රැකියාවට පාඨමාලා | දිනමිණ

රැකියාවට පාඨමාලා

දැනට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් වාර්ෂිකව උපාධිය ලබා රැකියා අපේක්ෂිතව ඉන් පිට වන උපාධිධාරීන්ගේ සංඛ්‍යාව සුදුසු නොවන අතර, එය 25,000කට ආසන්න වේ. අතලොස්සක් දෙනා හැරුණු විට අනෙකුත් සියලුම උපාධිධාරීහු රජයේ රැකියා අපේක්ෂාවෙන් සිටිති. නව රජ‍ෙය් අධ්‍යාපන ප්‍රතිපත්ති මත අ.පො.ස (උසස් පෙළ) විෂය සමත් වන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපාධිය දක්වා අධ්‍යාපනය හැදෑරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ එක වර උපාධිය සමත්ව ඉන් පිටවන උපාධිධාරීන්ගේ සංඛ්‍යාව එක් වරකට 180,000ක් පමණ වේ. මේ සියලු දෙනාටම රැකියා සැපයීමට මොනම ක්‍රමයකින් වත් රජයට හැකියාවක් නොමැත.

මේ තත්ත්වය සම්බන්ධයෙන් අප ගවේෂණාත්මකව බැලුවහොත් මෙයට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ රැකියා වෙ‍ළෙඳ පොළට සාපේක්ෂව විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් අවශ්‍ය වන්නා වූ පාඨමාලා ක්‍රියාත්මක නොවන බවයි. වර්තමානයේ දී තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, එම විෂය පද්ධතියන්ට ඉංග්‍රීසි භාෂාවේ හැකියාව සමඟින් විශාල රැකියා ප්‍රමාණයක් රජයට බාහිරව‍ ෙපෟද්ගලික අංශයේ ද පවතී. මේ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් නැඹුරු කිරීම සඳහා නිසි ක්‍රමවේදයන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ලබා දිය යුතුව ඇත.

දැනට මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැකියා විරහිතව උපාධිධාරීන් 54,000ක් පමණ සිටින අතර, ඔවුනට රජයේ රැකියා ලබා දීමට නව රජය ගන්නා උත්සාහයට ස්තූතිවන්ත විය යුතුය. එසේම රැකියා සඳහා අන්තර්ග්‍රහණය කිරීමෙන් අනතුරුව සැලසුම් සකසන පලදායි රාජකාරි සමුදායක් ඔවුන් වෙත ලබා දීමට අදාළ ආයතන කටයුතු කළ යුතුව ඇති අතර, පසු ඇගයීම් ද කළ යුතුව ඇත. විශේෂයෙන් දැනට රාජ්‍ය සේවයේ පත් කොට ඇති උපාධිධාරීන් බොහෝ දෙනා නියමිත රාජකාරි සමුදායක් ලබා නොදීම හේතුවෙන්ම ඔවුන් කාර්යාල තුළ නිකරුණේ කාලය ගත කරන බව අප දන්නා කාරණාවකි. මෙවැනි ප්‍රමාදවීම් අනාගතයේ සිදු නොවීමට උගත් වූ උපාධිධාරීන්ගේ රැකියා වියුක්තියට පිළියමක් ලෙස රැකියා වෙළෙඳ පොළට සාපේක්ෂව විශ්වවිද්‍යාල පද්ධතියේ පාඨමාලා නවීකරණය වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුව ඇත.

එම්.ඒ. ජයවීර 
11 අත්කම් නිවාස 
ඕකන්ද - අම්බලන්ගොඩ

 


නව අදහස දක්වන්න