දේශීය මී පැණි නිෂ්පාදකයන් දිරි ගැන්වීමට වැඩපිළිවෙළක් | දිනමිණ

දේශීය මී පැණි නිෂ්පාදකයන් දිරි ගැන්වීමට වැඩපිළිවෙළක්

දේශීය මී පැණි නිෂ්පාදකයන් දිරි ගැන්වීමට නිපුණතා සංවර්ධන අරමුදලෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කෙරේ.

මී මැසි ජනපදයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය, ජනපදයක මී වද බැඳී ඇති ආකාරය, මී පැණි නිෂ්පාදනය සිදු කරන ආකාරය, ඔවුන් භාවිතා කරන උපකරණ , ප්‍රධාන ගැටලු ලෙස යන්ත්‍ර මිලදී ගැනීමේ අවශ්‍යතාවය, නිසි ප්‍රමිතියකට පෙට්ටි සැකසීමේ අශ්‍යතාවය, නිවැරදි වෘත්තිය පුහුණුව ලබා ගැනීමේ අවශ්‍යතාවය ආදිය හඳුනා ගෙන ඇති අතර එබැවින් එම ගැටලුවලට විසඳුම් ලබාදී ඔවුන්ව දිරිමත් කර දේශීය මී පැණි නිෂ්පාදනය ඉහළ නැංවීමට නිපුණතා සංවර්ධන අරමුදලහි අරමුණයි.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා සක්‍රීයව පවතින මී මැසි ජනපද විසින් දේශීය අවශ්‍යතාවයන් සපුරාලීමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් මී පැණි නිෂ්පාදනය සිදු වනවාද යන්න පිළිබඳ මෙහිදී අවධානය යොමු වී තිබේ. එමෙන්ම තත්ත්වයෙන් උසස් මී පැණි නිෂ්පාදනයේදී දේශීය ව්‍යවසායකයන් මුහුණදෙන ගැටලු සහ ඔවුන් සතුව පවතින නව තාක්ෂණික දැනුමේ අඩුපාඩු සොයා බැලීම පිළිබඳත් අවධානය යොමුවී ඇත. ශ්‍රී ලංකාවේ වාර්ෂික මී පැණි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 25කට සීමා වී ඇත. දේශීය වශයෙන් මී පැණි නිෂ්පාදනයේ සීඝ්‍ර වර්ධනයක් ඇති කරලීමට මී පැණි නිෂ්පාදන ව්‍යාපාරය ස්වයං රැකියාවක් ලෙස ඉහළ නංවා අමතර ආදායම් මාර්ග බිහිකිරීමටත් එමඟින් මී පැණි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කරගැනීමටත්, මී මැසි පාලනය ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක්ද ඇති කළ හැක.

සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර එහි පළමු අදියර ගම්පහ දිස්ත්‍රික්කයේ මී පැණි නිෂ්පාදකයන් මුල් කරගනිමින් සංවිධානය කර තිබූ අතර මී මැසි ජනපද ඇති කිරීම, දේශීය මී පැණි නිෂ්පාදකයන් දිරි ගැන්වීම, නිෂ්පාදනයේදී පවතින ගැටලු සහගත තත්වයන් නිරාකරණය කරමින් තත්වයෙන් ඉතා උසස් මී පැණි නිෂ්පාදනය සඳහා නව තාක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වාදීම යන අරමුණු මුල් කර ගනිමින් ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසහනක් පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය , මී පැණි නිෂ්පාදන වෙළෙඳපොළ තවදුරටත් ප්‍රසාරණය කිරීමට බිස්නස් ඇප් එකක් නිර්මාණය කිරීමටත් ඒ හරහා නව රැකියා අවස්ථා බිහි කිරීම පිළිබඳවත් අවධානය යොමුවිණි.ඒ අනුව දේශීය මී පැණි නිෂ්පාදකයාගේ වෘත්තිය අභිමානය ඇති කිරීමට ගත් වැදගත් පියවරක් වශයෙන් නිපුණතා සංවර්ධන අරමුදල මඟින් නිසි වෘත්තිය පුහුණු පාඨමාලාවක් හඳුන්වා දී ඒ සඳහා ජාතික වෘත්තිය සුදුසුකම් පළමු සහ දෙවන මට්ටමේ (NVQ Level 1 / Level 2) වෘත්තිය සහතිකයක් ලබාදීමට ද යෝජිතය.

 

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න