වවුනතිව් ප්‍රහාරයට අජන්තන් අල්ලා සහරාන්ට රට බිලි ගැනීමට සීඅයිඩීය පාර කැපූ හැටි | දිනමිණ

වවුනතිව් ප්‍රහාරයට අජන්තන් අල්ලා සහරාන්ට රට බිලි ගැනීමට සීඅයිඩීය පාර කැපූ හැටි

2019 වර්ෂයේ පාස්කු ඉරිදා (අප්‍රේල් 21) යනු මෙරට ඉතිහාස පොතේ කඳුළින් ලියැවුණු තවත් එක් දිනයකි. මේ ප්‍රහාරය වළක්වා ගැනීමට ඕනෑ තරම් ඉඩකඩ තිබිණි. දැනට පැවැත්වෙන පාස්කු ප්‍රහාරය ගැන විමසන කොමිසමට ඉදිරිපත් වන සාක්ෂිවලින් ඒ බව මනාව ඔප්පු වෙමින් පවතී.

එවකට යහපාලන රජය කර වූ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානියාගේ සිට ඉහළ බලධාරීන් සියල්ලක්ම පාහේ තමාට පැවරී ඇති කාර්ය භාරය හරි හැටි තේරුම් නොගැනීම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වූ එක් කරුණකි. එසේම දුරකතන ඇමතුම් මඟහැරීම ලැබුණ බුද්ධි තොරතුරු විහිළුවකට ගැනීම ආදිය ද මේ ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ සියලු මං අහුරා දැම්මේය.‍‍

මෙම ප්‍රහාරයේ වගකීමේ වැඩි බරක් පැටවිය යුත්තේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ හිස මත යැයි කිව හොත් ඔබ එය පිළිගන්නවාද? මෙය නියපොත්තෙන් කැඩීමට හැකිව තිබුණ සිද්ධියකි. එහෙත් එය පොරොවෙන් කැපීමට පවා නොහැකි තත්ත්වයකට ගෙනාවේ මෙරට අංක එකේ රහස් පරීක්ෂකයකු වූ ශානි, මෙන්ඩිස් ඇතුළු කල්ලිය විසිනි. ඒ ඔවුන් තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රහාරවල විමර්ශන කරගෙන ගියේ වලහා හාවා කිරීමේ න්‍යායට අනුව වීම නිසාය.‍‍

 

වලහා හාවා කිරීමේ න්‍යාය

ලෝක පොලිස් සංචිතයේ අපරාධ විමර්ශනයෙහිලා සුවිශේෂ ඒකක බොහෝය. ඒ අතර සී.අයි.ඒ., ඉන්ටර් පෝල් වැනි ඒකක මුළු ලෝකයේම ප්‍රසිද්ධ වී ඇත්තේ අපරාධ විමර්ශනයේ අතිදක්ෂයන් ලෙසය. ඒ අතරට අප රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අයත් ය.‍‍‍

මේ ලෝක පොලිස් සංචිතයේ ප්‍රධානියාට සුවිශේෂී ඒකකවල දක්ෂතා උරගා බැලීමට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා යොදා ගත්තේ හාවෙකි. මෙම හාවා මහ කැලෑවකට මුදාහැරිය අතර ඒ එක් එක් ඒකකවලට ලබා දුන් ඉලක්කය වූයේ හාවා සොයාගෙන එන ලෙසය.‍

මුලින්ම යන්නේ සී.අයි.ඒ. කණ්ඩායමකි. නියමිත දින ගණන කැලෑව පීරුව ද ඔවුන්ට හාවා සොයා ගන්නට ලැබුණේ නැත. පරාජය බාරගත් ඔවුන් කැලෑවෙන් පිටතට පැමිණ හාවා සොයාගැනීමට නොහැකි වූ බව ප්‍රධානියාට පැවසුවේය.‍

ඊළඟට යන්නේ ඉන්ටර්පෝල් කණ්ඩායමකි. කැලෑව පීරා සෙව්වත් හාවා සොයා ගන්නට හැකි වූයේ නැත. ඔවුහු පරාජය බාරගෙන තරගයෙන් ඉවත් වූහ. ඊළඟට හාවා සොයා කැලෑ වැදුණේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සී.අයි.ඩී. යයි.

