පළාත් සභා පාලනය ගැනත්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැනත් මහින්ද යාපාට මනා අවබෝධයක් තිබෙනවා | දිනමිණ

පළාත් සභා පාලනය ගැනත්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැනත් මහින්ද යාපාට මනා අවබෝධයක් තිබෙනවා

නව කථානායකවරයාට සුබ පැතුම් එක් කරමින් අගමැති මහින්ද කියයි

විශ්වවිද්‍යාලයකට  එහා ගිය විශාල යමක්  පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගන්න පුළුවන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපති මෛත්‍රීපාල සිරිසේන

ප්‍රජාතන්ත්‍රවාදය  ආරක්ෂා කිරීම ඔබතුමාගෙන් අප අපේක්ෂා කරනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දිගු කාලීන ඉතිහාසයක් ඇති ඔබතුමාට  දෙමළ ජනතාවගේ  ගෞරවය පිරිනමනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්. සම්පන්දන්

අපට තිබෙන  පළමු කාර්යය වන්නේ ව්‍යවස්ථාව  වෙනස් කර ගැනීමයි

ඇමැති වාසුදේව නානායක්කාර

ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළ  අවස්ථාවේ එතුමා  තිබූ තනතුරු අත්හැරියා

ඇමැති විමල් වීරවංශ

මේ පාර්ලිමේන්තුවේ  දකුණ සහ වම  බැලුවත් බලවත්  ආණ්ඩුවක් තිබෙනවා

ඇමැති උදය ගම්මන්පිල

ජාතිවාදය තුරන් වූ ශක්තිමත්  පාර්ලිමේන්තුවක්  නිර්මාණය වී තිබෙනවා

 මන්ත්‍රී එම්.එල්.එම්. අතාවුල්ලා

 බලතලවලට එල්ල වන අනිසි බලපෑම් වළක්වන්න කථානායකවරුන් කටයුතු කර තිබෙනවා

 මන්ත්‍රී අනුර කුමාර දිසානායක

ඔබතුමා අපගේ  භාරකරුවා වෙනවා

මන්ත්‍රී රාවුෆ් හකීම්

පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවයි කියා අප විශ්වාස කරනවා

ඇමැති ඩග්ලස් දේවානන්ද

 ජනතා ගෞරවයට  ලක් වන තැනක් බවට පාර්ලිමේන්තුව පත් කළ යුතු වෙනවා

 මන්ත්‍රී වීරසුමන වීරසිංහ

ඔබතුමා ඉතා පරිණත හා කාර්යශූර නායකයෙක්

මන්ත්‍රී මනෝ ගනේෂන්

 මතවාදවලට ගරු කරන පාර්ලිමේන්තුවක් පවත්වා ගෙන යෑම  ඔබතුමාගේ වගකීමයි

මන්ත්‍රී සී.වී විග්නේශ්වරම්

ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් රට තුළ ස්ථිර සාර සාමයක් ඇති කළ හැකියි

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

ජනවාර්ගික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සැපයිය යුතුව තිබෙනවා

මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්

ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහාය දෙනවා

මන්ත්‍රී සිවනේෂන්තුරෙයි  චන්ද්‍රකාන්තන්

සියලු ජන කොටස්  පාර්ලිමේන්තුව නියෝජනය කරනවා

 මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්

ඔබේ අත්දැකීම් මේ පාර්ලිමේන්තුවට  ඉතා වැදගත් වෙනවා

 රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන්

නව වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට පත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට හිටපු මහා ඇමැතිවරයකු ලෙස පළාත් සභා පාලනය පිළිබඳවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳවත් මනා අවබෝධයක් ඇතැයි නව කථානායකවරයාට සුබ පැතුම් එක්කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.

අභිනවයෙන් පත් වූ නව පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ (20) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර ප්‍රථම කාර්යය වූයේ නව කථානායකවරයා පත්කර ගැනීමයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් එක්කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

විවිධ තනතුරු හොබවමින් රාජ්‍ය පාලන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ලබා තිබෙන මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තුව තුළ අපක්ෂපාතී හා ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය තිබෙනව.

ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ නව කථානායවරයා වශයෙන් තේරී පත්වීම සම්බන්ධයෙන් මගේ සුබපැතුම් එක් කරනවා. මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමි කර ගත් මහින්ද යාපා අබේවර්ධන මහතා 1983 වසරේ මැයි මස 18 වැනි දා පැවති හක්මණ ආසනයේ අතුරු මැතිවරණයෙන් මේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අයෙකු වශයෙන් ද ,අද මේ රටේ තුන්වැනි පුරවැසියා වශයෙන් ද පත්ව තිබෙන බව සිහිපත් කරන්න කැමැතියි.

දකුණු පළාතෙන් බිහි වූ කථානායකවරයෙක් වශයෙන් ඒ මහතා පත්වීම සම්බන්ධයෙන් මට නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. ජ්‍යෙෂ්ඨයකු වශයෙන් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව වගේම හිටපු පළාත් සභා ඇමැතිවරයකු වශයෙන් පළාත් සභා පාලනය පිළිබඳවත් හොඳ අවබෝධයක් තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයෙකු වශයෙන් ,කෘෂිකර්ම කටයුතු ඇමැතිවරයෙක්, සංස්කෘතික කටයුතු හා සෞඛ්‍ය හා පෝෂණ කටයුතු මෙන්ම කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන්හි තනතුරු හොබවා රාජ්‍ය පාලන ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් සමූහයක් තිබෙන අයෙක්.

ඒ වගේම කැබිනට් ඇමැතිවරයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කොට අත්දැකීම් සමඟ මේ පාර්ලිමේන්තුවට අපක්ෂපාතීව හා ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි සුබ පතනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා-

මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ දී නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් උසස් ආකාරයෙන් කටයුතු කරන බවට විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම ඒ මහතාගේ නායකත්වය මේ සභාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඉතාම වැදගත් වෙනවා. මේ රටේ ව්‍යවස්ථාදායකය මෙන්ම පරිපාලනය, මූල්‍ය කටයුතු ආදි වැදගත් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ වගේම විශ්වවිද්‍යාලයකට එහා ගිය විශාල යමක් මේ පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා.

පාර්ලිමේන්තුවේ විවිධ කටයුතුවලට සම්බන්ධ වීම, ස්ථාවර නියෝග අනුගමනය කිරීම ආදිය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දිගු කාලීන අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා නව කථානායකවරයා වශයෙන් තේරී පත්වීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඒ මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සුබ පතනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාෙ-

අභිනව පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් පිරිනමනවා. තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මාතර රාහුල ආදි විදුහල්වලින් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ද ලබා තිබෙනවා. ඒ වගේම ඔබතුමා මෙම ධූරයට පත්වීම සම්බන්ධයෙන් අපගේ සුබපැතුම් පිරිනමනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ නෛතික පදනම ආරක්ෂා කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදාය ආරක්ෂා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටීම ඔබතුමාගෙන් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම පක්ෂග්‍රාහී නොවී කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

දෙමළ ජාතික සංධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා-

කථානායක ධූරයට පත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් එක් කරනවා. මගේ පක්ෂයේ මෙන්ම දෙමළ ජනතාවගේ ගෞරවය එතුමාට පිරිනමනවා. දිගුකාලීන ඉතිහාසයක් ඇති ඔබතුමා විප්ලවීය තීරණ ගත් තැනැත්තෙක්. ඒ නිසා අභිනව පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස තේරී පත් වූ ඔබතුමා පාර්ලිමේන්තු කටයුතුවලදී සම්ප්‍රදායට ගරු කරමින්, ස්ථාවර නියෝග අනුව සියලු මන්ත්‍රීවරුන්ට එකසේ සලකයි කියා අප විශ්වාස කරනවා. ඒ වගේම කථානායක ධූරයේ ගරුත්වය ආරක්ෂා කිරීම ඔබතුමගේ වගකීමයි. ඔබතුමාට අපගේ උපරිම සහයෝගය ලබා දෙනවා.

