මෝගන්ගෙන් නායකත්වයේ ඉනිමක් | දිනමිණ

මෝගන්ගෙන් නායකත්වයේ ඉනිමක්

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පෙරේදා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 5ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම රැගෙන යාමට සමත් විය. මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන පිල ඕවර 20 අවසානයේ කඩුලු 4කට රැස් කළ ලකුණු 195 හඹා ගිය එංගලන්ත පිල පන්දු 5ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ කඩුලු 5ක් පමණක් වැය කරමිනි. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස එංගලන්ත පිල පෙරමුණ ගත්තේය. දෙපිල අතර පසුගියදා පැවැති පළමු විස්සයි20 තරගය වර්ෂාව හේතුවෙන් නිමාවට පත්වූයේ විසඳුමකින් තොරවය.

සිය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මෝගන් පන්දු 33කින් ලකුණු 66ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගිනි. පාකිස්තානුවන් ලබා දුන් අසීරු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු යුගලය වූ ටොම් බැන්ටන් සහ ජොනී බෙයාර්ස්ටොව් ඕවර 6කුත්, පන්දු 2කදි ලකුණු 66ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර, ලකුණු 44ක් රැස් කළ බෙයාර්ස්ටොව් දවාලීමට ශදාබ් ඛාන් සමත් විය. හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වූ බෙයාර්ස්ටොව්ගේ ඉනිමට වැය වූයේ පන්දු 24ක් පමණි.

ශදාබ් ඛාන්ගේ ඊළඟ පන්දුවෙන් බැන්ටන් දැවී යාමෙන් පසුව ඩේවිඩ් මාලන් සමග එක්ව ඉනිම පිළිසකර කිරිමට මෝගන් සමත් විය. අනගි පිතිහරඹයක නිරත වූ මාලන් සිය නායකයාට කදිම සහයක් ලබා දුන් අතර, පන්දු 36කදි නොදැවී ලකුණු 54ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගිනි.

පාකිස්තානු පිලේ පළමු කඩුල්ලට ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නායක බාබර් අසාම් සහ ෆකාර් සමාන් සමත්වීම කැපී පෙනුණි. අසාම් පන්දු 44කදි හතරේ පහර 7ක් සමග ලකුණු 56ක් ලබා ගත් අතර, පන්දු 22කට මුහුණ දුන් සමාන් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 36කි. අනතුරුව මොහොමඩ් හාෆීස් හුදෙකලා සටනක නිරතවෙමින් පන්දු 36කදී ලකුණු 69ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් එක් විය.

දෙපිල අතර අවසන් විස්සයි20 තරගය අද (1) මේ පිටියේදීම පැවැත්වෙයි.

නව අදහස දක්වන්න