කෙලෙසක හෝ හාවා අල්ලාගෙන ලෝක පොලිසිය පරාජය කිරීමේ අධිෂ්ඨානයෙන් කැලෑවට බට මොවුන්ට ද හාවා සොයා ගන්නට හැකි වූයේ නැත. මොවුන් ඉදිරියට වලහෙක් පැමිණෙන්නේ ඔය අතරතුරය.

“අපි මූව අල්ලලා ගහලා කියමු. මම තමයි හාවා කියන්න කියලා.”

ඒ ප්‍රධානියාගේ යෝජනාවය. එයට කණ්ඩායමේ සියල්ලෝම එකඟතාව පළ කළහ. වලහා අල්ලාගත් ‍මොවුන් උඹ හාවා නේදැයි අසන්නට විය. “අපෝ නෑ මම වලහෙක්.” එලෙස පැවසූ වලහාට අත් වූ ඉරණම බොහෝ ඛේදජනකය. ඌට හොඳ හැටි පහරදුන් මේ පිරිස “මම තමයි හාවා” කියා කියන ලෙසින් තර්ජනය කළේය.

තවදුරටත් ගුටිකෑමට නොහැකි වූ තැන තමා හාවා බව පිළිගැනීමට වලහා කැමැත්ත පළ කළේය. ඒ අනුව වලහා හාවා කර පෙන්වා ලෝක පොලිස් ලොක්කාගේ ගෞරවාදරයට පාත්‍රවීමට ඔවුන්ට හැකි විය. ගරු නම්බු නාම තානාන්තර, ඩබල් ප්‍රමෝෂන් ආදිය ද පිරිනැමුණු අතර හාවා වූ වලහාට හිමි වූයේ සදාකාලික දුක වේදනාව පමණි.

 

මේ න්‍යාය පාස්කු ප්‍රහාරයට උපමා වන අයුරු

දෙදහස් දහඅට වර්ෂයේ නොවැම්බර් මස තිස් වනදාට පහන් වූයේ මෙරට ජනතාව දැඩි භීතියකට පත් කරවන ආරංචියක් සමඟය. එම ආරංචිය වූයේ මඩකලපුව පොලිස් කොට්ඨාසයට අයත් වවුනතිව් පොලිස් ස්ථානයට අනුබද්ධව ස්ථාපනය කර තිබූ මුර‍පොළේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරුන් දෙදෙනා මරා දමා ඇති බවය.

කොස්තාපල් (82162) නිරෝෂන් ඉන්දික ප්‍රසන්න උඩුගම සහ කොස්තාපල් (8624) ගනේෂ් දිනේෂ් මෙම මුරපොළේ රාජකාරි සඳහා පිටත්ව යන්නේ පෙර දින එනම් 29 වනදා සවස් යාමයේය. ආරක්ෂාව සඳහා මොවුන්ට ලබා දී තිබූ රිවෝල්වර දෙක ද ඝාතකයන් රැගෙන‍ ගොස් තිබිණි.

දිනේෂ් මිය ගොස් ඇත්තේ හිසට එල්ල වූ වෙඩි පහරවලිනි. ඉන්දිකගේ ගෙල වෙන් වන තරමටම කපා දමා ඇත. ඔහු ඝාතනය වීමට පෙර සතුරා සමඟ පොර බදා ඇති බවක් ද පෙනෙන්නට තිබිණි.

ඇසූ දුටු සැණින් කාගේත් අදහස වූයේ මෙය යළි පිබිදෙන්නට දඟලන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වැඩක් ලෙසය. ඊට මුල් වූ හේතු කිහිපයක් ද තිබිණි. ඉන් එකක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහ විරු දිනය යෙදී තිබුණේ මෙම ද්විත්ව ඝාතනයට දින තුනකට එනම් නොවැම්බර් මස 26 වනදාට වීමය. එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනයයි.

