සිල් රෙදි නඩුව: අභියාචනා පෙත්සම්වල වැඩිදුර විභාගය කල් තබයි | දිනමිණ

සිල් රෙදි නඩුව: අභියාචනා පෙත්සම්වල වැඩිදුර විභාගය කල් තබයි

නෙල්කා මැදගෙදර

2015 ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක් වැය කිරීමෙන් තමන් පොදු දේපළ පනත යටතේ වරදකරුවන් කර වසර තුනක සිර දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ගොනු කළ අභියාචනා පෙත්සම්වල වැඩිදුර විභාගය හෙට (04) තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කෙළේය.

කුමුදුනී වික්‍රමසිංහ, දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් ඊයේ (02) කැඳවන ලදී.

ඉකුත් 2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක් වැය කර සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සහ කොමිසමේ සභාපති, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

නඩුව මුලින් විභාග කළ විනිසුරුවරයා විශ්‍රාම ගැනීම නිසා පසුව එය විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනිණි.

නඩු විභාගය අවසානයේදී එහි තීන්දුව දුන් විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් චෝදනා තුනටම වැරැදිකරුවන් බවට තීරණය කෙළේය. ඒ වෙනුවෙන් වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද දඩ මුදලක් සහ වන්දි මුදලක් ගෙවන ලෙස නියම කෙළේය.

සිර දඬුවම් නියම වූ විත්තිකරුවන් අභියාචනාධිකරණය විසින් දෙන ලද නියෝගයක් මත පසුව ඇප මත මුදාහරින ලදී.

තමන්ට සිර දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා මේ අභියාචනා පෙත්සම් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුණි.

මේ පෙත්සම් මීට පෙර කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා සහ නීතිඥ කාංචන රත්වත්තේ මහතා විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා දින දෙකකදී මීට පෙර කරුණු ඉදිරිපත් කෙළේය.

මේ පෙත්සම් ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් මෙසේ කීය.

මහජන මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සාක්කි ලබා දී තිබෙනවා. මහජන මුදල් වැය කරන එක ආකාරයක් තමයි ප්‍රතිපාදන, එහිදී එක් විශේෂ දෙයකට මුදල් වෙන් කරනවා. එය වැය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. අනෙක් ආකාරය නම් අක් මුදල් යන්නයි. අක් මුදල් යනු භෞතික වශයෙන් මුදල් පැවතීමයි. අක් මුදල් භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් සහ තැන්පත් මත ලැබෙන පොලිය ලෙස කොටස් දෙකකින් ලැබෙනවා. පෙර වසරේ ඇස්තමේන්තුව අනුව ඊළඟ වසරේ වියදම් සිදු කෙරෙනවා.

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ - හදිසි කාරණා සම්බන්ධ වැය කිරීම් කෙසේ ද?

නි. සො. ජනරාල්වරයා - එය වෙනස්. ඒ සඳහා මුලින් ඇස්තමේන්තු කළ යුතු නැහැ.

කෙසේ වෙතත් මෙහිදී අභියාචකයන් අධිකරණයට ඉදිරිපත් කර ඇති කාරණා අධිකරණය නොමඟ යවන සුලුයි.

මහාධිකරණ නඩු තීන්දුවකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ විට අධිකරණයේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණක් වෙනවා. එනම් අදාළ දඬුවම නියම කිරීමට තරම් සාක්කි ඉදිරිපත්ව තිබේ ද යන්නයි. එසේ සාක්කි ඇතිවිට අභියාචනය නිෂ්ප්‍රභ කළ හැකියි. එහෙත් සාක්කි ප්‍රමාණවත් නැති විට අධිකරණ ක්‍රියාවලියේදී යුක්තිය ඉටුවීමේදී වරදක් සිදු වී තිබේ ද යන්න විමසා බැලිය යුතුයි. මේ නඩුවේදී රුපියල් මිලියන 600ක් විත්තිකරුවන්ගේ පෞද්ගලික පරිහරණයට ගත්තා ද, නැද්ද යන්න අධිකරණයේ පවතින ප්‍රධාන කරුණ නොවෙයි. මේ මහජන මුදල් වංකව වැය කිරීමයි චෝදනාව වන්නේ.

