහිතකර බලපෑම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ලෝක සම්මත නිර්දේශ මේ වන විට සියලුම රටවල තදින්ම ක්‍රියාත්මක වෙයි. මෙවන් තත්ත්වයක කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් නීති විරෝධී ආකාරයකින් මුදල් උත්පාදනය කරනු ලබයි ද, එලෙස උපයාගත් අයථා ධනය විධිමත් ආර්ථික රාමුව තුළ වැය කිරීම් සඳහා උත්සාහ දරයි ද, එසේ කිරීමේ දී එම පුද්ගලයා හෝ කණ්ඩායම විසින් මුදල් උපයා ගනු ලැබූ අයථා ආකාරය නොහොත් නීති විරෝධී මූලාශ්‍රය සඟවා තබා ගත යුතු වෙයි.

 

මුදල් විශුද්ධිකරණය

 

නීති විරෝධීව මුදල් උපයනු ලබන ක්‍රම අතර, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම, සත්ව සහ මිනිස් වෙළෙඳාම, ජෛව කොටස් ජාවාරම, ගණිකා වෘතිය, සංවිධානාත්මක අපරාධ, හොර බඩු ජාවාරම, රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීම සහ මුදල් අවහරණය ආදිය ප්‍රමුඛස්ථානයෙහි පවතී. නීති විරෝධී ක්‍රියාවන්හි නියැලීමෙන් උපයන මුදල් තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ හැකියාව පවතී නම් අපරාධකරුවන් තව තවත් මෙවැනි කටයුතුවල නියැලෙනු ඇත. එලෙස නෛතික නොවන මාර්ගවලින් උපයාගත් මුදල් විවිධ අරමුණු සඳහා යෙදවීමේ දී ඒවා පිළිගත් නෛතික ආර්ථික රාමුවට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යය. ඒ සඳහා මුදල් උපයා ගනු ලැබූ නෛතික නොවන මූලාශ්‍රය සඟවා තබා ගනිමින් නෛතිකව උත්පාදනය කර ගනු ලැබූ මුදල් සහ ඉතා සූක්ෂමව එකී මුදල් මුසු කළ යුතුය. මෙම ක්‍රියාවලියේදී විධිමත් ආර්ථික රාමුවේ පවතින ඕනෑම ව්‍යාපාරයක්, කර්මාන්තයක් හෝ සේවා සපයන ආයතන අවභාවිත කිරීමේ හැකියාව ඇත.

“නෛතික නොවන ආකාරවලින් ඉපැයූ මුදල් නීත්‍යානුකූල ආර්ථික ගනුදෙනුවලින් ඉපැයූ මුදල් සමඟ මුසු කිරීමේ අරමුණින් ඒවායෙහි අයථා උත්පාදන මූලාශ්‍රය සඟවා තබමින්, නීත්‍යානුකූලභාවයක් ආරෝපණය කිරීමේ ක්‍රියාවලිය මුදල් විශුද්ධිකරණය” ලෙස හඳුන්වනු ලැබේ. ඒ අනුව, කිසියම් රටක පවත්නා නීති රෙගුලාසි ප්‍රකාරව නීති විරෝධී යයි නම් කරන කටයුතුවල නිරත වීමෙන් මුදල් උපයා ගැනීම, එකී මුදල් උත්පාදන මාර්ගය වසන් කොට නීත්‍යානුකූල ආර්ථික කටයුතුවලට යෙදවීම සහ එමඟින් එකී මුදල් හෝ අයථා ලෙස රැස් කරගත් ධනය සඳහා නීත්‍යානුකූලභාවයක් ආරෝපණය කිරීම සහ පසුව එකී මුදල් හෝ රැස් කරන ධනයක් ස්වකීය සුඛ විහරණයට, වෙනත් නීති විරෝධී ක්‍රියා තර කිරීමට හෝ සාපරාධී ක්‍රියාවන්හි නියැලීමට නැතහොත් ත්‍රස්තවාදී කණ්ඩායම් නඩත්තු කිරීම වැනි අකටයුතුවලට හෝ යොදා ගැනීමේ ක්‍රියාවලිය මුදල් විශුද්ධිකරණය ලෙස හඳුනා ගනු ලබයි. මෙම ක්‍රියාවලිය සිද්ධාන්ත වශයෙන් පහත පරිදි ප්‍රධාන අදියර තුනක් යටතේ දක්වනු ලබයි.

