රාජපක්ෂ පාලනය ජනතා සම්මතයි | දිනමිණ


 

රාජපක්ෂ පාලනය ජනතා සම්මතයි

ජනපති 

ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කළ හා ජනතාවගෙන් ඉල්ලා සිටි පාර්ලිමේන්තුව දැන් එතුමාට ලැබී තිබේ. ජනපති කෙරෙහි ජනතාව තුළ පවත්නා විශ්වාසයේ තරම

කියාපාන්නාවූ මේ මැතිවරණ ප්‍රතිඵලය පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලයේම තවත්  දිගුවක් ලෙස අර්ථකථනය  කළ හැකිය.ජාතික ආරක්ෂාව තහවුරු කර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මූලිකත්වය ලබා දෙමින් දේශීයත්වය පදනම් කරගනිමින් සකස්කර තිබෙන සෞභා ග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති  ප්‍රකාශනය පණ ගසා නැගිටුවීමට හැකි  පසුබිමක් දැන්  උදාවී තිබේ.

 

 

 

මහාචාර්ය

මාලක රණතිලක  ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තුමේන්තුව  පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

 

 

මෙරට නවවන පාර්ලිමේන්තුව නියෝජනය සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට මහජනතාවට අවස්ථාව ලබා දෙමින් පැවැත්වූ මහ මැතිවරණයේ ප්‍රතිඵල දැන් නිකුත්ව තිබේ. මාස පහකට වැඩි මැතිවරණ කාල පරිච්ඡේදයක් පසුකරමින් ඉතා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකි වීම රටක් ලෙස අප ලත් ජයග්‍රහණයකි.එක් පැත්තකින් දේශපාලන පක්ෂවලටත් අනික් පසින් මැතිවරණ කොමිසමටත් මෙහි ගෞරවය හිමිවිය යුතුය.

 

ඡන්දයට උනන්දුව

කොරෝනා අර්බුදයත් සමඟ මැතිවරණ නීතියට අමතරව හඳුන්වා දුන් සෞඛ්‍ය නිර්දේශ වලටද අනුකූලව මෙවර මැතිවරණය පැවැත්වීම සුවිශේෂීය.කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම පිණිස මහ පරිමාණයේ ප්‍රචාරක රැළි පැවැත්වීම සෞඛ්‍ය නිර්දේශ අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් අත්හිටුවනු ලැබීම නිසා යම් ප්‍රමාණයකට මැතිවරණ උණුසුම ජනතාවට නොදැනෙන තත්ත්වයක් ඉස්මතු විය.මෙම පසුබිම තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි අනුමාන කළ ද එය ඒ ආකාරයෙන්ම සිදු නොවී 70% ක පමණ පිරිසක් ඡන්ද පොළට පැමිණ සිටීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි.

පසුගිය ජනපතිවරණයේදී භාවිත කරනු ලැබුවේ 2018 ඡන්ද හිමි නාම ලේඛණයයි.මෙවර මහ මැතිවරණයේදී 2019 ඡන්ද හිමි නාම ලේඛණය භාවිත කරනු ලැබූ අතර එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලද සංඛ්‍යාව 16263885 කි.එය පසුගිය ජනපතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ සංඛ්‍යාවට වඩා 271786 ක වැඩි වීමකි.ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චිකර තිබෙන බවක් පෙනුණද එය කොරෝනා බලපෑම නිසා නොව පක්ෂවල පවත්නා අර්බුද හේතුවෙන් සිදුවූවක් බව පැහැදිලිය .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ඡන්ද ප්‍රමාණය ඉහළ යත්දී සමඟි ජන බලවේගයේ හා එජාපයේ ඡන්ද ප්‍රමාණය බරපතළ ලෙස පහත වැටීමෙන් මෙය පැහැදිලිය .පසුගිය ජනපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය හා සමානව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලබා ගනිද්දී ප්‍රධාන විපක්ෂය ලෙස මෙතෙක් ජනතාව හඳුනාගෙන සිටි කණ්ඩායම නියෝජනය කළ පක්ෂ දෙකේම ඡන්ද ප්‍රමාණය පසුගිය මහ මැතිවරණය හා සැසඳීමේදී විශාල ලෙස පහළ බැස ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලක්ෂ 6853690 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිද්දී සමඟි ජන බලවේගයට හිමිව තිබෙන්නේ ලක්ෂ 2771980 කි. මෙතරම් පරතරයකින් මෑත කාලීන ඉතිහාසයේ ප්‍රධාන විපක්ෂයක් පරාජයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙයි.