එදිනට මහ විරු දින උත්සව පැවැත්වීමට සෑම වර්ෂයකම එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ක්‍රියා කරද්දී රජය ඊට තහනම් නියෝග පැනවීය. ප්‍රභාකරන්ගේ මස්සිනා වන සිවාජිලිංගම් මේ තහනම නොතකා සෑම වර්ෂයකම සිහිකිරීමේ උත්සව පවත්වද්දී 2018 වර්ෂයේ එයට ඉඩක් ලැබුණේම නැත. ඒ අනුව කාගේත් අදහස වූයේ පහන් පත්තු කොට සැමරීමට නොහැකි වූ මහ විරු දිනය ලෙයින් සමරා ඇති බවකි.

මඩකලපුව කොට්ඨාසය බාර පොලිස් අධිකාරීවරයාගේ නියෝග හා උපදෙස්වලට අනුව වවුනතිව් පොලීසිය විමර්ශන ආරම්භ කළ නමුත් ඝාතන සිදුවී දින කිහිපයක් ගත වනතුරුත් ඔවුන්ට සැකකරුවන් ගැන අංශු මාත්‍රයක්වත් තොරතුරක් සොයා ගන්නට හැකි වූයේ නැත. සැක කටයුතු පුද්ගලයන් කිහිපදෙනකුම කැඳවා කටඋත්තර ලබා ගත් නමුත් මෙම ද්විත්ව ඝාතනය ගැන ඔවුන්ගෙන් කිසිම තොරතුරක් හෙළි කර ගන්නට නොහැකි විය.

මෙරට සිදුවන විසඳා ගැනීමට අපහසු පැටලිලි සහිත අපරාධ විමර්ශනය කිරීමට පොලිසිවල නිලධාරීන්ට එතරම් හැකියාවක් නැත. ඒ සඳහා උපන් හපන්කම් ඇති ෂර්ලොක් හෝම් පරපුරෙන් පැවත එන නිලධාරීන් සිටින්නේ සී.අයි.ඩී.යේය. ඒ අනුව වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනයේ විමර්ශන සී.අයි.ඩී.යට පැවරීමට බලධාරීහු කටයුතු කළහ. එවකට සී.අයි.ඩී.යේ අධ්‍යක්ෂවරයා වූයේ රට හෙල්ලූ අපරාධ රැසක් සාර්ථකව විසඳා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පෝලිමට සිරගෙටත් එතැනින් එහා එල්ලුම් ගසටත් යැවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය.

 

ඝාතනවලට වගකිවයුත්තන් සෙවීමේ මෙහෙයුම

ශානිගේ විශ්වාසවන්ත මෙන්ම ළඟම ගෝලයා ද වූයේ එවකට සැරයන් (දැන් ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙකි.) මෙන්ඩිස්ය. ඒ අනුව වවුනතිව් පොලිස් මුරපොළේ ඝාතනවලට වගකිවයුත්තන් සෙවීමේ මෙහෙයුම බාර වූයේ මෙන්ඩිස්ටය. ඔහු කණ්ඩායමක් ද සමඟ මඩකළපුවට ගොස් විමර්ශන ඇරැඹීය.

අතිසාර්ථක විමර්ශනයක යෙදුණ සී.අයි.ඩී. කණ්ඩායම වවුනතිව් ප්‍රහාරයට වගකිව යුතු තිදෙනකු ගැන තොරතුරු සොයා ගත්තේය. ඔවුන් අතරින් දෙදෙනෙක් වව්නතිව් හිදී අත්අඩංගුවට ගත්ත ද ප්‍රධාන සැකකරු යැයි සැලකූ පුද්ගලයා ප්‍රදේශය හැර පලා ගොස් තිබිණි. ඔහු කිලිනොච්චියට ගොස් ඇති බව ද සී.අයි.ඩී.ය හෙළි කර ගත්තේය.

ඔහු වහාම අල්ලන ලෙස සී.අයි.ඩී.ය කළ දැනුම්දීමට අනුව කිලිනොච්චියේ සියලු පොලිස් ස්ථාන එක්ව ඔහු සොයන්නට විය. අවසානයේ ඔහු අල්ලා ගන්නා අතර, පසුව ඔහු මඩකලපුවට යැවීණි. ඔහු ද සිය භාරයට ගත්ත සී.අයි.ඩී. කණ්ඩායම මඩකළපුව කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට කළ නොහැකි වූ විමර්ශනය අතිසාර්ථක ලෙස අවසන් කොට රාළහාමිලා ඝාතනය කළ තිදෙනා ද රැගෙන මහ උජාරුවෙන් කොළඹට පැමිණියහ.