අදියර 1දී, නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල ආර්ථික කටයුතුවල නියුතු ආයතන හරහා විධිමත් ආර්ථික රාමුවට ස්ථාපනය කරනු ලබයි. බොහෝ විට මෙම ක්‍රියාව සිදු කරනු ලබන්නේ මූල්‍ය ආයතන, විශේෂයෙන්ම වාණිජ බැංකු හරහාය. එසේම, මූල්‍ය නොවන ආයතන ද මේ සඳහා අවභාවිත කිරීමේ ඉහළ හැකියාවක් පවතී.

අදියර 2 දී එලෙස ස්ථාපනය කරනු ලැබූ මුදල් විවිධ ගිණුම්වලට මාරු කර හැරේ. මෙය ඉතා සංකීර්ණය. මෙමඟින් මුදල් උත්පාදනයේ පැවති අයථා ස්වභාවය තව දුරටත් සඟවා තබාගනිමින් ගනුදෙනුවෙහි අග-මුල අනාවරණය කර ගත නොහැකි ලෙසට නා නා ‍කොටස්වලින් යුතු සම්මිශ්‍රිත ස්වභාවයක් ගනුදෙනුව තුළට පමුනුවනු ලැබේ. මෙහිදී මුදල් දේශීය මෙන්ම විදේශීය බැංකුවල පුද්ගල ගිණුම්වලට මාරු කර යැවීම, මාරු කර යැවීමේ දී මුදල් ප්‍රමාණ කුඩා ඒකකවලට වෙන් කිරීම වැනි ක්‍රියා කරනු ලබයි. බොහෝ දුරට විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රම මේ සඳහා භාවිත කෙරේ.

අදියර 3 යටතේ මෙම මුදල් නෛතික ආර්ථික කටයුතු සමඟ සම්මිශ්‍රණය කිරීම කරනු ලබති. එහිදී, එම මුදල් භාවිත කර විවිධ සුඛෝපභෝගී භාණ්ඩ, නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීම සහ විවිධ ආයෝජන කිරීම, නිදසුනක් ලෙස රාත්‍රී සමාජ ශාලා, ආහාර වෙළෙඳ සල්, හෝටල් වැනි ව්‍යාපාර ආදියෙහි ආයෝජනය කරනු ලබයි. මේ ආයෝජන ආර්ථික ලාභ අපේක්ෂාවෙන් නොව හුදෙක් ඒවායෙහි අයථා උත්පාදන මූලාශ්‍රය සඟවා තබා ගැනීමටත් මුදල් අවශ්‍ය වූ විට එය රැගෙන ව්‍යාපාරයෙන් ඉවත්ව යාමේ කූට අරමුණිනුත් සිදු කරනු ලබයි. එබැවින්, මෙවැනි ආයෝජනයන්ගෙන් සමාජයට හානියක් මිස අර්ථලාභයක් සිදු නොවේ.

 

මුදල් විශුද්ධිකරණයෙන්  ආර්ථික කටයුතුවලට සිදු වන බලපෑම

 

