එල්ලේ නිලවරණය අමුතු නීතියකින් | දිනමිණ

එල්ලේ නිලවරණය අමුතු නීතියකින්

ප්‍රින්ස් ගුණසේකර

*  ප්‍රතික්ෂේප වූ නාම යෝජනා 7ක් අභියාචනා නැතිව පිළිගනියි
*  සභාවට පැමිණි සියලු දෙනාටම ඡන්ද අයිතිය දීලා

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනකු සහභාගී වී සිටියදී ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය එල්ලේ ව්‍යවස්ථාවට හා ක්‍රීඩා නීතිරීතිවලට පටහැණිව පැවත්වා ඇතැයි එල්ලේ ප්‍රවීණයෝ චෝදනා කරති.

පසුගියදා පෙරවරු 10ට කඩවත පිහිටි උත්සව ශාලාවකදී පැවැති නිලවරණයේදී ප්‍රතික්ෂේප වූ නාම යෝජනා 7කට කිසිදු අභියාචනා විභාගයකින් තොරව මහා සභා යෝජනා සම්මතයකින් තනතුරු පිරිනැමීම හා ඡන්ද අයිතියට නිසි ගරුත්වයක් නොදී සභා ශාලාවට ඇතුළු වූ සියලු පුද්ගලයන් ඡන්දදායකයන් ලෙස පිළිගැනීම හේතුවෙන් එල්ලේ නිලවරණය නීති විරෝධී බව ප්‍රකාශ කරමින් එල්ලේ ප්‍රවීණයෝ පිරිස ක්‍රීඩා අමාත්‍යාංශය වෙත විරෝධතාවක් ගොනු කිරීමේ සූදානමකින් පසුවේ.

උප සභාපතිවරු හා විධායක සභික තනතුරු කිහිපයක් වෙනුවෙන් නාම යෝජනා භාර දුන් විපුලසිරි සිල්වා (සහනගම ගැමුණු), ආර්.පී. ජයරත්න (තොටලග මයුර), ලයනල් ජෝතිරත්න (කොටහේන නවරැල්ල), ඒ.පී.ටී. විජේවීර (පහළයාගොඩ දීප්ති), ආර්.එල්.කේ. මදුරප්පෙරුම (මුදුන්ගොඩ හංස), සරත් ක්‍රිෂාන්ත (කෙරවලපිටිය මුදිත) හා ලාවුස් දසනායක (කෙරවලපිටිය මුදිත) යන මහත්වරුන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කළ බවට එල්ලේ සම්මේලනයේ හිටපු ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබූ අතර, එම පිරිසට අභියාචනා නැතිව මහා සභා යෝජනා සම්මතයකින් තනතුරු පිරිනමා ඇත. අභියාචනාවක් විභාග නොකොට මහා සභා යෝජනා සම්මතයකින් තනතුරු පිරිනැමීම කිසි ලෙස කළ නොහැකි දෙයක් බවත් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ අවස්ථාවකදී ක්‍රීඩා ඇමැතිවරයා වෙත අභියාචනාවක් යොමු කොට සාධාරණය අපේක්ෂා කළ යුතු බවත් විරෝධතාව මගින් අවධාරණය කර සිටී. ඒ බව පැහැදිලිව ක්‍රීඩා රෙගුලාසිවල සඳහන්ව තිබියදී මහා සභා යෝජනා සම්මතයකින් තනතුරු පිරිනැමීමේ තීරණය කවුරුන් විසින් ගන්නා එකක් ද යන්න එල්ලේ ප්‍රවීණයෝ විමසා සිටිති.

ඡන්ද අයිතියට නිසි ගරුත්වයක් නොදී ඇතුලු වූ සියලු පුද්ගලයන් පිළිගැනීම හේතුවෙන් එල්ලේ නිලවරණය නීති විරෝධී තත්ත්වයකට පත්වූ බව ද එල්ලේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ 184ක් ඇති අතර, මෙවර නිලවරණයට අදාළ නාම යෝජනා විවෘත කරන අවස්ථාවේදී ඡන්ද අයිතිය ඉල්ලා අයැදුම්පත් එවූ ක්‍රීඩා සමාජ ගණන 23කි. එබැවින් නිලවරණයට ක්‍රීඩා සමාජ 23ක ඡන්ද හිමි නියෝජිතයන් සුදුසුකම් ලබා සිටියහ. එම සංඛ්‍යාව එල්ලේ ව්‍යවස්ථාව අනුව නිලවරණයක් පැවැත්වීමට හෝ මහා සභාවක් පැවැත්වීමට සුදුසු ගණපූරණයක් නොවන බැවින් ඡන්ද අයිතිය ඉල්ලා යැවූ අයැදුම්පත් ඡායා පිටපත් කොට රැගෙන පැමිණි සියලු දෙනාට ඒ මොහොතේ ඡන්ද අයිතිය පිරිනැමීම සිදු කොට ඇත.

මේ හේතුවෙන් එල්ලේ නිලවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද දායකයන් පිරිසක් වාර්තා වූ අතර, ක්‍රීඩා සමාජ 90කට වැඩි පිරිසක් සහභාගී වී සිටි බව නිවේදනය විය. මෙයට වසර කිහිපයකට පෙර අවසන් වරට පැවැති නිලවරණයේදී ඡන්ද දායකයන් 66ක පිරිසක් සිටි බව පැවැසේ. එල්ලේ සම්මේලනයේ සභාපති තනතුරට ජයතිස්ස රුද්‍රිගූ මහතා (පමුණුගම සීලයන්ස්), ලේකම් තනතුරට ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා (රාගම නව එකමුතු) හා භාණ්ඩාගාරික තනතුරට කේ.එම්.එස්. ප්‍රියන්ත මහතා නිසි පරිදි අයැදුම්පත් ඉදිරිපත් කොට නිතරගයෙන් ප්‍රධාන තනතුරුවලට පත් වූහ. උප ලේකම් චමින්ද ජගත් (පෑලියගොඩ රංගිකා), සංවිධායක චාමර දුෂාන්ත (තොටලග අරුණ), විධායක සභාවට තිලකනන්ද පෙරේරා (බ්‍රැන්ඩියාවත්ත ජයන්ති), වී.එන්. ජයතිස්ස (වැල්ලම්පිටිය රණකාමී) හා සත්‍යදාස (මාකදුර තරුණ තරු) යන මහත්වරුන්ගේ නාම යෝජනා ද ගැටලුවකින් තොරව ලැබී තිබිණි. මේ හේතුවෙන් එම පිරිස ඉදිරි වසර දෙකක කාලයක් සඳහා එල්ලේ සම්මේලනයේ පරිපාලන කටයුතුවලට නිතරගයෙන් තේරී පත් වූහ.

නව අදහස දක්වන්න