ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අගමැති හමු වෙයි | දිනමිණ

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අගමැති හමු වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) හමු විය. “පසුගිය මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ අගමැති ධුරයට නැවත පත්වීම පිළිබඳව ඔබට සුබ පතන බව තානාපති සුගියාමා මහතා අගමැතිවරයාට පැවසීය. ජපාන අග්‍රාමාත්‍ය සිං ෂෝ අබේ සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ ජපාන රජයේ නියෝජිත යසුෂි අකාෂි යන මහත්වරුන්ගේ සුබ පැතුම් ලිපි දෙකක් තානාපතිවරයා විසින් අගමැතිවරයාට බාර දුන්නේය. කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාව මැතිවරණයක් පැවැත්වීම “ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය පැහැදිලිව පෙන්නුම් කරන” බව තානාපති සුගියාමා මහතා කීවේය. දෙරටේ දූත පිරිස නව රජයේ ප්‍රමුඛතා පිළිබඳව ද සාකච්ඡා කළ අතර එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිත පානීය ජලය සැපයීමේ අවශ්‍යතාව පිළිබඳව එහිදී අවධාරණය කළේය. යටිතල පහසුකම්, ජලය, අපජල කළමනාකරණය, කෘෂිකර්මාන්තය, මානව සම්පත් සංවර්ධනය සහ ත්‍රස්තවාදය පිටුදැකීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක මෙරට මැදිහත්වීම ගැන ජපාන තානාපතිවරයා අගමැතිවරයාට දැනුම් දුන්නේය.

නව අදහස දක්වන්න