මුදල් විශුද්ධිකරණය රටක ආර්ථික කටයුතු කෙරෙහි අහිතකර ලෙස බලපායි. මෙහි ඇති අවධානම වන්නේ මුදල් විශුද්ධිකරණයෙහි නියැළෙන්නන් විධිමත් ආර්ථික කටයුතුවල ආයෝජන කරන්නේ හෝ අයථා අයුරින් උත්පාදිත මුදලින් නිවාස ඉඩකඩම් ආදිය මිලදී ගනු ලබන්නේ හෝ ආර්ථික ප්‍රතිලාභ හිමිකර ගැනීමට හෝ පදිංචිය සඳහා ‍නොවීමයි. ඔවුන් කෙටි කලකින්ම, ආයෝජනවලින් ඉවත්ව හෝ නිවාස ඉඩකඩම් විකුණා දමා අයථා අයුරින් උත්පාදිත මුදල් නැවත හිමිකර ගැනීමට කටයුතු කරනු ඇත. එම මුදල් සිය වංචාකාරී ක්‍රියා තව දුරටත් තර කර ගැනීමට හෝ ත්‍රස්තවාදය පෝෂණය කිරීමට වැනි අහිතකර ක්‍රියා සඳහා යොදා ගැනීමේ හැකියාව ද ඉතා ඉහළය.

මෙහි අනිටු ආර්ථික ප්‍රතිඵලයක් ලෙස අනවශ්‍ය පරිදි, නිසි ආර්ථිකමය හේතුවක් නොමැතිව, මුදල් විශුද්ධිකරණයෙහි නියැළෙන්නන් ඉල්ලුම් කරනු ලබන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමෙන් එම භාණ්ඩ හා සේවාවල වෙළෙඳ‍ පළ අගය ඉතා ඉහළ මට්ටමකට පැමිණීම දැක්විය හැකිය. මෙවැනි සිද්ධි මඟින් ආර්ථිකයේ සුමට ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවනු ඇත. මෙවැනි ක්‍රියා හේතුවෙන් වෙළෙඳ පළ ගැනුම්-විකිණුම් ක්‍රියාවලිය මත තීරණය වන මිල ගණන් වෙනුවට කෘත්‍රීම මිල යාන්ත්‍රණයන් ඇතිවීම වළකාලීය නොහැකිය. වංචාකාරි සහ සාපරාධී ක්‍රියා තවත් තරවීම මඟින් නෛතික ආර්ථික රාමුව බිඳ වැටී විවිධ සමාජීය, ආර්ථික සහ දේශපාලන ගැටලු රාශියක් කරා ආර්ථිකයන් යොමු කරලීමේ අවධානම ද ඉහළ මට්ටමක පවතී.

 

මුදල් විශුද්ධිකරණයට විරුද්ධ ගෝලීය එකඟතා

 

අතීතයේ පටන් මුදල් විශුද්ධිකරණය සඳහා භාවිත කළ ප්‍රධාන මාර්ගයක් ලෙස මූල්‍ය ව්‍යාපාර ප්‍රචලිතව පවතී. බැංකු සහ බැංකු නොවන අනෙකුත් මූල්‍ය ආයතන හරහා අයථා අයුරින් උපයන ලද ධනයට නීතිමය ස්වභාවයක් ආරෝපණය කරදීම සුලභව කෙරුණු බව ප්‍රචලිතය. එය අනාවරණය වීමෙන් පසු වසර 2012දී ඇමරිකා එක්සත් ජනපද නීති බලධාරීන් මෙම වාණිජ බැංකුවට ඩොලර් බිලියන 1.9ක මුදල්මය දඩයක් නියම කළ අතර, අයථා අයුරින් උත්පාදිත මුදල් විශුද්ධිකරණය කිරීම වැළැක්වීමට අවශ්‍ය ලොව පිළිගත් නීති රෙගුලාසී අනුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියාමර්ග වහාම ක්‍රියාත්මක කරන ලෙසට ද උසාවි නියෝග පනවන ලදී. (මූලාශ්‍රය: Seven Pillars Institute for Global Finance and Ethics).

බැංකු නොවන අනෙකුත් මුල්‍ය ආයතන මෙන්ම රක්ෂණ සමාගම් සතු මුල්‍ය උපකරණ ද මෙලෙස මුදල් විශුද්ධිකරණය සඳහා අවභාවිත වූ අවස්ථා වාර්තා වී ඇත.

