බිල්ඩින් කොන්ත්‍රාත් ගන්නවා වගේපරිවර්තන කරන්න බැහැප්‍රවීණ මාධ්‍යවේදි කරුණාරත්න අමරසිංහ | දිනමිණ

බිල්ඩින් කොන්ත්‍රාත් ගන්නවා වගේපරිවර්තන කරන්න බැහැප්‍රවීණ මාධ්‍යවේදි කරුණාරත්න අමරසිංහ

රාජ්‍ය සම්මානලාභී කෘතහස්ත ලේඛකයකු, පරිවර්තකයකු, භාෂා විශාරදයකු මෙන්ම මාධ්‍ය වේදියකු ද වන කරුණාරත්න අමරසිංහගේ නවතම පරිවර්තන කෘතිය ‘ඔබ නොදුටු ලෙනින්’ ය. තමාරා ඩොයිට්ස්චර්ගේ ‘Not by Politics Alone – The other Lenin’ නමැති කෘතිය පාදක කරගෙන පරිවර්තනය කළ ‘ඔබ නොදුටු ලෙනින්’ මඟින් පාඨකයා පෙර නොවූ විරූ අත්දැකීම් රැසක් අත්විඳියි. මේ කෘතිය මඟින් මෙතෙක් ඔබ දැන සිටි විප්ලවවාදී ලෙනින් වෙනුවට මානවවාදී හා සෞන්දර්යවාදී ලෙනින් ඔබ හමුවට පැමිණෙයි.

 

 ඔබට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කර දුන් හොඳම විශ්ව ‍කෙටිකතා කෘතිය වන ‘කාලයට ස්මාරකයක් සහ විදෙස් කෙටිකතා’ කෘතිය ලියැවුණේ 1999 වසරේ. ඉන් වසර විස්සකට පසු ‘ඔබ නොදුටු ලෙනින්’ පරිවර්තන කෘතිය පාඨකයා අතට පත් කළා. ඔබට ලේඛන කාර්යයේ නියැළීමට මෙතරම් කාලයක් ගත වුණේ ඇයි?

මම මීට පෙරත් විශ්ව කෙටිකතතා පරිවර්තන සංග්‍රහ කිහිපයක්ම කළා. එහි අවසන් කෘතිය වුණේ ‘කාලයට ස්මාරකයක් සහ විදෙස් කෙටිකතා’ යන කෘතිය. ඒවාට පස්සේ පරිවර්තන මඟ හැරුණේ ගුවන්විදුලියට හා රූපවාහිනී මාධ්‍යවලට අදාළ පාඨමාලා ආරම්භ කිරීම නිසයි. ඒනිසා මට පරිවර්තන කාර්යයෙන් ඈත් වෙන්න සිදු වුණා. පරිවර්තනය කියන්නේ ඉවක් බවක් නැතිව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහොම මහන්සියෙන්, කල්පනා කරලා කළ යුතු දෙයක්.

 

 කෘතියක් පරිවර්තනය කිරීම කෙතරම් භාරධුර කාර්යයක් ද?

වෙනත් කෙනකුගේ කෘතියක් අපේ භාෂාවට පරිවර්තනය කරනවා කියන්නේ වෙනමම කාර්යයක්. ඒ සඳහා, ඒ මුල් කෘතියේ භාෂාව හොඳට හදාරලා දැනගෙන සිටිය යුතුයි. අනෙක් කාරණය, භාෂාව දැනගත්තාටම පමණක් හරියන්නේ නැහැ. ඒ ලේඛකයා ගැන, ඔහුගේ වෙනත් කෘති කියවා, අධ්‍යයනය කිරීම මඟින් ඔහු ගැන දැන සිටිය යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍යයයි. ඒ වගේම, ඔහුගේ භාෂා භාවිතය කොහොමද යන්නත් ලේඛකයකු දැනගත යුතුයි. සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කියන්නේ ශබ්දකෝෂය බලලා වචනයෙන් වචනය පරිවර්තනය කිරීම නෙමෙයි. පෙත්සමක් වගේ දෙයක් නම් එහෙම කළ හැකියි. එහෙත් මෙවැනි කාර්යයකදි ඒ ලේඛකයාගේ බස් වහර අපේ බස් වහරට හරවන්න ඕනෑ. ඒ කියන්නේ ඒක භාවමය භාෂා පරිවර්තනයක් විය යුතුයි. එහෙම නැතිව එය පදගතාර්ථ පරිවර්තනයක් නොවිය යුතුයි. මුල් කෘතියේ භාෂාව ඇතුළේ තිබෙන හැඟීම් ධාරාව අපේ භාෂාවේ හැඟීම් ධාරාව බවට පරිවර්තනය විය යුතුයි. එහෙම නැත්නම් ඒක සිංහලෙන් කියවන පාඨකයාට දැනෙන්නේ නැහැ. ඒ නිසා, පරිවර්තනයක් කියන්නේ එක විදියක ප්‍රතිනිර්මාණ කාර්යයක්.

