පරිවර්තකයා මුල් කෘතියට සාධාරණයක් කළ යුතුයි | දිනමිණ

පරිවර්තකයා මුල් කෘතියට සාධාරණයක් කළ යුතුයි

තිලානි ශානිකා විතානාච්චි
රශ්මික මණ්ඩාවල

නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ බටහිර පෝලන්තයේ උපත ලද ඔල්ගා ටොකර්චුක් රචනා කරන ලද ‘ප්‍රෝරෝවැඩ් සූයීජ් ප්ලූග් ප්‍රෙරස් කොශි උමාරුවේ නවකතාව ‘මරණයේ රළ නැගුම’ නමින් රශ්මික මණ්ඩාවල පරිවර්තනය කර ඇත. මේ, එ් කෘතිය පිළිබඳ පරිවර්තක සමඟ කළ කතාබහකි.

 ඔල්ගා ටොකර්චුක් ලේඛිකාව පිළිබඳ කතා කළොත්?

බටහිර පෝලන්තයේ උපත ලද ඔල්ගා ටොකර්චුක්, නවකතා නවයක්, කෙටිකතා සංග්‍රහ තුනක්, කාව්‍ය ග්‍රන්ථයක් රචනා කර තිබෙනවා. ඇගේ කෘති ජර්මන්, ප්‍රංස ඇතුළු භාෂා කිහිපයකටම පරිවර්තනය වුණා. ඒත්, ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා තිබෙන්නේ ඉන් හතරයි. ඇය ලියූ ‘Fligts’ නවකතාව ජෙනිෆර් ක්‍රොෆ් පරිවර්තනය කිරීමෙන් පසුව, 2018 වසරේදී ‘The Man Booker’ සම්මානයෙන් ද පිදුම් ලැබුවා. විවිධ සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇති මේ ලේඛිකාව, 2018 වසරේදී නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශේෂයි. ඇගේ ලේඛන රටාව, ලොව පුරා විචාරකයන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. ඇය අපේ රටේ පාඨකයන්ට හඳුන්වා දීමට මට අවැසි වුණා. ඒ නිසා මම, ඇගේ ‘ප්‍රෝරෝවැඩ් සූයීජ් ප්ලූග් ප්‍රෙරස් කොශි උමාරුවේ නවකතාව ‘මරණයේ රළ නැගුම’ නමින් සිංහල බසට පරිවර්තනය කළා.

ඔල්ගා ටොකර්චුක්ව ඔබට මුණගැසුණේ කොහොම ද?

මා කුඩා කාලයේ පටන් හොඳ කියවන්නෙක්. මෑතකදි මම, ඉසබෙල් අයියන්දේ සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් සිංහලට පරිවර්තනය කළා. ඒ එක් තැනකදි සම්මුඛ සාකච්ඡාව කළ ජනමාධ්‍යවේදිනිය ඉසබෙල් අයියන්දේගෙන් අහන්නේ, ඔබට දේශපාලනය කරන්න අදහසක් තියෙනවා ද? කියලයි. “ආ යූ ක්‍රේසි” කියලා එයට ඈ පිළිතුරු දෙනවා. මේ සාකච්ඡාව පරිවර්තනය කරද්දි මගේ සිතට නැගුණේ, අප මේ වගේ දෙයකට දෙන උත්තරය. ඒ කියන්නේ සාකච්ඡාවකදි ඈ වගේ පිළිතුරක් අප දෙන්නේ නැහැ. අප එවැනි අවස්ථාවකදි කියන්නේ, “ඔයාට අමු කැවිල ද?” වගේ දෙයක්. පරිවර්තනය ප්‍රකාශයට පත් වුණාට පස්සේ, ඒක කියෙව්ව කිහිපදෙනකුම මට කතා කළා. ඒ අතර, විදර්ශන පොත් ප්‍රකාශකයො, පොත් පරිවර්තනයට කැමැත්ත විමසුවා. ඒ වන විට තිබුණු මගේ කියැවීමේ පුරුද්දට අනුව, මා ඔල්ගා ටොකර්චුක් සමඟ කළ සම්මුඛ සාකාච්ඡාවක් කියවා තිබුණා. මේ සාකච්ඡවට අනුව ඇගේ අදහස් මට ගෙනාවේ බොහොම සමීප බවක්. ඇගේ අදහස්වල තිබුණු සාධනීය බව මගේ සිත් ගත්තා. මා ඈ ගැන ප්‍රකාශකවරයාට පැවසුවා. ඒ අනුව ඇගේ මේ කෘතිය පළ කිරීමට මට අවස්ථාව ලැබුණා.

