USAID වෙතින් Portable ventilators යන්ත්‍ර 200ක් පරිත්‍යාග කෙරේ | දිනමිණ

USAID වෙතින් Portable ventilators යන්ත්‍ර 200ක් පරිත්‍යාග කෙරේ

සන්ධ්‍යා කරුණාරත්න

කොවිඩ් - 19 රෝගයට ප්‍රතිකාර කිරීමට Portable ventilators යන්ත්‍ර 200ක් පරිත්‍යාග කිරීම අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සියෙන් (USAID) සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ඊයේ (02) ලබාදීම සිදු කෙරිණි.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මේ පරිත්‍යාගය, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් (Ms.AlainaTeplits) මහත්මිය අතින් සිදු කෙරිණි.

එක්සත් ජනපදයේ නවීන තාක්ෂණයට අනුව නිෂ්පාදිත මේ උපකරණ කොවිඩ් -19 වයිරසයෙන් පීඩාවට පත් රෝගී ප්‍රතිකාර සේවාවන්ට පහසුවෙන් යෙදවිය හැකිය. එක්සත් ජනපද රජය 1956 සිට ශ්‍රී ලංකාවට සංවර්ධන හා මානුෂීය ආධාර සැපයීම සිදු කරයි. පසුගිය වසර 20 තුළ එක්සත් ජනපදය ඩොලර් මිලියන 26කට වැඩි සෞඛ්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

මෙහිදී සෞඛ්‍ය ඇමැතිනිය මෙසේ අදහස් දැක්වීය.

‘ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 සඳහා වූ උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම මත පදනම්ව USAIDS ඇතුළු විවිධ සංවර්ධන හවුල්කරුවන්ගෙන් ලැබුණු සහයෝගය අගය කරනවා. කොවිඩ් -19 ආසාදනයේ ප්‍රකට සංකූලතාවක් වන නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට සිදු කරන ප්‍රතිකාර සේවාවලදී Portable ventilators (අතේ ගෙන යා හැකි, වාතාශ්‍රය ලබා දිය හැකි උපකරණ) අත්‍යාවශ්‍යයි. එම උපකරණ 200ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරමින් මේ අවස්ථාවේදී සහයෝගය ලබාදීම පිළිබඳව එක්සත් ජනපදයේ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඒජන්සියටත් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මියටත් අපේ රජය සහ ජනතාව වෙනුවෙන් කෘතඥතාව පළ කරනවා.

කොවිඩ් ආසාදිතයන්ගේ ජීවිත බේරාගැනීමට මහෝපකාරී වන මේ Portable ventilators යන්ත්‍ර මෙරට ද්විතීයික හා තෘතීයික මට්ටමේ රෝහල් අතර බෙදා හැරීමට නියමිතයි. මේ පරිත්‍යාගය මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීමට ශක්තියක්.‘

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොලොම්බගේ, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය එස්. එච්. සංජීව මුණසිංහ, වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන්, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න