පැමිණිල්ල විසින් ඔප්පු කිරීමට උත්සාහ කළේ මේ මුදල් වංක භාවිතය යන්නයි. මේ නඩුවේ 1 වන විත්තිකරු වූ ටී. ආර්. සී. අධ්‍යක්ෂ ජනරාල්වරයා මිලියන 600 ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ බැංකු ගිණුමට බැර කර ඇත්තේ වංක සහගතවයි. ටී. ආර්. සී. මුදල් ටී. අර්. සී. යට හැර වෙනත් වැඩවලට ගත නොහැකියි. එය රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක්.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් මෙන්ම මූලික රාජකාරී පැහැදිලි කර තිබෙනවා. සෑම පුද්ගලයකුම ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතු මෙන්ම පොදු දේපළ ආරක්ෂා කිරීම සහ පොදු දේපළ වැරැදි ලෙස භාවිතා කිරීම නොකළ යුතුයි. ටී. ආර්. සී. යනු පොදු දේපළක්. ඒ සම්බන්ධ සැකයක් නැහැ. ටී. ආර්. පී. පනත අනුව එහි මුදල් වැය කළ හැක්කේ එහි කටයුතුවලට පමණයි. ඊට පටහැනිව වංක මුදල් වැය කිරීම 1 වන විත්තිකරුට එරෙහිව තිබූ ප්‍රබල චෝදනාවක්. එය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමේ වගකීම පැමිණිල්ල සතුව තිබුණා. මේ මිලියන 600 ක මුදල වැය කිරීම නීති විරෝධීයි. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් වුවත්, එලෙස කාලයක සිට පැවත එන පුරුදු තිබුණත් එය නීතිය ඉක්මවා යාමට කාරණා නොවෙයි. මිලියන 600 ක් විදුලි සංදේශ නියාමන කොමිසම හෙවත් ටී. ආර්. සී. නොවන යමකට වියදම් කිරීම වංක ලෙස පරිහරණය ‍කිරීමක්.

දෙවන විත්තිකරු වූ ජනාධිපති ලේකම්වරයාට තිබුණේ ‍වංක ලෙස මේ මුදල වැය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවයි. එහිදී ඔහු 1 වන විත්තිකරුට මෙන්ම කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපි දෙකක් යවා තිබෙනවා. එම ලිපි පරීක්ෂා කිරීමේදී ලිපි දෙකේම එකම වගන්තියක් ඇතුළත් කර තිබෙන බව තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත්තේ මිල ගණන් කැඳවන ලෙසයි. ඔක්තෝබර් 30 දිනැති මේ ලිපියෙන් ඔහු දක්වා තිබෙන්නේ එක් අයෙකුට සිල් රෙදි මීටර් පහ බැගින් ලබාදීමට අවශ්‍ය මුදල් අනුග්‍රහය ටී. ආර්. සී. එකෙන් ලබා ගැනීමට තීරණය කළ බවත්, එම මුදල් බැර කිරීමට කටයුතු කරන ලෙස එම ලිපිය මගින් 2 වන විත්තිකරු පළවන විත්තිකරුට දන්වා තිබෙනවා. එම කොමිසමේ සභාපතිවරයා 2 වන විත්තිකරුයි. එම මුදල් අනුග්‍රහය ලබා ගැනීමට තීරණය කළේ කවුරුන් ද යන්න පැහැදිලි නැහැ. එහෙත් එය අනුග්‍රහයක් නොවෙයි. ප්‍රදානයක් ලබාදීමක්. දෙවන විත්තිකරු ජනාධිපති ලේකම් ලෙස කටයුතු කරද්දී මෙය ණය මුදලක් ලෙස සැලකීමටත්, ටී. ආර්. සී. සභාපති ලෙස කටයුතු කරද්දී මෙය මූල්‍ය ප්‍රදානයක් ලෙස සැලකීමටත් කටයුතු කර තිබෙනවා. එකම මුදලක් සම්බන්ධයෙන් දෙයාකාරයකට කටයුතු කළ නොහැකියි. එය වැරැදියි.