 

 ඒත්, වර්තමානයේ සිටින බොහෝ පරිවර්තකයන්ට, ඔබ පවසන තරම් කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ නේද?

ඒ ආකාරයෙන් කරන පරිවර්තනවලට කියන්නේ කොන්ත්‍රාත් පරිවර්තන කියලා. බිල්ඩින් කොන්ත්‍රාත් ගන්නවා වගේ එහෙම පරිවර්තන කරන්න බැහැ. මිනිසුන්ගේ ජීවිතයේ සිත්සතන් ගැන, හැඟීම් ගැන අත්දැකීම් සහිත කතා පරිවර්තනය කරන කොට, ඒ වගේ කොන්ත්‍රාත් ක්‍රමයට පරිවර්තනය කරන්න බැහැ. ඒක බොහොම ගැඹුරෙන් කරන්න ඕන වැඩක්. ඒ සඳහා භාෂා දෙකම හොඳට දැන සිටිය යුතුයි. ප්‍රංස කතාවක ඉංග්‍රීසි පරිවර්තනයක් ආශ්‍රයෙන් අප එය සිංහලට පරිවර්තනයක් කරනවා කියලා හිතන්න. එහිදී මුල්ම කෘතියේ ලියූ භාෂාව හෝ එය පරිවර්තනය වුණු අනෙක් භාෂාව හෝ අපේ පරිවර්තනය සඳහා භාවිත කරන්නේ නම්, ඒ මුල් භාෂා හොඳට හදාරා තිබිය යුතුයි. ඒ වගේ ම, අපේ භාෂාවත්; ඒ කියන්නේ අපේ සාහිත්‍ය භාෂාවත් හදාරා තිබිය යුතුයි. එහෙත් අද ඉන්න හැමෝම හිතන්නේ සිංහල දන්න බවයි. පොඩි කාලේ පටන් සිංහල කතා කරනවා; සිංහල කියවන්න පුළුවන්; සිංහල වාක්‍ය රචනා ලියන්න පුළුවන් නිසා ම, පරිවර්තනයක් කරන්න බැහැ. එහෙම කිරීමට නම් අපේ සිංහල සාහිත්‍ය භාෂාව හොඳට හදාරා තිබිය යුතුයි. කොන්ත්‍රාත් පදනම මත කරන, මාසයෙන් කරන පරිවර්තන බවට පත් වෙන්නේ, එහෙම නොවුණු අය කරන පරිවර්තනයි.

 

 ‘ඔබ නොදුටු ලෙනින්’ කෘතිය පරිවර්තනය සඳහා ඔබ තෝරා ගන්නේ තමාරා ඩොයිට්ස්චර්ගේ කෘතියක්?

තමාරා ඩොයිට්ස්චර් කියන්නේ වාමංශික ව්‍යාපාරයට සම්බන්ධ පෝලන්ත ජාතික කාන්තාවක්. ඇගේ සැමියා මහත් කීර්තියට පත් වුණු අයිසැක් ඩොයිට්ස්චර්. ඔහුගේ බිරියයි තමාරා ඩොයිට්සචර් කියන්නේ. ඈ මේ මාක්ස්වාදි නායකයන්ගේ ජීවිතය, දර්ශනය හොඳට හැදෑරුවා. මගේ මේ පරිවර්තන කෘතියට පාදක වුණු තමාරා ඩොයිට්ස්චර්ගේ ‘Not by Politics Alone – The other Lenin’ කෘතිය ලියන්න ඈ භාවිත කළේ, ලෙනින්ව හදාරන කාලයේ ලෙනින්ව ළඟින්ම ඇසුරු කළ අය හා ඒ අයගේ ලිපි ලේඛනයි. ලෙනින්ගේ වාහනය පැදවූ රියැදුරා, ලෙනින් සමඟ දේශපාලන කටයුතුවලදී ළඟින්ම ඇසුරු කළ විශ්වාසවන්ත අය, ලෙනින්ගේ බිරිය වැනි ලෙනින් ගැන අතැඹුලක් සේ දත් අයගේ ලිපි ලේඛනයි ඈ සිය කෘතියට ආශ්‍රය කර ගත්තේ. එහිදී තමාරා ඩොයිට්ස්චර්, ඔවුන්ගේ ලිපි ලේඛන මේ කෘතියට ආශ්‍රය කර ගත්තා. ඒ නිසා මෙතෙක් කිසිකෙනකු ලෙනින් ගැන නොදුටු, ලෙනින් ගැන නොඇසූ විරූ කතා මේ ලිපි සංග්‍රහයෙන් හෙළි වෙනවා.