නව වාමාංශික පෙරමුණේ නායක,

ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා-

අද මේ ලැබී තිබෙන බලයත් සමඟ සිදුව ඇත්තේ සමුද්‍රීය වශයෙන් ඇති වූ වෙනසක්. එවැනි බලවත් වෙනසක් ඇති ව තිබෙන මොහොතක පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඔබතුමන් පත්වීම පිළිබඳව අප සතුට පත් වෙනවා. ඒ වගේම නව ධූරයට පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කර සිටිනවා. දැන් අපට තිබෙන පළමු කාර්ය වන්නේ ව්‍යවස්ථා වෙනස් කර රටටත්, ජනතාවටත් ගැළපෙන ආකාරයේ ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බහුතර බලය ලැබී තිබෙනවා. ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුවනු ඇතැයි අප විශ්වාස කරනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා-

නව කථානායකවරයා ලෙස පත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට අප පක්ෂයේ සුබ පැතුම් පුද කර සිටිනවා. අද මේ පාර්ලිමේන්තුවේ දකුණ සහ වම් පැත්ත බැලුවත් ඉතා බලවත් ආණ්ඩුවක් ලැබී තිබෙනවා. පසුගිය කාලයේ ඇති වූ සිදුවීම් පිළිබඳව අද්දැකීම් ඇති ඔබතුමන් එවැනි තත්ත්වයක් ඇති නොවන අයුරින් ඉතා ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් පවත්වා ගෙන යනු ඇතැයි අප විශ්වාස කරනවා. රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ඇති කිරීමේදී පාර්ලිමේන්තුට ඒ සඳහා විශාල කාර්ය භාර්යයක් තිබෙනවා. ඒ සඳහා කථානායකවරයා ලෙස ඔබතුමන් අපක්ෂපාතීව සහයෝගය දෙනු ඇති ද අප විශ්වාස කරනවා.

අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී එම්.එල්.එම්. අතාවුල්ලා මහතා-

පසුගිය ජනාධිපතිවරණයට පෙර සිටම අපි අපේ රටට නව ව්‍යවස්ථාවක් අපේක්ෂා කළා. රටේ ජනතාවත් අපේක්ෂා කරන්නේ නව ව්‍යවස්ථාවක්. අපි සියලු පක්ෂ නායකයන් එක්ව ඒ කාර්යය වෙනුවෙන් කටයුතු කළයුතු වෙනවා. කිසිදු භේදයකින් තොරව අපි රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙනවා. ජාතිවාදය තුරන් කොට අද වනවිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය වී තිබෙනවා. අද වනවිට අපේ රටට හොඳ ගමනක් යන්න ආරම්භයක් ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කළයුතු වෙනවා. ඒ වගේම සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කොට හොඳ ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු වෙනවා. ඒ වෙනුවෙන් කිසිඳු රටකට ඇඟිලි ගැසීමට ඉඩ දියයුතු නැහැ.

මම මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පතනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා-

දිඟුකාලීන දේශපාලන අත්දැකීම් සහිත මහින්ද යාපා අබේවර්ධන මහතා නව කථානායකවරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ඒ වගකීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ ඒක ඡන්දයෙන් නව කතානායකවරයා තෝරාගෙන තිබෙනවා. මේ තනතුරට එහා ගිය වගකීමක් පැවරී තිබෙනවා. පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බලතලවලට එල්ල වන අනිසි බලපෑම් වළක්වන්න මෙතෙක් කථානායකවරු කටයුතු කර තිබෙනවා. ඒ ආකාරයට නව කතානායකවරයා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. පාර්ලිමේන්තුව වෙත පැවරී තිබෙන බලතල අනුව කටයුතු කරයි කියා විශ්වාස කරනවා. මේ රටේ ඉතා වැදගත් සන්ධිස්ථානවල දී තනතුරු පසෙකලා කටයුතු කර තිබෙනවා. ඒ ආකාරයෙන් ඉදිරියටත් කටයුතු කරයි කියා විශ්වාස කරනවා. මෙහිදී මන්ත්‍රීවරුන්ගේ අයිතිය සහ වගකීම සාධාරණ ලෙස ඉටුකරන්න සහාය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කරනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා-