මේ තිදෙනා අතර සිටි අජන්තන් යන අය පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. ඔහු ධීවර වෘත්තියේ යෙදෙමින් සිය දරු පවුල රැකගෙන ජීවත් වූවත් වවුනතිව් ප්‍රහාරයේ සැකය එක එල්ලේම එල්ල වූයේ ඔහු වෙතය. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අනෙක් දෙදෙනා මුදාහළ නමුත් අජන්තන්ට එසේ ගැලවී යාමට ඉඩකඩ ලැබුණේ නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අජන්තන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාගන්නට සී.අයි.ඩී.ය කටයුතු කළේය. එම අවසරය ලැබුණු අතර, ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරීය.

“පොලිස්කාරයො දෙන්න මැරුවේ උඹ නේද?” සී.අයි.ඩී. විමර්ශන නිලධාරීන් එළෙස ගුගුරද්දී “අනේ සර් මම මොකුත් දන්නෙ නෑ. මම පොලීසියේ මහත්තුරු මැරුවේ නෑ” ලෙසින් ඔහු පුන පුනා කී වදන් සී.අයි.ඩී. මහත්වරුන් දැඩිව ප්‍රතික්ෂේප කළේය.

කොපමණ ප්‍රශ්න කෙරුව ද, මොන තරම් වධ හිංසා කළ ද අජන්තන් පවසන්නේ මේ ප්‍රහාරය ගැන තමා කිසිවක් නොදන්නා බව ය. එහෙත් සී.අයි.ඩී.යේ අති දක්ෂ රහස් පරීක්ෂකයන්ගේ එකම අභිප්‍රාය වූයේ කොයි ක්‍රමයකින් හෝ මොහුගෙන් ඇත්ත වමාරවා ගන්නටය.

මොහු අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝ ඇප ලබාදීමට සී.අයි.ඩී.ය කටයුතු කළේ නැත. ඒ ඝාතනය කෙරුණ කොස්තාපල්වරුන් සතුව තිබූ රිවෝල්වර දෙකත්, ඝාතන සිදු කළ ගිනි අවිත් සොයා ගැනීමට අවශ්‍ය වූ නිසාය.

වවුනතිව් ද්විත්ව ඝාතනය සිදුවී හරියටම මාස හතරකුත් දින විසිතුනක් ගෙවී ගිය 2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා උදේ මෙරට පල්ලි හතරක් ද සංචාරක හෝටල් තුනක් ද ඉලක්ක කොට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය.

 

ප්‍රහාරකයන්ගේ ගොදුරු

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරත්, කටාන සාන්ත සෙබස්තියන් දෙව්මැදුරත්, මඩකලපුවේ සියොන් දේවස්ථානය ද මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පුපුරුවා හැරියේය. ෂැන්ග්‍රිලා, කිංස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන ‍හෝටල් ද ප්‍රහාරකයන්ගේ ගොදුරු බවට පත්විය. මෙම පිපිරීම්වලින් තුන්සියයකට අධික පුද්ගල සංඛ්‍යාවක් මිය ගියහ. ඔවුන් අතර විදෙස් ජාතිකයන් ද සිටීම මෙරට සංචාරක කර්මාන්තය මහත් අගාධයකට ඇද දැමූ කරුණක් විය.

මෙම ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම රජය කර වූ සියල්ලෝම දැන සිටි බව මේ වනවිට තහවුරු වුවත්, එදා ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඒ සියල්ලෝම අන්ද මන්ද වූයේ මෙය කාගේ වැඩක් දැයි සිතා ගැනීමට පවා නොහැකිවය.