දෙවන විත්තිකරු 15-10-2019 දින තබා ඇති සටහනක් අනුව ප්‍රතිපූරණය කිරීමේ පදනම මත මේ මුදල් ටී. ආර්. සී. එකෙන් ලබා ගැනීමට කටයුතු කරන බව දක්වා තිබෙනවා. ඒ අනුව එම මුදල් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමට ලැබී තිබෙනවා. 2015 මුල් කාර්තුවේ මිලියන 200 ක් වත් ප්‍රතිපූරණය කිරීමට කටයුතු කරන ලෙස දෙවන විත්තිකරු ප්‍රධාන ගණකාධිකාරීවරයාට උපදෙස් දී තිබෙනවා.

2014 නොවැම්බර් මස 30 ටී. ආර්. සී. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් තිබුණත් 2 වන විත්තිකරු ඊට සහභාගි වී නෑ. ඊළඟ රැස්වීම තබා ඇත්තේ දෙසැම්බර් මස 15 වැනිදායි. එහෙත් එම රැස්වීමට පෙර දෙසැම්බර් 05 වැනිදා මුදල් බැර කර තිබෙනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් තොරවයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනාගෙන් හතරදෙනකු 15 වැනිදා රැස්වීමට සහභාගි වී තිබෙනවා. එහිදී තීරණ 3 ක් ගෙන ඇති අතර මිලියන 600ක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙවීම එහි පළමුවැන්නයි. එහෙත් ඒ වන විටත් එම මුදල් ගෙවා අවසන්. එම සටහන් අනුව එය ණය මුදලක් නොවෙයි ප්‍රදානයක්. දෙවන විත්තිකරුගේ දැනුම්දීම හැර කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් දෙසැම්බර් 05 වන විට ලැබී නැහැ. එවැනි තත්ත්වයක් තුළ මිලියන 600ක් බැර කිරීම මහජන මුදල් වංක ලෙස සාපරාධී පරිහරණය කිරීමක්. පළවන විත්තිකරුට ඇති එම චෝදනාව ඔප්පු කිරීමට එය වුවත් ප්‍රමාණවත්. දෙවන විත්තිකරු එම මුදල් බැර කරන ලෙස දැනුම් දීමෙන් කර ඇත්තේ මහජන මුදල් වංක ලෙස සාපරාධී පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීමක්. එය දෙවැනි විත්තිකරුට එරෙහිව තිබූ චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත්.

වාචික එකඟවීම් මත මහජන මුදල් වැය කළ නොහැකියි. එයට නියමිත ක්‍රියා පටිපාටියක් තිබෙනවා. එම ක්‍රියා පටිපාටියට පටහැනිව යමින් මේ විත්තිකරුවන් දෙදෙනාම මහජන මුදල් වංක සාවද්‍ය පරිහරණය කිරීම යන කරුණ සිදු කර තිබෙනවා. පූර්ව අනුමැතියකින් තොරව ටී. ආර්. සී. මුදල් වෙනත් කරුණකට යෙදවීම ටී. ආර්. සී. එකට කළ පිරිමැසිය ‍නොහැකි පාඩුවක්. විත්තිකරුවන් පැහැදිලි ලෙසම නීතිය උල්ලංඝනය කර ඇති බව පෙන්වා දීමට මේ සාක්කි සියල්ල ප්‍රමාණවත්.