අද වනවිට මේ පාර්ලිමේන්තුවේ සිදු වන දේ සම්බන්ධයෙන් ජනතාව විමසිල්ලෙන් බලා සිටිනවා. ඒ වගමේ මෙහි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් මහජනතාව විසින් විනිශ්චයක් ලබා දෙනවා. පසුගිය කාලයේ විවිධ දේ මේ පාර්ලිමේන්තුවේ දී සිදු වූ ආකාරය අපි දන්නවා. ශබ්දය අනුව තීන්දු තීරණ ගත් අවස්ථා තිබුණා. එවැනි තත්ත්නයක් නොමැතිව පාර්ලිමේන්තුවේ හොඳ වාතාවරණයක් නිර්මාණය කළයුතු වෙනවා. එදා ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කළ අවස්ථාවේ තිබූ තනතුරු අත්හරිමින් නායකයෙක් වශයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව මේ සභාව නිවැරදිව මෙහෙයවන්න හැකි වෙයි කියා අපි විශ්වාස කරනවා.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා-

නව කථානායකවරයා වශයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ඒ මහතා දශක කිහිපයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන අත්දැකීම් සහිත නායකයෙක්. එවැනි නායකයෙකුගේ අත්දැකීම් මේ පාර්ලිමේන්තුවට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මෙහි කටයුතු හොඳින් කරගෙන යන්න හැකිවෙයි කියා අපි විශ්වාස කරනවා. මම ඒ මහතාට සුබ පැතුම් එක් කරනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා-

මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් ඔබතුමාට අපගේ සුබ පැතුම් එක්කර සිටිනවා. ඔබතුමාට ලැබිය යුතු නිසි ගෞරවය අද ලැබී තිබෙනවා. කථනායක ධූරය දැරූ අන්සියලු දෙනාටම වගේම ඔබතුමාට අප සියලු දෙනාගේම වගකීම් පැවැරෙනවා. ඔබතුමා අපගේ භාරකරුවාය.සභාවේ ගරුත්වය රැකෙන පරිදි පක්ෂ විපක්ෂ සියලු දෙනා වෙනුවෙන්ම ඔබතුමා එකසේ පෙනී සිටී යැයි අප විශ්වාස කරනවා. රාජ්‍ය මූල්‍ය පාලනයේ වගකීම පාර්ලිමේන්තුව සතුයි. ඒ කටයුත්තට මුල්තැන දෙමින් කටයුතු කිරීම ඔබතුමාගේ

වගකීමයි.

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ( ඊපීඩීපී) නායක, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා-

ඔබතුමාට අපගේ ගෞරවය පිරිනමනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවයි කියා අප විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා-

වසර තිස් හතක දේශපාලනමය අද්දැකීම් ඇති මහින්ද යාපා අබේවර්ධන මහතා වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සුබ පැතුම් එක්කර සිටිනවා. එක් පැත්තකින් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි එතුමන්, පළමු වරට කථානායක ධූරය හොබවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට ලැබීම මම ලැබූ භාග්‍යයක්. පසුගිය කාලය පුරා ඇති වූ ඇතැම් සිදුවීම් එක්ක අපේ පාර්ලිමේන්තුව පිළිබඳව ජනතාව තුළ පැහැදීමක් තිබුණේ නැහැ. ඒ තත්ත්වය නැති කර නැවත ජනතාවගේ ගෞරවයට ලක් වන ස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත්කිරීමේ අභියෝගය ඔබතුමන් ජයගනු ඇතැයි අප විශ්වාස කරනවා.