මේ ප්‍රහාර මාලාව අයි.එස්.අයි.එස්. අන්තවාදී සංවිධානයට අනුබද්ධව මෙරට ක්‍රියාත්මක වන ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් මෙම ප්‍රහාරවලින් එල්ල කළ බව පැයක් දෙකක් පමණ ගතවෙද්දි තහවුරු විය. මෙම කල්ලියේ මෙරට නායකයා කාත්තන්කුඩියේ පදිංචි මවුලවිවරයකු වූ සහරාන් හෂීම් බවට හඳුනා ගත් අතර, ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු අන්තවාදීන් දෙදෙනාගෙන් එක් අයකු ඔහු බව ද එදිනම තහවුරු කර ගනු ලැබීය.

මේ ප්‍රහාර එල්ල වී පැය හතරක් පහක් පමණ ගත වීමෙන් අනතුරුව රට පුරා ඇඳිරිනීතිය පැනවීමට එවකට බලධාරීහු කටයුතු කළහ. අනතුරුව රට පුරා සෝදිසි මෙහෙයුම් දියත් කැරිණි. මුස්ලිම් ජාතිකයන් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ මෙන්ම කොළඹ හා අවටත් රටේ ප්‍රධාන නගර සියල්ලත් ආවරණය වන පරිදි මෙම සෝදිසි ව්‍යාප්ත කෙරිණි. ඊට සාමාන්‍ය මහජනතාවගෙන් නොමඳ සහයක් ලැබිණි.

පොලීසිය, යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවත්, පොලිස් විශේෂ බළකායත් මෙලෙස මෙහෙයුම්වල යෙදෙද්දී නැඟෙනහිර පළාතේ මෙහෙයුම්වල නිරත භට පිරිසකට යම් තොරතුරක් ලැබෙන්නේ ප්‍රදේශවාසියකුගෙනි. එම තොරතුර වූයේ සහරාන් හෂීම්ගේ රියැදුරා ලෙස කටයුතු කළ මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ නොහොත් ගවුෆර් මාමා ධීවර සංස්ථාව පාර, නව කාත්තන්කුඩිය දරන ලිපිනයේ සැඟවී සිටින බව ය.

කාත්තන්කුඩි පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකට පසු දිනට අලුයම් වෙද්දි මොහු අත්අඩංගුවට ගැනීමට හැකි විය. ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ දෙදහස් දහඅට වර්ෂයේ නොවැම්බර් මස තිස්වනදා අලුයම වවුනතිව් පොලිස් මුරපොළේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කළේ තමන් ඇතුළු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කණ්ඩායමක් විසින් බව ය.

වැඩිදුර විමර්ශන සඳහා මොහු සී.අයි.ඩී.යට බාර කෙරිණි. අනතුරුව අනෙක් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේ සී.අයි.ඩී.යෙනි. කාත්තන්කුඩි ධීවර වරාය පාරේ පදිංචි අබ්දුල් මනාස් මොහොමඩ් ෆිරදාවුඩ් හා කාත්තන්කුඩිය එම්. ජේ. එච්. පටුමග පදිංචි හම්සා මොහිදීන් මෙලෙස අත්අඩංගුවට ගත් අතර, අනෙක් පුද්ගලයා වන මිල්හාන් යන අය ඒ වනවිට මක්කම වන්දනාවේ ගොස් ඇති බවත්, ඔහු යළි මෙරටට පැමිණීම සඳහා අබුඩාබියට ගොස් ඇති බවත් අනාවරණය විය.

 

අපරාධ රැසක සුලමුල හෙළි වේ

රඳවාගෙන කළ ප්‍රශ්න කිරීමේදී වවුනතිව් පොලිස් කොස්තාපල්වරු ඝාතනය ඇතුළු මොවුන්ගෙන් අපරාධ රැසක සුලමුල හෙළි කළේ ගෆුර් මාමාය. දෙදහස් දහනවයේ මාර්තු මස නව වැනිදා රාත්‍රියේ මාවනැල්ල ධනාගම ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකර තිබිණි. ඔහුට වෙඩි තැබුවේ කවුරුද කුමන හේතුවක් නිසා ද යන්න ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ කණ්ඩායම්වලට සොයා ගැනීමට හැකිව තිබුණේ නැත.