 

මූල්‍ය කාර්ය සාධක බලකාය

 

ගෝලීයකරණයත්, තාක්ෂණයේ පිබිදීමත් සමඟ අයථා අයුරින් උත්පාදිත මුදල් මූල්‍ය ආයතන හරහා විශුද්ධිකරණය වනවා පමණක් නොව, ලොව විවිධ රටවලට එමඟින් සිදුවන හානිය ද ඉහළ යෑමට පටන් ගන්නා ලදී. මුදල් විශුද්ධිකරණය මූල්‍ය ආයතන හරහා බහුලව සිදුවන බවට වූ සාක්ෂි සහ තහවුරු වීම් මතත්, එමඟින් සිදුවන ආර්ථිකමය සහ සමාජමය හානිය පිළිබඳත්, සලකා බැලූ ලෝක ප්‍රජාව එයට විරුද්ධව ගෝලීය එකඟතාවයෙන් යුතුව ක්‍රියා කිරීමට, වසර 1989 දී ජී-7 කණ්ඩායමේ රටවල මූලිකත්වයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි. පසුකාලීනව මෙම වැඩ පිළිවෙළ ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ප්‍රමිති නිර්ණය කරනු ලබන අන්තර් රාජ්‍යයන්ගෙන් සැඳුම්ලත් සංවිධානයක් ලෙසට මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force –FATF) පිහිටුවා ගන්නා ලදී. මෙහි නිර්ණායක ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ ජාවාරම්කරුවන්ට අයථා කටයුතුවලින් උපයනු ලබන මුදල් මූල්‍ය ආයතන හරහා විශුද්ධිකරණය කර ගැනීමේ අවස්ථාවලට සීමා පැනවිණි. මේ හේතුවෙන් මුදල් විශුද්ධිකරණයට නව මං සොයන්නට සිදු විය. ඒ අනුව, ඔවුන්ගේ සූක්ෂම ඇස් නිතැතින් යොමු වන්නේ මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීය සේවා සපයන ආයතන දෙසටය.

 

මූල්‍ය නොවන ව්‍යාපාර හා  වෘත්තීමය සේවා සපයන ආයතන  හරහා සිදුවන මුදල් විශුද්ධිකරණය

 

ඕනෑම ආර්ථිකයක මූල්‍ය නොවන ව්‍යාපාර අංශය ඉතා පුළුල් වපසරියකින්, විධිමත් සේම අවිධිමත් ව්‍යාපාර අංශ ගණනාවකින් සැඳුම්ලත්, බොහෝ විට නීති රෙගුලාසි රාමුවකට එක්ව ක්‍රියාකිරීමට අසීරු, එකිනෙකට වෙනස් ව්‍යාපාර රාශියකින් සමන්විතය. බොහෝ රටවල මෙම ව්‍යාපාර අංශ අධීක්ෂණය කරනු ලබන ආයතනික ව්‍යුහයක් නොමැති වීම ද, ව්‍යාපාර බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික අවශ්‍යතාවක් නොමැති වීම ද, මෙම ව්‍යාපාර අංශයෙහි පොදු ලක්ෂණ ය. මෙවැනි හේතු නිසා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා ලෝක නියාමන නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික අපහසුතා රැසකට ලොව පුරා මූල්‍ය නොවන ව්‍යාපාර ආයතන මේ වන විට මුහුණ පා සිටී.

 

නිශ්චල දේපළ ව්‍යාපාර ගනුදෙනු හරහා  කරන මුදල් විශුද්ධිකරණය

 

මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන්නකුට රුපියල් මිලියන සියයක මුදලක්, උපයා ගනු ලැබූ ආකාරය නැතහොත් මූලාශ්‍රය සඟවා නිශ්චල දේපළක් මිලදී ගැනීම සඳහා භාවිත කිරීමේ හැකියාව පවතී. නිශ්චල දේපළ මිලට ගැනීමේදී තම නමට පවරා ගැනීමක් සිදු නොකිරීමට වග බලා ගනී. බෙල්ජියම් නීති අධිකාරීන් කරන ලද විමර්ශනයකින් පෙනී ගොස් ඇත්තේ එම රටෙහි වංචනික පුද්ගලයකු දේපළ මිලදී ගැනීම සඳහා නොතාරිස්වරයකුගේ සේවාදායක ගිණුම් භාවිත කර ඇති බවයි. මේ සඳහා ඔහු වෙළෙඳ සමාගමක් ස්ථාපිත කර ඇති අතර එම වෙළෙඳ සමාගමෙහි එකම කොටස්කරු ද මෙම පුද්ගලයා ය. එම සමා‍ගමෙහි ගිණුම් හරහා ඔහු නොතාරිස්වරයාගේ වෘත්තීමයභාවයට වසන් වී නොතාරිස්වරයා ඉදිරි පෙළ පුද්ගලයකු ලෙස භාවිත කරමින් නිශ්චල දේපළ සඳහා ගෙවීම් කර ඇත. පරීක්ෂණවලින් හෙළි වූ පරිදි ඔහු බෙලිජියම්හි සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. (මූලාශ්‍රය: මූල්‍ය කාර්යය සාධන බලකායෙහි නිශ්චල දේපළ අංශය භාවිත කරමින් කරනු ලබන මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ සැකසුණ වාර්ථාව).

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමින් ඉපයූ අයථා මුදල් විශුද්ධිකරණය සඳහා ඔහු නිශ්චල දේපළ මිලදී ගත් අතර, එහිදී ස්වකීය අනන්‍යතාව වසන්කොට තබා ගැනීම සඳහා ව්‍යාපාර සමාගමකට මුවා වී නොතාරිස්වරයකුගේ වෘත්තිමය සේවය ද අනිසි ලෙස භාවිත කරමින් මුදල් උපයාගත් මූලාශ්‍රය වසන් කිරීමට කටයුතු කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එමඟින් උපයන මුදල් යොදවමින් සිය පවුලේ අයගේ, ඥාතීන්ගේ සහ හිත මිතුරන්ගේ නමින් ද දේපල ඉඩකඩම් මිලදී ගෙන පසුව ඒවා වැඩි මිලට විකුණා අයථා අයුරින් උත්පාදිත මුදල්වල හිමිකාරිත්වය ලබා ගන්නා අවස්ථා ඇත. මෙහි දී ඒ ඒ දේපල, ඉඩ කඩම්වල මිල ගණන් ඒවායෙහි නියමිත වෙළෙඳ පොළ වටිනාකමට වඩා අඩුවෙන් ලියැකියවිලිවල සටහන් කරවා ගැනීමට ද මොවුහු වග බලා ගනිති.

මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීය සේවා සපයන  ආයතන මාර්ගයෙන් සිදුවන  මුදල් විශුද්ධිකරණය වැළැක්වීම

 

මූල්‍ය නොවන ව්‍යාපාර අංශය හා වෘත්තීය සේවා සපයන ආයතන භාවිත කරමින් අයථා අයුරින් උත්පාදිත මුදල් සඳහා නීත්‍යානුකූලභාවයක් ආරෝපණය කිරීම තහනම් කෙරෙන නිර්දේශ මේ වන විට මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) විසින් ලොවට හඳුන්වා දී ඇත. මූල්‍ය කාර්ය සාධක බලකායෙහි මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූල ඝාතක අවි ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධව ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ලොව පුරා සියලුම සාමාජික රටවල් සහ අනෙකුත් රටවල් එනම් මූල්‍ය කාර්ය සාධක බලකායෙහි කලාපීය සංවිධානයන්හි සාමාජික රටවල් ද බැඳී සිටිති. එම නිර්දේශවලට අවනත වීම නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම මෙන්ම එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රාමුව මෙන්ම ආයතනික පද්ධතිය සකසා දීම මඟින් පහසුකම් සපයා දීමට ද ඒ ඒ රාජ්‍ය බැඳී සිටියි.