දෙවන විත්තිකරු 2014 දෙසැම්බර් 29 වැනි දින ප්‍රධාන ගණකාධිකාරිවරයා වෙත යැවූ සටහනකින් සඳහන් කර ඇත්තේ 2015 වසර සඳහා වන ප්‍රතිපාදන ලැබූ විට මිලියන 600 ක් ටී. ආර්. සී. වෙත ගෙවීමට ‍කටයුතු කරන ලෙසයි. 2015 සඳහා 2014 වසරේ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් අතුරු සම්මත ගිණුම අනුව ඔවුන්ට ලැබී ඇත්තේ බිලියනයක් පමණයි. එම බිලියනයෙන් මිලියන 600ක් ගෙවන ලෙසයි මෙලෙස 2 වන විත්තිකරු උපදෙස් දී ඇත්තේ. එය නීති විරෝධියි. අතුරු සම්මත ගිණුමේ මුදල් වැය කළ හැක්කේ ඉදිරි මුදල් වර්ෂයට මිස ගෙවුණු වර්ෂයට නොවෙයි. 2014 සිල් රෙදි ව්‍යාපෘතියට වැය කළ මිලියන 600 ක් 2015 ප්‍රතිපාදනවලින් අඩු කළ නොහැකියි. එය අතුරු සම්මත ගිණුමට ‍පටහැනිව කටයුතු කිරීමක්.

මේ සිද්ධියේදී විත්තිකරුවන් දෙදෙනාම කටයුතු කර ඇත්තේ මේ මිලියන 600 ටී. ආර්. සී. තීරණයක් මත කරනු ලබන ප්‍රදානයක් ලෙස සැලකීමටයි.

මේ මුල් ලබා ගැනීමට පෙරම ඔක්තෝබර් 30 වැනිදා 2 වන විත්තිකරු ‍කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලියා තිබෙනවා සැපයුම්කරුවන් තෝරා ගන්නා ලෙස. ඒ වන විටත් මුදල් ලැබී නැහැ. මිලියන 600ක් ලබාදීමට ටී. ආර්. සී. අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනා අනුමැතිය ලබාදීම ගැන 2 වන විත්තිකරුට ඇති සහතික කුමක් ද? එවැනි සහතිකයක් නැතිව කෙලෙස ද ඇණවුම් තෝරා ගන්නේ. 2 වන විත්තිකරු දැන සිටියා.

පළමුවන විත්තිකරු ඔහුගේ නියෝග කෙසේ හෝ පිළිපදින බවට කිසිදු අනුමැතියකින් තොරවත් මුදල් ලබා ගැනීමට තීරණය කළ බව ඔහු පළමුවන විත්තිකරුට දන්වා ඇත්තේ ඒ නිසයි. පළමුවන විත්තිකරු සමඟ මිලියන 600 ක් සාවද්‍ය වංක පරිහරණය කිරීම යන්න සනාථ කිරීමට මේ කරුණත් ප්‍රමාණවත්. මේ ගෙවීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි.

පැමිණිල්ලේ ස්ථාවරය වූයේ මේ සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතිය 2015 පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගත්තක් බවයි. එහෙත් විත්තිය පෙන්වාදීමට උත්සාහ කළේ එම ව්‍යාපෘතිය ජනාධිපතිවරණයට බොහෝ කලකට පෙර එනම් 2014 මාර්තු මස සිට සැලසුම් කළ එකක් බවයි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ අනුර සිරිවර්ධන මහතා මහාධිකරණ නඩු විභාගයේදී සාක්කි ලබා දුන්නා. 11.11.2014 දින ඔහු මිල ගණන් සහ සැපයිය හැකි ප්‍රමාණයන් 02 වන විත්තිකරුට දන්වා යවා තිබෙනවා. ඔවුන්ට සියලු සිල් රෙදි දෙසැම්බර් මස 15 වන විට අවශ්‍යව තිබුණා. මාර්තු මස මෙය සැලසුම් කළා නම් වෙසක් හෝ පොසොන් පොහොය දිනවල එය සිදු කළ හැකිව තිබුණා. එහෙත් දෙසැම්බර් 15 වන විට එය සිදු කිරීමට උත්සාහ කළේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනමයි.