ඒ වන විටත් ඔල්ගා ටොකර්චුක් කියන්නේ නවකතා කිහිපයක්ම ලියන ලද ලේඛිකාවක්?

ඒ වන විටත් ඈ නොබෙල් සාහිත්‍ය සම්මානය පවා ලබා තිබුණා. ඒ වන විටත් ඇගේ පොත් කිහිපයක් ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී තිබුණා. ඈ ඉංග්‍රීසි පාඨකයන් අතරට පැමිණුනේ මෑත කාලයේ. ඒත් පොත් කිහිපයකින් විතරයි. ඒවාත් සොයාගැනීම පහසු නැහැ. එසේ තිබියදී ඔල්ගා ටොකර්චුක් කියන්නේ ශ්‍රී ලාංකේය පාඨකයන්ට අලුත් ලේඛිකාවක්. ඇගේ පොතක් ලාංකේය සිංහල පාඨකයන්ට වගේම, ඉංග්‍රීසි පාඨකයන්ටත් හඳුන්වා දිය යුතුයි කියන අදහසෙයි මා පසු වුණේ. ඒ කාරණයත් මේ පොත පාඨකයන් අතට පත් වීමට එක් හේතුවක්. ඇගේ පොතක් තෝරා ගනිද්දි අප පාඨකයා ග්‍රහණය කර ගත හැකි නවකතාවකින් ආරම්භ කළ යුතුයි යන අදහස ඇතිව, ඔල්ගා ටොකර්චුක්ගේ ‘ප්‍රෝරෝවැඩ් සූයීජ් ප්ලූග් ප්‍රෙරස් කොශි උමාරුවේ කෘතිය තෝරා ගැනුණා.

ඔල්ගා ටොකර්චුක්, මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක්. ඒ වගේම ඇගේ කෘතිවල පරිසරයට හිතෛෂී වීම, මානවදයාව, නිර්මාංශයට ඇති කැමැත්ත වැනි ගුණාංග, මේ කතා මඟින් මනාව පිළිබිඹු කරනවා නේද?

මේ කෘතිය පරිවර්තනයට පෙර මා ඈ සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා, ඈ පිළිබඳ ලියැවුණු ලිපි කියෙව්වා. මේ මඟින් මා අවබෝධ කර ගත්තේ ඈ නිර්මාංශ වීම පමණක් නොමෙයි; වාමාංශික අදහස් දරන්නියක් බවයි. මේ කාරණාවලට අනුව, ඔල්ගා ටොකර්චුක් පිළිබඳ වඩාත් හඳුනාගැනීමේ අදහස ඇතිව ඈ ලියන ලද පොත් කිහිපයක්ම කියැවීමට පෙලඹුණා. එහිදී ඈ පවසන්නේ මේ විශ්වයේදී මනුෂ්‍යයාවත්, අනෙක් සත්ත්වයනුත්, ගහකොළ යන කිසිවක් එකිනෙකාට උසස් නොවන බවයි. විශ්වයේදී මේ සියල්ල සමාන බව ඈ පවසනවා. එහෙත් ඒ සමාන බවේදී සත්ත්වයන් හා ගහකොළ, ඔවුන්ට අදාළ රාජකාරිය නියම ආකාරයෙන් කළත්, මිනිස්සු වන අප ඒ රාජකාරීයෙන් බැහැරව සිටින බවයි ඇය පවසන්නේ. අප ගමන් කරන මේ මාර්ගය ඉක්මනින් අවසන් වන බව ඈ අපට දන්වනවා. මේ කාරණා මගේ සිතට තදින් දැනුණා.

