‘ගමට එළිය’ සමාජ සේවාවෙන් ව්‍යාපෘති රැසක් | දිනමිණ

‘ගමට එළිය’ සමාජ සේවාවෙන් ව්‍යාපෘති රැසක්

ජයසිරි මුණසිංහ

අඩු පහසුකම් සහිත පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවස්ථාන ආදී පූජනීය ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම සහ අඩු ආදායම්ලාභි තත්ත්වයන් නිසා ඉතා අසරණව පීඩාවිඳින සමාජයෙන් පිළිසරණක් අවශ්‍ය අයට පිහිටවීමේ අරමුණින් ‘ගමට එළිය’ සමාජ සත්කාරක සේවාව ආරම්භ කළ බව එහි නිර්මාතෘ සුදේශ් එරංග මහතා පවසයි.

මෙමඟින් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව අසරණ ජනතාවට පිහිටවන අතර දැනටමත් කිසිදු ආගම් භේදයකින් තොරව පූජනීය ස්ථාන 50ක් පමණ නවීකරණය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඒ මහතා කීය.

මීට අමතරව අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලැබීමට නියමිතව සිටියත් ඒ සඳහා පහසුකම් සහ මිල මුදල් නොමැතිව අසරණවී සිටින දූ දරුවන් සොයා ඔවුන්ට නිසි පරිදි අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය පාසල් උපකරණ, නිල ඇඳුම්, පොත්පත්, ශිෂ්‍යත්ව පිරිනැමීමට ද කටයුතු කර තිබේ.

අප රටේ ඈත පිටිසර ගම්මානවල ජනතාව ආගමික මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යනු ලබන අංගසම්පූර්ණ නොවූ පන්සල්වල චෛත්‍යයන් ඉදිකිරීම, දාන ශාලා ඉදිකිරීම, බුදුමැදුරු ඉදිකිරීම මෙන්ම අන්‍යාගමික මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පිරිසුදු පානීය ජලය නොමැති ජනතාවට පානීය ජලය ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් ලබාදීම, අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා ඇරැඹීම සඳහා යම් පුහුණුවක් හා මූලික ප්‍රාග්ධනයක් ලබාදී ඔවුන් සවිබල ගැන්වීම සිදුකොට ඇත. වැඩිහිටියන්ට වැඩිහිටි දීමනාවක් ලබාදීම, ආබාධිතයන්ට රෝද පුටු ලබාදීම මේ අනුව සිදුකර ඇත.

සෑම භාණ්ඩයක්ම පිටරටින් ගෙන්වීමේ ආකල්පය වෙනස්කොට මෙරට නිෂ්පාදනය කළ හැකි අත්යන්ත්‍ර රෙදිපිළි, කොහු ආශ්‍රිත නිෂ්පාදනයන් මෙර‍ටදීම නිපදවීමට සමාජයේ කණ්ඩායම් බලගැන්වීම මෙමඟින් සිදුකෙරේ. එහිදී විශේෂයෙන් පොහොර බෑග්, ගෝනි යනාදිය නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා තාක්ෂණය ජනතාවට ලබාදී ඔවුන්ගේ නිෂ්පාදන නැවත මිලදීගෙන වෙළෙඳ පොළට යොමුකිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරේ.

 

නව අදහස දක්වන්න