සාධාරණ හා නිදහස් මැතිවරණයක් තහවුරු කිරීමට අවශ්‍ය චක්‍රලේඛයක් 2014 නොවැම්බර් මස 22 දින නිකුත් කර තිබුණා. ටී.ආර්.සී. අයත් වන්නේ ව්‍යවස්ථාපිත මණ්ඩල යන්නටයි. ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ආයතන, රජයේ මුදල් වැය කර ජංගම සේවා පැවැත්වීම ආදිය ජනාධිපතිවරණ අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බව එහි සඳහන් වුණා. මැතිවරණ කොමසාරිස්වරයා මහාධිකරණයේදී සාක්කි ලබා දුන්නා. මේ සිල් රෙදි බෙදා දීම සඳහා වෙන් වෙන්ව ඇසුරුම් කර තිබුණා. එම සෑම පැකට්ටුවක් ඇතුළතම මැතිවරණ අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන පත්‍රිකාවක් ඇතුළත් කර තිබුණා.

මැතිවරණ කොමසාරිස්වරයා මෙය දැක තිබුණා. ඔහුට පැමිණිල්ලක් ලැබී තිබුණා.

නීතිඥ කාංචන රත්වත්තේ මහතා - ඒ වෙලාවේ ඔහුට එය නතර කළ යුතුව තිබුණා. එය නීති විරෝධී නම්.

විනිසුරු දේවිකා අබේරත්න - ඒ වෙලාවේ එවැන්නක් කළ හැකි ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා - සෑම පැකට්ටුවකම එය ඇතුළත්ව තිබුණා.

නීතිඥ කාංචන රත්වත්තේ මහතා - අප කළේ මේ ව්‍යාපෘතියට මුදල් ලබාදීම පමණයි. ඇසුරුම් කිරීම බෙදා හැරීම අප කළේ නැහැ.

නි.සොලිසිටර් ‍ජනරාල්වරයා - මැතිවරණ කොමසාරිස්වරයා සාක්කිවලදී මෙය හඳුනා ගත්තා. මේ සිල් රෙදි බෙදා දීමේ ක්‍රියාවලිය ඔහුගේ චක්‍රලේඛය උල්ලංඝනය කිරීමක්. 2015 ජනවාරි මස 03 වැනි පොහොය දින මේ සිල් රෙදි බෙදා දුන්නා. එය තෑග්ගක්. ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර මේ සිල් රෙදි බෙදා දීම සිදු කර තිබුණා. ජනාධිපතිවරණය අවසන් වන තෙක් සතියක් පමණ ඉවසා සිටීමට නොහැකි වූයේ ඇයි? මෙය ව්‍යාපෘතියක් නොවෙයි තෑගි බෙදාදීමක්. දෙවන විත්තිකරුට හොඳින්ම අවස්ථාව තිබුණා මෙය සතියකට හෝ දෙකකට අත්හිටුවීමට. එහෙත් දේශපාලන අරමුණකින් සිටි නිසා තමයි එය සිදු නොකළේ.

මෙය ජනාධිපතිවරණ මැතිවරණ පනත ද සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්. පළමුවන හා දෙවන විත්තිකරුවන් රාජ්‍ය සේවකයන් ලෙස කටයුතු කිරීමේදී නීති විරෝධීව කටයුතු කිරීම නීතියක් බවට පත්ව තිබූ බව පෙනී යනවා.

ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු - 02 වන විත්තිකරු රාජ්‍ය නිලධාරියෙක් නොවෙයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - නෑ. ඔහු රාජ්‍ය සේවකයෙක්. ඔහුට මේ ව්‍යාපෘතිය කල් දැමීමේ පූර්ණ හැකියාව තිබුණා. එහෙත් ඔහු නීති විරෝධීව කටයුතු කළා. එක් විශේෂ නීතියකට මුවා වී මෙම චෝදනාවලින් ගැලවීමට දෙවන විත්තිකරුට බැහැ.

වැඩිදුර කරුණු සලකා බැලීම 04 වැනිදාට කල් තැබිණි.

නව අදහස දක්වන්න