 

 ඒ මොන වගේ තොරතුරු ද?

අප මෙතෙක් ලෙනින් ගැන දැනගෙන සිටියේ මේ ලෝකයේ බිහි වූ විශිෂ්ට ගණයේ විප්ලවාදී, සමාජවාදී නායකයකු විදිහටයි. එහෙත් ඔහු කෙතරම් සෞන්දර්යවාදී, දුර්ලභ ගණයේ නිහතමානී, සාමාන්‍ය මිනිසකු බව අප කිසිවකුත් දැනගෙන සිටියේ නැහැ. ඒ වගේම, මනුෂ්‍යයන්ට මානුෂීය ගුණයෙන් සැලකූ උදාර පුද්ගලයකුද යන්න ගැනත් කිසිවකු දැනගෙන සිටියේ නැහැ. එහෙත් ලෙනින් කියන රසිකයා, විචාරකයා, ලේඛකයා, සෞන්දර්යවාදියා, සෞන්දර්යකාමී අයට උදවු කිරීමට කැපවුණු පුද්ගලයා ගැන කිසිවකුත් දැන සිටියේ නැහැ. ලෝකයේ සිටින සියල්ලන් ඔහු විප්ලවාදියකු ලෙස හැඳින්වුවත්, තමන් කියන්නේ ලෝකයක් හොල්ලන විප්ලවයක් කළ නායකයකු යැයි ඔහු කිසිම දිනෙක සිතුවේ නැහැ. ඒ නිසා මේ කෘතියෙන් හෙළි වන්නේ, ලෙනින් කියන විප්ලවවාදියා ගැන නෙමෙයි. ලෙනින් නමැති මානවාදියාගේ හා සෞන්දර්යවාදියාගේ ජීවිතයයි. එහෙම නම් එවැන්නකුගේ මනුෂ්‍යත්වය, කලාකාමී බව ගැන මේ කෘතිය මඟින් තරුණ මාක්ස්වාදී විප්ලවාදීන්ට විවිධ පාඩම් රැසක් උගෙනීමට හැකි වේවි.

 

 මේ කෘතිය කියවන අපට හැඟෙන්නේ, ලෙනින්ගේ බිරිය නඩේෂ්ඩා කොන්ස්තන්තිනෝව්නා, ඔහු සෑම අංශයකින්ම හොඳින් තේරුම් ගත්ත බිරියක් විදිහට නේද?

ඈ බොහොම ශ්‍රේෂ්ඨයි. ලෙනින්ගේ දේශපාලනයෙදිත්, සටන්කාමී ව්‍යාපාරවලදිත් නොසෙල්වී සෙවණැල්ල වගේ සිටියේ කෘෘප්ස්කයායි. ඒ දෙන්නා අතර තිබුණේ දැඩි සම්බන්ධයක්. ඒත් ලෙනින්ට තවත් පෙම්වතියක් සිටියා. මේ ගැන වෙනත් කෘතිවල කියැවී තිබුණත්, ඒ තොරතුරු අප්‍රකටවයි පවතින්නේ. එහෙත් අපේ රටේ අය නම් ඒ ගැන කිසිවකුත් දන්නේ නැහැ. අනෙක් කාරණය නම්, ලෙනින් සම්බන්ධයෙන් කිසිවෙකුත් එවැනි කාරණයක් ගැන හිතන්නේවත් නැහැ. ඒත් එහෙම වුණා. ඒ ගැන මේ කෘතියේ සඳහන් වෙනවා. මේ පෙම්වතියගේ නම ඉනෙසා ආමන්ඩ්. ඈත් එක්ක ඔහුගේ තිබුණේ බුද්ධිමය ප්‍රේමයක්. ඒක හඬ නඟා කිව්ව, පැතිරුණු ප්‍රේමයක් නෙමෙයි. අවසානයේ ඉනෙසා ටයිෆස් උණ රෝගයෙන් මිය ගියා. ලෙනින් මේ අවමඟුල් පෙරහරටත් සහභාගි වුණා. මේ අවමඟුල් පෙරහරේ කඳුළු සලමින් ගමන් කරන ආකාරය මේ කෘතියේ බොහොම ලස්සනට පවසලා තිබෙනවා. ඒ මඟින් හෙළි වෙන්නේ, ලෙනින් නමැති මනුෂ්‍යා ගැනයි. විරහ වේදනාව කියන දේ දැනුණ මනුෂ්‍යා ගැනයි. ඔහු ඇතුළේ තිබුණු මානුෂීය ගුණාංගය ගැනයි.