පුද්ගල ප්‍රතිරූප පසෙක තබා වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීමට ජනතාව පෙළ ගැසුණු තත්ත්වයක් ප්‍රතිඵලය තුළ දක්නට ලැබෙයි.මෙවර මහ මැතිවරණය සැලකීමේදී පරාජය වූ දේශපාලන චරිත සම්බන්ධව අවධානය යොමු කිරීමෙන් මෙය පහසුවෙන් තේරුම් ගැනීමට පුළුවන.එජාප නායක රනිල් වික්‍රමසිංහ හා රවී කරුණානායක,අකිල විරාජ් කාරියවසම්,ලක්ෂ්මන් යාපා අබේවර්ධන,නවීන් දිසානායක,සුනිල් හඳුන්නෙත්ති,අර්ජුන රණතුංග,රුවන් විජයවර්ධන,වසන්ත අළුවිහාරේ,රංජිත් අළුවිහාරේ,වජිර අබේවර්ධන,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,අජිත් පී.පෙරේරා වැනි අයගේ පරාජයන් ඊට උදාහරණ සපයයි.

යහ පාලන ආණ්ඩු සමයේ ජනපති හා අගමැති අතර ඇතිවූ මත ගැටුම් හේතුවෙන් රටේ ඇතිවූ අර්බුදය පාස්කු ප්‍රහාරය එල්ලවීම දක්වා ඉදිරියට ඇදී ගියේය.පක්ෂ දෙකක නායකයන් දෙදෙනකු ජනපති හා අගමැති පුටුවලට පත්වීමෙන් ඇතිවන අර්බුදය පිළිබඳ අත්දැකීම් ඇති ජනතාව එය සැලකිල්ලට ගෙන ජනපති දෑත් ශක්තිමත් කිරීම පිණිස ඔහු නියෝජනය කරන කණ්ඩායමට සුවිශාල ජයග්‍රහණයක් ලබා දීමට පියවර ගෙන තිබීම මැතිවරණ ප්‍රතිඵලය තුළින් ගම්‍යවෙයි.

 

තුනෙන් දෙකේ බලය

කොවිඩ් අර්බුදය හමුවේ ජනපති හා අගමැති සුසංයෝගය කොතරම් හොඳින් එය කළමනාකරණය කර ගනු ලැබුවේද යන්න සම්බන්ධව ජනතාව තුළ පැහැදිලි විනිශ්චයක් තිබිණි.මහමැතිවරණ ප්‍රතිඵලය මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් සමඟින් ඔසවා තැබීමට එයද එක් හේතුවක් විය.අනුරාධපුර,පොළොන්නරුව,කුරුණෑගල,රත්නපුර,නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලින් ඉතිහාසගත ජයග්‍රහණ ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවස්ථාව ලැබුණේ මෙම පසුබිම තුළය.

යහ පාලන ආණ්ඩුව සමයේ ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට අර්බුද රැසක් වෙත තල්ලු කළ බව පසුගිය කාලය පුරා සමාජ කතාබහට ලක්වූ කාරණයකි.මේ තුළින් යම් ආකාරයකට ජනපති බලතල කප්පාදු වීමත් අගමැති බලතල වැඩි වීමත් නිසා ජාතික වශයෙන් වැදගත් වන්නාවූ කාරණා සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී දෙදෙනා අතර එකඟතාවක් නොමැති වීම බරපතළ ගැටලු නිර්මාණය කරන්නක් විය.

අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නම්කර යවන පුද්ගලයන් ජනපති අනුමත නොකිරීම,ජනපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට නොහැකි වීම වැනි ගැටලු අපි පසුගිය කාලයේ ප්‍රායෝගිකවඅත්වින්දෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අපේක්ෂාවෙන් තුනෙන් දෙකක බලයක් ශ්‍රී ලංකා පොදුන පෙරමුණ ඉල්ලා සිටි අතර ජනතාව එය අනුමත කරමින් ඡන්දය ප්‍රකාශකර තිබේ.මෙම කරුණු සිහියේ තබා ගනිමින් මැතිවරණ ප්‍රතිඵලය විශේලේෂණය කිරීම වැදගත්ය.ජනතාව මෙවන් වූ විශාල ජයග්‍රහණයක් ලබාදීම මගින් ආණ්ඩුවට කියන්නාවූ පණිවුඩය නිවැරදිව තේරුම් ගෙන ඉදිරි ගමන් මග සකසා ගැනීම තුළින් වඩා වේගවත්ව තව තවත් ජනතා හදවත්වලට ලංවිය හැකිය.

