මහජන දිනය! | දිනමිණ

මහජන දිනය!

රජය ගෙන ඇති වැදගත් තීරණ දෙකක් කෙරෙහි අද අපගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. පළමු තීරණය වන්නේ මහජන දිනය දා සියලු ආයතනවල උසස් නිලධාරීන් ස්වකීය කාර්යාලවල රැඳී සිටිය යුතුය යන්නය. දෙවන තීරණය වන්නේ ආයතන සතු අබලන් වාහන අලුත්වැඩියා කොට ධාවනය කළ යුතුය යන්නය. මේ තීරණ දෙකෙන් ම පැහැදිලි වන්නේ නාස්තිය දුර‍ැකොට වැඩ කරන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කළ යුතු බවය. එහි වාසිය පෙරළා ලැබෙන්නේ ද මහජනයාටමය. රාජ්‍ය ආයතන මහජන මුදලින් නඩත්තු වෙයි. රාජ්‍ය නිලධාරියා ද මහජන මුදලින් නඩත්තු වෙයි. ජනාධිපතිවරයා මෙය නිතර අවධාරණය කරමින් නිලධාරියාගේ වගකීම සිහිපත් කරයි.

නිලධාරීන් මහජනයා නොසලකා හරින්නේද , ඔහු මඟ හැර සිටින්නේ ද ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිටය. ඉංග්‍රීසිකාරයාට යටත් විජිත ගැන ආදරණීය හැඟීමක් ඇති වන්නට හේතුවක් නැත. ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ වැවිලි ආර්ථිකය ඔස්සේ ලාභ ලැබීම මිස රටේ ජනතාවට සේවා සැලැසීම නොවේ. එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පසු ස්ථාපිත වූ දේශීය රාජ්‍ය සේවාවට රට ගැන හැඟීමක් තිබිය යුතුය. රටේ ජනතාව ගැන හැඟීමක් ද තිබිය යුතුය. ගෙවී ගිය වසර හැත්තෑවකට වැඩි කාල සීමාවේ අපේ රාජ්‍ය සේවාව දෙස බලන විට එබඳු හැඟීමකින් කටයුතු කරන නිලධාරීන් හමු වී ඇත්තේ කලාතුරකින්ය. රාජ්‍ය සේවාවට ඇතුළුවීම භාග්‍යයක් කොට සලකන නිලධාරීහු තමන්ගේ ම වාසි ගැන පමණක් සිතා කටයුතු කළහ.

ඇතැම් ප්‍රදේශවල මහජන ඉල්ලීම් දෙස බලන විට පෙනී යන්නේ ඒවායින් බොහොමයක් පොදු ප්‍රශ්න වන අතර සරල ක්‍රමෝපාය මඟින් විසඳුම් දිය හැකි බවය. එහෙත් විසඳුම් ලැබෙන්නේ නැත. නිලධාරීන් තීරණ ගන්නේ නැත. ඇතැම් නිලධාරීන් මහජනයා හමුවන්නේ නැත. මහජනයාට ඇහුම්කන් දෙන්නේ නැත. මහජනයාගේ අභියාචනා කියවන්නේ නැත. එකම නිලධාරියකු හමුවීමට හත්-අට වරක් කාර්යාලයට යෑමට සිදු වේ. මහජන දිනයක් නම් කර තිබුණ ද නිලධාරීන් එම දිනයට කාර්යාල තුළ නැත. රැස්වීමක්, සම්මන්ත්‍රණයක්, සාකච්ඡාවක් කියමින් මහජනයා මග හැර සිටීමේ අවස්ථාව නිලධාරීන්ට තිබේ. මහජනයා රැස්වීම් ගැන දන්නේ නැත. සම්මන්ත්‍රණ ගැන දන්නේ නැත. දීර්ඝ කාලයක් පුරාවට නිලධාරීන් විසින් මහජනයා මුළාවේ දමනු ලැබේ.

