නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි | දිනමිණ

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා නවවැනි පාර්ලිමේන්තුවෙහි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 
 
මෙම එම අවස්ථාවට  මහා සංඝරත්නය ඇතුලූ පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යවරුන් සහ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියහ.
 
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරුණේ කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
 
ඉන් අනතුරුව ජනාධිපතිතුමා ඉදිරියේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබුවේය.
 
මෙවර මහ මැතිවරණය අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් ජය ගත්තේ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින්ය.
 
මීට පෙර 2004, 2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද දිවුරුම් දෙන ලද්දේ සිව්වන වරටයි.

නව අදහස දක්වන්න