යහ පාලන ආණ්ඩුව බලයට පැමිණ ඉතා කෙටි කලකින් ජනතා අප්‍රසාදයට ලක්වූයේ බලය ලබා ගැනීම සඳහා කළ ප්‍රකාශ බලයට පත්වීමෙන් පසු අමතක කර කටයුතු කිරීම නිසාය.වංචා දූෂණ පිළිබඳ මහ ලොකුවට කතා කළ එම ආණ්ඩුවේ පිරිස් බලයට පැමිණ මහ පරිමාණ වංචා දූෂණ සිදු කරන්නට යෑමේ විපාක මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

 

ජනතා විශ්වාසය

ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගනිමින් බිහිවූ ජාතික ජන බලවේගය පැහැදිලි ලෙසම ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.පසුගිය පාර්ලිමේන්තුවේ ජවිපෙට හිමිව තිබූ මන්ත්‍රී ආසන හය මෙවර තුනක් දක්වා පහත බැස තිබේ.වැඩපිළිවෙළක් නොමැතිව ප්‍රධාන පක්ෂවලින් ගිලිහෙන ඡන්ද දිනා ගැනීමේ සටනක ජවිපෙ තව දුරටත් රැඳී සිටියහොත් ඔවුන්ගේ ඡන්ද පදනම තවත් පහළ යනු නොඅනුමානය.ජනපතිවරණයට වඩා යම් ප්‍රමාණයක් ඡන්ද ප්‍රමාණයක් ඔවුන් මෙවර ලබා තිබෙන බවට කෙනෙකු තර්ක කළ හැකි වුවත් දිනා ඇති මන්ත්‍රී සංඛ්‍යාව සමඟ එය ගැලපීමේදී එම තර්කය පුස්සක් වෙයි.

රාජපක්ෂවරුන් කෙරෙහි ජනතාවගේ පවතින විශ්වාසය තවත් තහවුරු කළ මැතිවරණයක් ලෙසද මෙය පෙන්වා දීමට පුළුවන.දිවයිනේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට මහින්ද රාජපක්ෂ මහතා පත්වෙත්දී චමල්,නාමල්,ශෂේන්ද්‍ර ද ජනතාව විසින් ඉහළටම ඔසවා තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කළ හා ජනතාවගෙන් ඉල්ලා සිටි පාර්ලිමේන්තුව දැන් එතුමාට ලැබී තිබේ. ජනපති කෙරෙහි ජනතාව තුළ පවත්නා විශ්වාසයේ තරම කියාපාන්නාවූ මේ මැතිවරණ ප්‍රතිඵලය පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලයේම තවත් දිගුවක් ලෙස අර්ථකථනය කළ හැකිය.ජාතික ආරක්ෂාව තහවුරු කර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මූලිකත්වය ලබා දෙමින් දේශීයත්වය පදනම් කරගනිමින් සකස්කර තිබෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පණ ගසා නැගිටුවීමට හැකි පසුබිමක් දැන් උදාවී තිබේ.

රටට හා ජනතාවට සෙතක් වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ගියවිට ආසන දෙක තුනක් දිනා පාර්ලිමේන්තුවට පැමිණෙන පක්ෂවල නායකයින් තුනෙන් දෙක සපුරාලීමට ඉදිරිපත් කරනු ලබන කොන්දේසි හා ඒ වෙනුවෙන් ඔවුන් ලබා ගන්නා වරප්‍රසාද අපි හොඳින් දැක ඇත්තෙමු.ජනපති හා අගමැති මැතිවරණයට පෙර සිටම ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම බාධාව ඉවත් කර දෙන ලෙසය.මෙම ප්‍රතිඵලය වඩාත් වැදගත් වන්නේ එම පසුබිම තුළය.දැන් ආණ්ඩුවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ඇතිව හෝ නොමැතිව 19 ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ඕනෑම පනතක් වෙනස් කිරීමේ හැකියාව ඇත.ජනතාව මේ ලබාදී තිබෙන බලය වඩා අර්ථවත් ලෙස භාවිත කිරීම කිරීමේ ආණ්ඩුවේ වගකීමකි.