 

 මේ බව ලෙනින්ගේ බිරියත් දැනගෙන සිටියා?

ඈ දැනගෙන සිටියා. ඒ විතරක් නෙමෙයි, එක්තරා දවසක කෘෘප්ස්කයා මේ ගැන ලෙනින් සමඟ කතා කළා. එහිදී ඈ පවසන්නේ ඇගෙන් වෙන්වී ඉනෙසත් එක්ක විවාහ වනවාට කැමැති බවයි. එසේ පවසා ඈ එවැනි තීරණයක් ගන්නා බව පවසන්නේ අනෙකක් නෙමෙයි. ඒ තරමටම ඈ ලෙනින්ට ආදරය කළ නිසයි. එහෙත් ලෙනින් ඇගෙන් වෙන්ව යන්නේ නැහැ. ඒ කටයුතු කළ ආකාරයෙන් අපට හෙළි වෙන්නේ, ලෙනින්ගේ බිරියගේ බුද්ධිමත් භාවයයි. මුහුකුරා ගිය බුද්ධියයි. ලෙනින්ට තිබුණු දැඩි ආදරයයි.

 

 ලෙනින් කියන්නේ තීක්ෂ්ණ විචාරකයකු බවත් මේ කෘතියෙන් පැවසෙනවා...

ඒ බව පෙනෙන්නේ ඔහු නවකතාකරුවන් ගැන, කවියන් ගැන පැවසූ දැඩි විවේචන මඟින්. ඉන් පෙනෙන්නේ ඔහුගේ බුද්ධිමත් භාවය ගැනයි. ලෙනින් තොල්ස්තෝයි ගැන අගය කළා වගේම ඔහුගේ දුර්වලකම් ගැනත්, පරස්පර විරෝධී තැන් ගැනත් විවේචනය කළා. තොල්ස්තෝයි වගේ ගැඹුරෙන් ලියන ලේඛකයකුගේ පොත් විවේචනය කරන්න ඔහු කොයිතරම් ගැඹුරින් කියවලා තිබිය යුතු ද? ඒ අනුව ලෙනින් කොයිතරම් පොත් කියෙව්වේ ද? යන්න ගැන සඳහන් වන ලිපියක් මේ කෘතියේ ඇතුළත්. එහිදී පවසන්නේ, ඔහු කියවන පොත් රැගෙන එන්නේ විල්බැරෝවකින් බවයි. කියවන පොත් ඉක්මනින් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් තිබුණු බවත් ඉන් කියැවෙනවා. මේ නිසා, නායකයකුට ඥාන පෝෂණය අවශ්‍ය බව වටහා ගත හැකියි. තවත් සමහර අවස්ථාවක ජයග්‍රහණයේදී එක් අවස්ථාවක යම් කෙනකු කතාවක් පවත්වනවා.

ඔහුගේ කතාව කිසිවකුටත් අහන් ඉන්න බැරි තරම් වර්ණනාවලින් හා බොහොම ආවේගයෙන් යුක්තයි. එතැනදි කිසිවක් නොපවසන ලෙනින්, පසුව පවසන්නේ ඔහු තවත් කතාවේම යෙදුණොත් නහරයක් පිපිරී මිය යා හැකි බවත්, ඒ නිසා කළ හැකි අදාළ වෙනත් කාරණයක් ඔහුට පවරන්නැයි කියායි. ඔහු ඒ අවස්ථාවේ විනාශ කළ හැකි වුවත්, ලෙනින් එහෙම කළේ නැහැ. ඔවුන් දෙස බැලුවේ බුද්ධිමත් ආකාරයෙන් හා මානුෂීය ගුණවලින් හෙබි කෙනකු විදිහටයි. මායාකොව්ස්කි කවියා කියන්නේ ද ලෙනින් ඇකැමැතිම කවියෙක්. ලෙනින් මේ කවියාගේ කවි විවේචනය කළා. ඒත් ඔහුට කිසිදු බලපෑමක් කරන්න පෙලඹුණේ නැහැ. ඒ මඟින් ඔහු අපට ප්‍රකාශ කරන්නේ, කුමන මතයක් දැරූවද නායකයකු බුද්ධිමතකු විය යුතු බවයි.

 

සාකච්ඡාව හා සේයාරුව

තිලානි ශානිකා විතානාච්චි

නව අදහස දක්වන්න