මිරිස්ස ධීවරයන්ගේ වදහිංසාවට පත් ශෙහාන් ප්‍රමෝද් දරුවාට නව නි‍වෙසක් | දිනමිණ

මිරිස්ස ධීවරයන්ගේ වදහිංසාවට පත් ශෙහාන් ප්‍රමෝද් දරුවාට නව නි‍වෙසක්

පවුලේ කුමන ආර්ථික ප්‍රශ්න තිබුණද, දරුවන්ගේ ළමා කාලය උදුරා ගැනීමට කිසිවකුටත් ඉඩක් නොමැති බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ වැලිගම, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් ධීවරයන් පිහිසකගේ කුරිරු වදහිංසාවට ලක්ව නිවසේ ප්‍රතිකාර ලබන 17 හැවිරිදි ශෙහාන් ප්‍රමෝද් දරුවාගේ සුවදුක් විමසීමට 31දා එම දරුවාගේ නිවසට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී දරුවාගේ නිවස තනා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පවුලේ අය වෙත ලබා දුන් අමාත්‍යවරයා, නිවසේ ඉදිකිරීමේ කටයුතු අධීක්ෂණය කරමින් ඊට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස කොටවිල පොලිස් ස්ථානාධිපති, ආර්.සී. හෙට්ටිආරච්චි මහතා ගෙන් ඉල්ලීමක් ද කළේය. එම ඉල්ලීම පරිදි ඉතා කඩිනමින් ප්‍රජා පොලිස් ඒකකය සම්බන්ධකර ගනිමින් නිවස තනා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් ස්ථානාධිපතිවරයා මෙහිදී පැවසීය. පෙර පාසල් අවධියේ පසු වන ශෙනායා කෞෂල්‍යා දැරියටද විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කළ අමාත්‍යවරයා, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.

''දරුවාගේ ළමා කාලයේ හොඳ අධ්‍යාපනයක් ලැබීමටත් නිදහසේ ජීවත් වීමටත් ඉඩ දිය යුතුයි. ඇතැම් මවිපියන් ඒ ගැන නිවැරැදි අවබෝධයකින් කටයුතු කරන්නේ නැහැ. මේ හේතුවෙන් අපේ රටේ ඇතැම් දරුවන්ට ඛේදනීය ඉරණමකට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. දෙමවිපියන්, දරුවන් ඇස් දෙක වගේ රැක බලා ගත යුතුයි. ඔවුන්ගේ වටිනාම සම්පත විය යුත්තේ දරුවායි. එසේ නොකරන මව්පියන් මව්පියන් ලෙස සැලකිය නොහැකියි. ආර්ථික වශයෙන් ජීවත් වෙන්නට අපහසුතා තිබේනම්, ඊට අවශ්‍ය විසඳුම් ලබා දීමට රජයේ නිලධාරීන් ඉන්නවා. තම ආර්ථික අපහසුතා පිළීබඳව ඔවුන් දැනුවත් කළ යුතුයි. ඒ වගේම තම ප්‍රදේශයේ දේශපාලනඥයන්ද ඒ පිළිබඳව දැනුන් දිය යුතුයි. ඒ සඳහා අමාත්‍යාංශ මඟින් විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කෙරෙනවා. හොද දරු පරපුරක් නිර්මාණය කිරීමේ භාරධූර කාර්යය වෙනුවෙන් වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කරන්න ඔවුන් බැඳී සිටිනවා. දරුවන් වෙනුවෙන් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමට අප සියලු දෙනා කැප විය යුතුයි. රාජ්‍ය මුදල් නොගෙන පෞද්ගලික මුදල් පරිත්‍යාග ලබා ගනිමින් මේ කටයුතු ක්‍රියාත්මක කළා.

පවුල්වල පවතින දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් බාල වයස්කාර දරුවන් ශ්‍රමිකයන් ලෙස යෙදවීමෙන් මෙවන් ඛේදනීය තත්ත්වයන් දකින්නට ලැබෙනවා. නීතියෙන් දඬුවම් කිරීමෙන් පමණක් මෙවැනි ප්‍රශ්නවලට විසදුම් ලබා දිය නොහැකියි. මේ පවුල්වල ආර්ථිකය හොද මට්ටමට ගත යුතුයි. එසේම දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දිය යුතුයි.

මේ දරුවාගේ නිවස තනා ගන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. කොටවිල පොලිස් ස්ථානාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ප්‍රජා පොලිස් ඒකකය මඟින් මේ කටයුත්ත ක්‍රියාත්මක කරනවා. මෙම පවුලේ කුඩාම දරුවා වන කෞෂල්‍යාට විශ්ව විද්‍යාලය දක්වාම අධ්‍යාපනය ලබන්න අවශ්‍ය ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. එය මාස්පතාම අවුරුදු 20 ක් දක්වාම ක්‍රියාත්මක වෙනවා. මෙහි ග්‍රහමූලිකාව වන දරුවාගේ මවටත් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න අවශ්‍ය පහසුකම් ලබා දී, පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා.

ටී.කේ.මහින්ද - වැලිගම සමූහ

නව අදහස දක්වන්න