ප්‍රශ්න කිරීමේදී ගෆූර් මාමා පැවසුවේ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් නමැති එම පුද්ගලයාට වෙඩි තැබු‍වේ ඔහු සහරාන් ප්‍රමුඛ සංවිධානය ප්‍රතික්ෂේප කළ නිසා බවය. ඔහුට වෙඩි තැබුවේ වවුනතිව්හිදී ඝාතනය කළ පොලිස් නිලධාරීන්ගෙන් පැහැර ගත් රිවෝල්වර දෙකෙන් එකකින් බවත් පැවසුවේය.

ගෆූර් මාමාගේ මඟපෙන්වීමට අනුව මෙම රිවෝල්වර දෙක ද සොයා ගැනීමට හැකි විය. ඉන් එකක් සොයා ගත්තේ නින්දවුර්හි පවත්වාගෙන ගිය තව්හිද් ජමාත් සංවිධානයට අයත් ආරක්ෂක නිවාසයක සඟවා තිබියදීය. එම රිවෝල්වරය ඇතුළු තවත් අවි ආයුධ රැසක් එම නිවෙසේ තිබී සොයා ගැනිණි.

අනෙක් රිවෝල්වරය හමුවන්නේ වනාතවිල්ලුවේ මීට පෙර පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ සොයා ගත් වත්තෙනි. බැරලයක බහා ගෙවත්ත පිටුපස වළ දමා තිබූ අතර, එහි තිබී එම රිවෝල්වරයට අයත් ජීව පතරොම් පහක්, ටී-56 ගිනි අවියක්, එම පතරොම් විසිහතරක් සහිත මැගසිනයක්, විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ පිස්තෝලයක් සහ එම මැගසිනය, දේශීයව නිෂ්පාදිත රිවෝල්වර හයක් ඇතුළු උපකරණ එම බැරලයේ තිබී හමු විය.

මීට පෙර වනාතවිල්ලුවේ ඉ‍ඩමේ තිබී පුපුරණ ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය ඇතුළු ආයුධ සොයා ගත්තේ ද සී.අයි.ඩී.යමය. ඒ ඊට පෙර මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරුවලට අනුවය.

එදා බුදුපිළිම කැඩීමේ සිද්ධියේ විමර්ශන මාවනැල්ල කොට්ඨාසය බාරව සිටි පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් යුතුව එම කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු කණ්ඩායමක් අපූරුවට කරගෙන ගියේය.

විමර්ශන අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදී ඒ සඳහා ද සී.අයි.ඩී.ය යෙදවීමට එවකට බලධාරීන් කටයුතු කළේය. ඒ අනුව මාවනැල්ල බුදුපිළිම සිද්ධියේ විමර්ශන බාරගත් සී.අයි.ඩී.ය වනාතවිල්ලුව ඉඩමෙන් අවි සොයා ගත්තා මිස ඉන් එහාට ගැඹුරු විමර්ශනයක යෙදුණේ නැත. එළෙස කළේ නම් පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු අනිවාර්යයෙන්ම හෙළි කර ගැනීමට ඉඩ තිබිණි.

ඉන් අනතුරුව සිදු වූ වවුනතිව් ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සී.අයි.ඩී.ය විමර්ශන කරගෙන ගියේ රටේ තො‍ටේ ප්‍රචාරය වෙමින් තිබූ කටකතාවලට අනුවය. එනම් කාගේත් මුවින් පිට වූ “එල්.ටී.ටී.ඊ.යේ යළි පිබිදීම" ඉලක්ක කරගෙනය.

ඒ දවස්වල නැඟෙනහිර පළාත ආරක්ෂාව බාරව සිටි ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන්ගේ පවා මතය වී තිබුණේ මේක එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් කියලා. ඉතින් ඒ නිසා තමයි සී.අයි.ඩී.යත් ඒ මතයේ පිහිටලා විමර්ශන කළේ. කාටත් ඔය වගේ වැරදීම් වෙනවා. තායිලන්තයේ මනුස්සයෙක් අත්අඩංගුවට අරගෙන අවුරුදු 7ක් තිස්සේ හිරගත කරලා තිබිලා. මේ මෑතක තමයි මිනිහා නිවැරදිකාරයා කියලා ඔප්පුවෙලා තිබුණේ. ඔහොම දේවල් කා අතිනුත් වෙනවා. වවුනතිවු ප්‍රහාරයට අහුවෙච්ච අජන්තන් කියන හිටපු එල්.ටී.ටී.ඊ.කාරයගෙ නරක වෙලාව.