ඇගේ වෙනත් කෘතියක් තෝරා නොගෙන, මේ කෘතියම තෝරා ගැනීමට මෙහි ඔබ දුටු සුවිශේෂ බව මොකක් ද?

ශ්‍රී ලාංකේය පාඨකයාට අලුත් ලේඛිකාවක් හඳුන්වා දීමේදී සැලකිය යුතු කාරණා කිහිපයක්ම මා අවබෝධ කරගෙනයි හිටියේ. පෝලන්ත සංස්කෘතිය, භාෂාව පමණක් නෙමෙයි; එය අපට ළඟ රටක් නෙමෙයි. ඒ නිසා මා මේ නවකතාවට යොමු වීමට හිතුවා. ඒ වගේම, ලාංකේය පාඨකයා වඩාත් කැමැත්තක් දක්වන්නේ කතන්දරයක් ඔස්සේ කියවා ගැනීමකටයි. මට හිතෙන විදියට අපේ සමාජය වඩාත් කැමැති, හඳුනාගන්න පහසු සහකරුවකු සහ කියවගන්න ලෙහෙසි පොතකින් සාහිත්‍යයට එළැඹෙන්නයි. ඒ නිසා මා සිතුවේ ඔල්ගා ටොකර්චුක්ගේ කියවන්න පහසු, ඇගේ අදහස් පිළිබිඹු වන නවකතාවකින් මේ කාර්යය ඇරැඹීමටයි. එතැනදි මේ කෘතියේ මතුපිට කතාව ඉතා සරලව ගලාගෙන යෑම හා යටි පෙළෙන් මතු කරන වෙනස්ම කාරණාත් වැදගත් වුණා.

ලේඛිකාවගේ මේ කෘතිය අන්තෝනියෝ ලොයිඩ් ජෝන්ස් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ ‘Drive Your Plow Over Bones of The Dead’ නමින්. ඒ කෘතියයි ඔබ ‘මරණයේ රළ නැගුම’ නමින් සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ?

අන්තෝනියෝ ලොයිඩ් ජෝන්ස් මේ කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කරන අවස්ථාවේ ඈ එහි වාසය කරමින්, අධ්‍යයනය කරමිනුයි ඒ කාර්ය සිදු කළේ. අපේ වගේ රටක පරිවර්තනයක් කරන විට අපට මුහුණදීමට සිදු වන ගැටලු රැසක් තිබෙනවා. නවකතාවට අදාළ පරිසරය පිළිබඳ යම් අධ්‍යයනයක නිරත විය යුතු වුවත් එය කිරීමට තරම් අපට තිබෙන පහසුකම් අවමයි. ඒ නිසා මා ඒ පරිසරය, සංස්කෘතිය අධ්‍යයනය කළේ අන්තර්ජාලය මඟින්. එය සාර්ථකයි කියා මා සිතනවා.

ලේඛිකාව එක් ස්ථානයක සමලිංගිකත්වය පිළිබඳ කතාබහට ලක් කරනවා?

එවැනි අය දෙස පෝලන්ත වැසියන් බලන්නේ, නීතිවිරෝධී ක්‍රියාවක් කරන පිරිසක් හැටියටයි. එහෙත් එහිදී ලේඛිකාව අපට ඉඟි කරන්නේ එවැනි දේත් පෝලන්ත සමාජ ක්‍රමයේ පවතින බවයි. ඈ හැම වෙලාවේම පවසන්නේ සාහිත්‍ය කියන්නේ මිනිසුන් ප්‍රශ්න කිරීමට පොලඹවන බවයි. ඇය විශ්වාස කරන්නේ සාහිත්‍ය මඟින් පාඨකයාව යම් කුපිත කිරීමක් කළ යුතු බවයි. ඒ මඟින් ඈ බලාපොරොත්තු වන්නේ පාඨකයා තුළ චින්තනමය අවුළුවාලීමකුයි. එවිට මේ මතවාද දෙක ම ප්‍රශ්න කිරීමටත්, ඒ මඟින් වඩාත් නිවැරැදි දේ තෝරා ගැනීමටත් ඔවුන්ට හැකි වන බව ලේඛිකාව විශ්වාස කරනවා. කිසිම මතවාදයක් බලෙන් නොදිය යුතු බව ඇගේ අදහසයි.

