20 වැනි සංශෝධනය නීතිපතිට යවයි | දිනමිණ

20 වැනි සංශෝධනය නීතිපතිට යවයි

19යේ කරුණු  2ක් හැර සියල්ල  සංශෝධනයට නියමිතයි

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකීයත්වය සුරකින විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය ඉදිරිපත් වූ වහාම කැබිනට් අනුමැතිය ලබාගන්නා බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ (01) පැවසීය.  20 වැනි සංශෝධනය...

ජනපති ධුරය වාර දෙකකට සීමා කිරීම, අවුරදු පහක කාල සීමාව හැර දහනමවන සංශෝධනයෙන් රටට හඳුන්වා දුන් අනෙකුත් කරුණු සියල්ල විසිවැනි සංශෝධනය මගින් ඉවත් කරන බවද ඇමැතිවරයා පැවසීය.

සංකල්පයක් ලෙස දහනමවැනි සංශෝධනය ඉවත් කර විසිවැනි සංශෝධනය ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලද බවත්, ඒ අනුව සැකසුණු විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ වන විට නීතිපතිවරයාගේ නීරික්ෂණ සඳහා යොමු කර ඇති බවත් පැවසූ ඇමැතිවරයා කුමන පදනමක් යටතේ විසිවැනි සංශෝධනය ඉදිරිපත් කළ යුතුද යන්න පිළිබඳ නීතිපතිවරයාගේ මතය ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බවද පැවසීය. ඉදිරි දින කැබිනට් මණ්ඩලයට කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බව ඇමැතිවරයා පැවසීය.

කැබිනට් අනුමැතියට යටත්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පැහැදිලි කළ ඇමැතිවරයා සාමාන්‍ය ව්‍යවස්ථා ක්‍රියාදාමය අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුව අවසන් තීරකයා බවත් පෙන්වා දුන්නේය

 

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න