ජනාධිපති කොමිසමේ ලේකම්ට ගොනු කළ මෝසම් 2ක් ඉවත දමයි | දිනමිණ

ජනාධිපති කොමිසමේ ලේකම්ට ගොනු කළ මෝසම් 2ක් ඉවත දමයි

නෙල්කා මැදගෙදර

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම කරන ජනාධිපති විමර්ශන කොමිසමට ඉදිරිපත් වූ සාක්‍ෂි සටහන් සහ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොමිසමේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මෝසම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ බුවනෙක අලුවිහාරේ, සිසිර ආබ්රූ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී. බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට නිසා එවකට සිටි ජනාධිපතිවරයා, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු බලධාරීන් විසින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක මහතා විසින් මේ මෝසම් ඉදිරිපත් කර තිබුණි.

මේ මෝසම් දෙක ඊයේ (03)කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පර්සානා ජමීල් මහත්මිය සඳහන් කළේ ජනාධිපති කොමිසමට එවැනි නියෝගයක් කිරීමට තරම් නීතිමය ප්‍රතිපාදන නැති බවය.

ජනාධිපති කොමිසමට ඉදිරිපත් වන සාක්ෂි හෝ කරුණු ජනාධිපතිවරයා වෙත යොමු කිරීම මිස වෙනත් අයකු හෝ ආයතනයක් වෙත යොමු කළ නොහැකි බව ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ මේ ජනාධිපති විමර්ශන කොමිසමට ඉතා වැදගත් සාක්ෂි මෑත කාලීනව ඉදිරිපත් වූ බවය.

සාක්ෂි මේ පෙත්සම් විභාගයේදී වැදගත් විය හැකි බැවින් එම සාක්ෂි සටහන් සහ තොරතුරු අධිකරණයට කැඳවන ලෙස නියෝග කරන්නැයි හෙතෙම ඉල්ලා සිටියේය.

සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද එම කරුණු සම්බන්ධයෙන් එකඟත්වය පළ කළහ. කරුණු සලකා බැලූ සත් පුද්ගල විනිසුරු මඬුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

නව අදහස දක්වන්න