මූල්‍ය කාර්ය සාධක බලකාය මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සහ සමූල ඝාතක අවි ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ වන විට ඒ ඒ රටවල මූල්‍ය සහ මූල්‍ය නොවන අංශ විසින් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දී ඇති නිර්දේශ 40ක් සෑම රටක්ම එකඟතාවයෙන් පිළිපැදිය යුතු වේ. එකී නිර්දේශ අතරින් ප්‍රධාන නිර්දේශ 3ක් (නිර්දේශ අංක 22, 23, සහ 28) සෘජුවම මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීය සේවා සපයන ආයතන අංශය සඳහා බල පැවැත්වෙයි. මෙකී ප්‍රධාන නිර්දේශ යටතේ අනෙකුත් මූල්‍ය ව්‍යාපාර සඳහා බල පැවැත්වෙන නිර්දේශ ද අඩු-වැඩි වශයෙන් මෙම මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීය අංශය කෙරෙහි බල පැවැත්වනු ඇත. මෙම නිර්දේශ ඒ ඒ රටවල් ක්‍රියාත්මක කරනවාද යන්න මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් වරින් වර ඇගයීමට ද ලක් කෙරේ. එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඒ ඒ රාජ්‍යය ගෙන ඇති පියවර තෘප්තිමත් විය හැකි මට්ටමක නොවන අවස්ථාවන්හි දී එවැනි රටවල් සඳහා ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද එම ආයතනය ක්‍රියාත්මක වනු ඇත.

 

මූල්‍ය බුද්ධි ඒකකය

 

සෑම රටකම මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීය සේවාවන් සපයන ආයතන (Designated non-Financial Businesses and Professional Service Providers) සිය ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීමේදී ගනුදෙනුකරුවා හොඳින් හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගැනීම නෛතික අවශ්‍යතාවයකි. ඒ ඒ ගනුදෙනුවෙහි සියලු තොරතුරු, වාර්තා සහ සටහන් නිශ්චිත කාලයක් සඳහා නොනැසී පවත්වාගෙන යෑම ද නීතිමය අවශ්‍යතාවයකි. තවද යම් ගනුදෙනුවකදී මුදල් විශුද්ධිකරණය පිළිබඳ යම් සැකයක් වේ නම් නොපමාව සැකකටයුතු ගනුදෙනුවක් ලෙසට බලය පවරන ලද ආයතනයට වාර්තා කළ යුතුය. මුල්‍ය නොවන ආයතන සහ වෘත්තිමය සේවා සපයනු ලබන ආයතන, ලබා දී ඇති නිතිප්‍රකාරව කටයුතු කරනවා ද යන්න අධීක්ෂණය කිරීම ද ඒ සඳහා පත් කරන ලද බලය ලත් ආයතනයක් සිදු කිරීමට සෑම රටක් ම ක්‍රියා කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ ක්‍රියාත්මක වන බලය ලත් ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවෙහි පිහිටුවා ඇති මූල්‍ය බුද්ධි ඒකකයයි. වර්ෂ 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ප්‍රකාරව ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා අවශ්‍ය මූල්‍ය දත්ත රැස් කිරීම, විග්‍රහ කිරීම සහ අප රටෙහි නීතිය ක්‍රයාත්මක කරන ආයතන සමඟ එම දත්ත පිළිබඳ කටයුතු කිරීම මෙන්ම මුල්‍ය සහ මුල්‍ය නොවන ව්‍යාපාර මුදල් විශුධිකරණය වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි ගනු ලබනවා ද යන්න අධීක්ෂණය කිරීමේ බලය ද මූල්‍ය බුද්ධි ඒකකය සතු වේ. ඒ අනුව ඉහතින් දැක්වූ යම් මූල්‍ය නොවන ව්‍යාපාරයක් හෝ වෘත්තීමය සේවා සපයනු ලබන ආයතනයක් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට පටහැනිව ක්‍රියා කරයි නම් හෝ එකී නෛතික අවශ්‍යතාවන් නිසි අයුරින් ක්‍රියාත්මක නොකරයි නම් එවන් ආයතනවලට නීතිමය දඬුවම් නියම කිරීමට මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මූල්‍ය බුද්ධි ඒකකය ක්‍රියාත්මක වනු ඇත.

නව අදහස දක්වන්න