ව්‍යවස්ථාවක් හදන්න විශේෂ කමිටුවක් | දිනමිණ

ව්‍යවස්ථාවක් හදන්න විශේෂ කමිටුවක්

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි
දේශපාලන පළි ගැනීම්වලට ලක් වූවන් (2015-2019) පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අරලිය ගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පෙරේදා (2) බාර දුන් අයුරු.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන,ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන,මහාචාර්ය නසීමා කමුර්දීන්, ආචාර්ය ඒ. සර්වේස්වරන්, ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න සහ මහාචාර්ය ජී. එච්. පීරිස් මහත්වරුන් හා මහත්මීන් මෙම කමිටුවේ සෙසු සමාජිකයෝ වෙති.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු සංශෝධනය කිරීම සඳහා කෙටි කාලීනවත්, නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා දිගුකාලීනවත් අවශ්‍ය පියවර ගැනීම සඳහා ආණ්ඩුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනවරමක් ඉල්ලා සිටි බවත්, එහිදී කිසිවකු නොසිතූ අයුරින් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට හැකියාව ලැබුණු බවත් බලශක්ති ඇමැති හා සම කැබිනට ප්‍රකාශක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වෙනුවෙන් පත් කළ විශේෂඥ කමිටුව කැඳවීමටත්, එම කමිටුව සමඟ කටයුතු කරමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යය හැකි ඉක්මනින් ආරම්භ කරන ලෙසත් අධිකරණ ඇමැතිවරයා වෙත කැබිනට් මණ්ඩලය දැනුම්දුන් බවද ඇමැතිවරයා කීය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බැවින් එතෙක් ව්‍යවස්ථාව හරහා ආණ්ඩුව මුහුණ දී තිබෙන දුෂ්කරතා මඟ හරවා ගැනීමේ අරමුණින් කෙටිකාලීන අවශ්‍යතාවයක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට අැමැති මණ්ඩල අනුමැතිය ලැබුණු බවද ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ මෙන්ම, එහි ජනමත විචාරණයකට තුඩුදෙන කිසිදු කාරණයක් අඩංගු නොවන බවට නිතිපතිවරයා ඉදිරිපත් කරන ලද මතය පිළිබඳව ද කැබිනට් මණ්ඩලය දීර්ඝ සාකච්ඡාවකට ලක් කර එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට අවසරය ලබා දුන් බවද ඒ මහතා පැවැසීය.

එසේ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දින 14කට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විවාදයට ගැනීම පෙර තවත් සතියක තවත් කාලයක් ලැබෙන බවත්, එම කාලසීමාව ඇතුළත ඊට එරෙහිව කවුරුන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහොත් තවත් සති තුනක පමාවක් සිදුවන බවත් පැවැසූ ඇමැති උදය ගම්මන්පිල මහතා, එබැවින් මෙම කාලසීමාව ඇතුළත මේ පිළිබඳ දේශපාලන වශයෙන් මෙන්ම, නීතිමය වශයෙන් ද සංවාදයක් මතුවනු ඇතැයිද, ඒ සියල්ල සලකා බලා අවසානයේදී කෙටුම්පත සම්මත කැර ගැනීමට කටයුතු කෙරෙනු ඇතැයි ද පැවැසීය.

නව අදහස දක්වන්න