නවකතාවේ, ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ ලේඛිකාව දක්වන අදහස, පාඨකයා පුදුමයට පත් කරනවා නේද? 

මේ නවකතාවේ එන කථකයා නිතරම ජ්‍යෝතිෂ්‍ය අධ්‍යයනය කරන කෙනෙක්. එහිදී ඈ ප්‍රකාශ කරන්නේ, ග්‍රහලෝක තියෙන්නේ අපට දඬුවම් දෙන්නවත්, විභාග කරන්නවත් නොවන බවයි. ඒකෙන් අපට යම් බලපෑමක් වුණත් එය ඒ අයට වෙනස් කරන්නත් බැහැ; අපට වෙනස් කරන්නත් බැහැ. ඒ නිසා මේ මුළු විශ්වයම තනි ඒකකයක් බව ඇය පවසනවා.

කථකයාගේ උමතු භාවය නවකතාවේ එන එක්තරා සංකේතයක්

සමාජ අසාධාරණය වෙනුවෙන් කතා කරන මිනිස්සු, අවසානයේ සමාජය මඟින් ම දකින්නේ උමතු වූවන් විදිහටයි. ඒක අපේ සමාජයේත් දකින්න තිබෙන කාරණයක්. එය ලේඛිකාව මතු කරන්නේ මනෝවිශ්ලේෂණයක් විදිහටයි. ඒත්, සමහර වෙලාවකදි කථකයා වැඩ කරන ආකාරයෙන්, මේ කෙනාට පිස්සු ද? කියලත් අපට හිතෙනවා. ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා අන්තයකට නොයා යුතුය යන අදහසයි එහිදී ඈ අපට පවසන්නේ. එහෙත් එය තීරණය කිරීම ලේඛිකාව අපටම භාර දී තිබෙනවා.

පරිවර්තනයක් කියැවීමේදී, එක් පිටුවකින් අනෙක් පිටුවට ගමන් කරන යම් පෙලඹවීමක් පාඨකයට ඇති කළ යුතුයි. මේ පරිවර්තනයේදී සමහර අවස්ථාවල ඒ කාරණය බිඳ වැටෙනවා. ඒ වගේම, සමහර අවස්ථාවල ඉංග්‍රීසි පරිවර්තනයේ තිබෙන දේ ඔබ ඒ ආකාරයෙන්ම අමු අමුවේ පරිවර්තනය කළ බවක් හැඟී යනවා?

මා බොහෝ විට උත්සාහ කළේ, ලේඛිකාවගේ ලේඛන රටාවට කිසිදු බලපෑමක් නොකර, පරිවර්තනය කිරීමටයි. මේ නවකතාව සම්බන්ධයෙන් මට ලැබුණු සමහර ප්‍රතිචාර, ඔබ පවසන ආකාරයේ ඒවා නෙවෙයි. ඒ ප්‍රතිචාර අතර මේ නවකතාව හොඳින් කියවා ගත් අයත් සිටියා. මේ නිසා මෙතැනදි මා ඔල්ගා ටොකර්චුක්ගේම උත්තරයකට යනවා. ඈ පවසන්නේ, ඔල්ගා ටොකර්චුක්ගේ පොත් කියවන්න කියලා මා හැමෝටම කියන්නේ නැහැ කියලයි. මට නොදැනුණ, සමහර විට ඔබ කියන ආකාරයේ අඩුපාඩුවක් මෙහි තිබෙන්න පුළුවන්.

ඡායාරූප - තරංගනී සිගේරා

නව අදහස දක්වන්න