මීට සති කිහිපයකට පෙර මාගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් අලුත් සී.අයි.ඩී‍.යේ නිලධාරියකුගේ අදහස එසේ විය.

 

ඇත්ත එළියට ගැනීම

ආරක්ෂක බලධාරීන් තබා කවුරු කිව්වත් සී.අයි.ඩී.ය යනු අනුන් ගහන පදේට නටන හෝ පෙනෙන්නට තියෙන දෙය ඇත්ත යැයි, නිවැරැදි යැයි සිතන පිරිසක් නොවිය යුතුය. ඔවුන්ට විමර්ශන බාරදෙන්නෙ පෙනෙන දෙයින් ඔබ්බට ගොස් නොපෙනෙන නොදන්නා දේ සියුම් ලෙස විමර්ශනය කොට ඇත්ත එළියට ගැනීම සඳහාය.

එහෙත් එදා ඒ අතිදක්ෂ විමර්ශකයන් වවුනතිව් සිද්ධියට අත්අඩංගුවට ගෙන රඳවා තබා ප්‍රශ්න කරමින් සිටි අජන්තන් මෙම ද්විත්ව ඝාතනය කළ බවට ඔප්පු කරගෙන තිබිණි. ඒ බව නිවැරැදිව ඔප්පු කිරීම සඳහා අදාළ සාක්ෂි සියල්ල ද සොයාගෙන තිබිණි. එහෙත් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකොට රඳවාගෙනම සිට ඇත්තේ කෙදිනක හෝ ඔහු කොස්තාපල්වරුන්ගේ පිස්තෝලවලට සිදු වූයේ කුමක් දැයි කියන තුරුය.

පාස්කු ප්‍රහාරය එල්ල නොවුණා නම් ඔහු තවමත් සී.අයි.ඩී.යේය. නොඑසේ නම් හිරගෙදරය. ඒ ද්විත්ව ඝාතනයට එහා ගිය ත්‍රස්තවාදයට අදාළ ගොනු කළ නඩුවක ප්‍රධාන විත්තිකරු ලෙසය.

මිනිසුන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් රටට මහා විනාශයක් වී හෝ තමා නිවැරැදිකරුවකු බව ඔප්පු වීම ගැන ඔහු එදා නිදහස ලැබූ දිනයේ බොහෝ සෙයින් සතුටට පත්වන්නට ඇත.

නිදහස ලබා අධිකරණයෙන් එළියට පැමිණ ඔහු පවසා තිබුණේ තමන් මේ සිද්ධිය ගැන කිසිවක්ම නොදන්නා බව කොපමණ කීවත් සී.අයි.ඩී.ය තමා කී දේ පිළිනොගෙන ඔවුන් කියන දේ තමාට පිළිගන්නට කී බව ය.

“මම අමාරුවෙන් දියුණු වෙන්න උත්සාහ ගත් කෙනෙක්. මම බෝට්ටුවක් අරගෙන ධීවර රස්සාව කළේ. මාස හයකට වැඩි කාලයක් සී.අයි.ඩී. එකේ හිටපු නිසා මගේ ඒ ව්‍යාපාර සේරම නැති වෙලා ගියා. මම ආපහු හිඟන්නෙක් වුණා. පොලීසියට කියන්න මේ විදියට නිරපරාදේ අහිංසක මිනිස්සු අපරාධකරුවන් කරන්න යන්න එපා” කියලා.

ඔහු එදා මාධ්‍යවේදීන් ඉදිරියේ එලෙස පවසා තිබුණේය. මේ වලහා හාවා කිරීමේ සී.අයි.ඩී. න්‍යාය නිසා නිරපරාදේ අහිංසකයෙක් එල්ලුම් ගස් යන්නට ගොස් අනූනවයෙන් බේරුණු එක් අවස්ථාවක් පමණකි. එහෙත් එය අතිශය භයානකම බරපතළම අවස්ථාව බව කිව යුතුමය.

 

තක්ෂිලා ජ‍යසේකර

නව අදහස දක්වන්න