කොවිඩ් අර්බුදයත් සමඟ අද සමස්ත ලෝක ආර්ථිකය බිඳ වැටීමකට ලක්ව තිබේ.මෙහි බලපෑම නියත ලෙසම අපට අත්විඳින්නට සිදුවනු නොඅනුමානය.යහ පාලන ආණ්ඩු සමයේ 2% ක් දක්වා පහළට ඇද වැටී තිබුණු ආර්ථිකයක් සමඟ බාරගත් රට ලෝක ආර්ථිකයේ කඩා වැටීමත් සමඟ ගලපා ගනමින් පවත්වාගෙන යෑම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයයි.අදවන විට රටේ විරැකියාව යම් ප්‍රමාණයකට ඉහළ යමින් තිබේ.විදේශ රටවල සිට මෙරටට මුදල් එවූ පිරිස්ද අසරණ තත්ත්වයට පත්ව යළි මෙරට බලා පැමිණීමට බලා සිටිති.මේ සියලු කාරුණු සුළුවෙන් තැකිය හැකි ඒවා නොවේය.නිශ්චිත වැඩපිළිවෙළක් ඔස්සේ ඒවාට විසඳුම් සෙවිය යුතුය.නැතහොත් තව තවත් අප රටක් ලෙස ආර්ථික අර්බුදයේ ගිලී යනු ඇත.

 

විපක්ෂයේ වගකීම

රටක් ඉදිරියට ගෙන යෑමට නම් ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුය.විදේශ ආයෝජකයින් පවා රටට පැමිණීමට පෙර විමසිලිමත් වන්නේ ඒ සම්බන්ධවයි.තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් රටේ ස්ථාපිත වීම ඒ පැත්තෙන්ද වැදගත්ය.අනෙක් පසින් විපක්ෂය තම කාර්යභාරය මැනවින් අවබෝධ කරගෙන කටයුතු කිරීම රටට මෙන්ම ඔවුන්ගේ අනාගත දේශපාලන ගමන් මඟ ගොඩනගා ගැනීමට හේතු වනු ඇත.

තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් විපක්ෂය පැත්තකට දමා කටයුතු නොකර ඔවුන්ගේ සහයද ලබා ගැනීම ආණ්ඩුවේ වගකීමකි.විපක්ෂය දුර්වලද නැද්ද යන්න තීරණය වන්නේ ඔවුන් සතු මන්ත්‍රී සංඛ්‍යාව අනුව නොවේ.එහිදී වැදගත් වන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයයි.මැතිවරණයට පෙර පැවැති තත්ත්වයටම ගොස් ප්‍රධාන විපක්ෂය රටේ ප්‍රශ්න අමතක කර ඔවුන්ගේ පක්ෂවල ප්‍රශ්න කතා කරන්නට ගියහොත් ඔවුන්ට සිදුවන්නේ තව තවත් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීමටය.

මෙරට දේශපාලන සාක්ෂරතාව පිළිබඳ අපට ගැටලුවක් තිබිණි.මෙවර මැතිවරණයේදී ජනතාව වඩා බුද්ධිමත් ලෙස සිය ඡන්දය පාවිච්චි කර තිබෙන බවක් පැහැදිලිව පෙනෙන්නට ඇත .

උගතුන් වියතුන් රටේ නීති හදන තැන නියෝජනය කළ යුතු බවට ඉස්මතු වූ මතවාදයට ජනතාව සාධාරණයක් ඉටුකර තිබේ.නිසි ආර්ථික දැක්මක් නොමැති බව මනාවට පෙන්නුම් කරමින් කිසිදා ඉටුකළ නොහැකි පොරොන්දු ලබා දෙමින් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙනගිය ප්‍රචාරක වැඩපිළිවෙළ ජනතාව පැහැදිලි ලෙසම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ අවබෝධයක් ඇතිවය.මේ රටේ ජනතාව තවත් පොරොන්දු දේශපාලනය ඔසවා නොතබන බවත් ඒ වෙනුවට ඔවුන් ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙළක් සහිත දේශාපාලනය දෝතින් වැලඳ ගනිමින් සිටින බවට හොඳම උදාහරණය මෙවර මහ මැතිවරණයයි.එය සෞභාග්‍යයේ පෙර දැක්මකි.

සටහන

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න