 

දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා-

අද දින පත් වූ නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සිය පක්ෂයේ සුබ පැතුම් එක්කර සිටිනවා. ඉතා පරිණත හා කාර්යශූර නායකයෙක් ලෙස හඳුනා ගෙන ඇති එතුමන් පාර්ලිමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාර්යයක් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඉදිරියේදී සියලූම දෙනා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිනවා.

දෙමළ ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරම් මහතා-

කථානායක ධූරයෙන් පිදුම් ලැබූ ඔබතුමන්ට අප සුබ පතනවා. හඩක් නැඟිය නොහැකි ජනතාවගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වන මහජන නියෝජිතයන්ගේ වගකීම පැවැරෙන්නේ ඔබතුමන්ට. සියලු ජන කොට්ඨාසවලට, සියලු දේශපාලන පක්ෂවලට සාධාරණයක් ඉටු වන සේ ඔබතුමා කටයුතු කළ යුතුයි. සාමකාමී, සමෘද්ධිමත් එකිනෙකාගේ මතවාදවලට ගරු කරන පාර්ලිමේන්තුවක් පවත්වා ගෙන යෑම ඔබතුමාගේ වගකීමයි. පක්ෂ දේශපාලනයෙන් තොරව ඔබතුමා කටයුතු කරාවී යැයි අප විශ්වාස කරනවා.

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා-

ඔබතුමා දීර්ඝ කාලීන අද්දැකීම් ඇති අයෙකි. පළාත් සභාවත් නියෝජනය කර තිබෙනවා. පාර්ලිමෙන්තුව නියෝජනය කළ සෑම අවස්ථාවකදීම ඔබතුමා සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කළා. සියලු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන ආරක්ෂකයා ඔබතුමායි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. මේ රටේ වෙසෙන සියලු ජාතීන්ට සාධාරණයක් ඉටුවන්නේ සියලු දෙනාට ගැළපෙන ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පමණයි. රට තුළ ස්ථිර සාර සාමයක් ඇති කළ හැක්කේ ඒ තුළින් පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස ව්‍යවස්ථා සංශෝධනයේදී නිවැරැදි මඟපෙන්වීම ඔබතුමා කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා-

ජනවාර්ගික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදිය යුතුයි. මේ ප්‍රශ්නය නිසා අපි දශක ගණනාවක් පීඩා විඳිනවා. පාර්ලිමේන්තුවට ඔබතුමා නිසි නායකත්වය ලබාදේවී කියා අපි විශ්වාස කරනවා.

ටැමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂන්තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා-

ඔබතුමා පිළිබඳව පෞද්ගලික තොරතුරු මම දැනගෙන සිටියේ නැහැ. නමුත් සියලු දෙනා ඉදිරිපත් කළ කරුණු අනුව ඔබතුමා පරිනත පුද්ගලයෙක් ලෙස මා දැන ගත්තා. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔබතුමාට වගේම වත්මන් ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලියට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. යහපාලන ආණ්ඩුවේ ඇතැමුන්ගේ අවශ්‍යතා මත සැලසුම් සහගත ලෙස මාව සිරගත කළා. මඩකලපුවේ ජනතාව මාව පත්කර ගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පුදකර සිටිනවා. පාර්ලිමේන්තු පැමිණීමට අධිකරණයේ අවසරය මට ලැබිය යුතුයි. ඒ ආකාරයට ජනතාවට සේවය කරන්නේ කොහොමද. උතුරේ සහ දකුණේ සිදු කරන සියලු සංවර්ධන ක්‍රියාවලියට මෙන්ම අනෙකුත් සියලු කාර්යයන්ට අපි සහයෝගය ලබා දෙනවා.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා-

සියලු ජන කොටස් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට එන්නේ තම ජනතාවගේ ජනමතය නියෝජනය කිරීමට. දිගු කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබතුමාට මේ ධූරයේ වගකීම දැරීමට පහසු වේවි.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න