සමාජවාදී ක්‍රමය යටතේ සෝවියට් දේශයේ නිලධාරි පැළැන්තිය අතිශය බලයක් අතට ගෙන ක්‍රියා කළේය. සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයේ කටයුතු පාලනය කරන තරමට නිලධාරී පන්තියේ බලය උත්සන්න විය. මෙහි අවසානය සටහන් වූයේ සෝවියට් ආර්ථිකය බිඳ වැටීමෙන්ය. නිෂ්පාදන ක්‍රියාවලිය, ගබඩා කිරීම, බෙදා හැරීම, වෙළෙඳපොළ යන්ත්‍රණය මුළුමනින්ම පාහේ නිලධාරීන් අත පැවැතිණි. නිලධාරී පන්තියේ වැඩි දෙනා දූෂිතයෝ වූහ. 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නිලධාරී පැළැන්තියේ ක්‍රියාකාරකම් විවේචනයට ලක් වුවද ඒ වන විට පෙරහර ගොස් අවසන්ය. නිලධාරීන්ට රටක් ඇති කළ හැකිය. රටක් නැති කළ හැකිය. පාලකයන් මේ බව වටහාගෙන නිලධාරී පන්තිය හැසිරවිය යුතුය.

දිවයිනේ සෑම පළාතකම ජනී-ජනයාගේ ප්‍රධාන ගැටලුවක් බවට ඉඩම් ප්‍රශ්නය පත් වී ඇත. අධිකරණවල ඇති ඉඩම් නඩුවල ප්‍රමාණයෙන් ද ඉඩම් ප්‍රශ්නයේ ස්වරූපය වටහා ගත හැකිය. අපේ රටවල මිනිසා සතු ප්‍රධාන සම්පත ඉඩම් යැයි කියන්නට පුළුවන. එහි වටිනාකම දිනෙන්-දින ඉහළට යයි. ගැටලුව ඇත්තේ තමා ජීවත් වන භූමියේ නීත්‍යානුකූල අයිතිය පවා ඇතැමුන්ට අහිමි වී තිබීමය. නීති පාඨවලට අනුව නිශ්චිත කාලයක් ජීවත් වූ භූමිය අදාළ පුද්ගලයාට හෝ පවුලට හෝ අයිති විය යුතුය. එහෙත් එබඳු ක්‍රමයක් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වන්නේ නැත. අගමැතිවරයා මෑතකදී පෙන්වා දුන්නේ ග්‍රාමීය අංශයේ බරපතළ ගැටලුවක් හැටියට ඉඩම් ප්‍රශ්නය පවතින බවය. මේවා විසඳීමේ උපාය මාර්ග නිලධාරීන් සතු විය යුතුය. රාජ්‍ය සේවය පවතින්නේ එබඳු ගැටලු විසඳීම සඳහා ය.

ප්‍රේමදාස මහතාගේ ආණ්ඩු සමයේ ජනපති ජංගම සේවය නමින් වැඩසටහනක් ක්‍රියාත්මක විය. එහි අරමුණු ලෙස සටහන් වී තිබුණේ රජයේ ආයතන වෙතින් ලබා ගත යුතු සේවය එකම දිනයකදී ක්ෂණිකව ලබා දීමය. ජනපති ජංගම සේවා පැවැත්වීම සඳහා ප්‍රේමදාස රජය විශාල මුදලක් යට කළේය. රාජ්‍ය ආයතනවල නිලධාරීන් අවංක සේවයක යෙදුණේ නම්; ජනපති ජංගම සේවා පැවැත්වීමේ අවශ්‍යතාවක් නැත. නිලධාරිවාදය පවතින කිසිදු රාජ්‍යයක් දියුණු වන්නේ නැත. මැලේසියාව ගොඩනැඟූ මහතීර් බොහොමඩ් මහතා පළමුව බලයට පත් වූ අවස්ථාවේ රාජ්‍ය සේවය නිවැරැදි තැනකට ගෙන ආවේය. ඉතා දූෂිතව පැවැති මැලේසියානු රාජ්‍ය සේවය පසුව ලෝකයේ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් බවට පත් විය. ඒ රටේ දියුණුවේ පදනම ද එයම විය.

රාජ්‍ය ආයතනවලට අයත් වාහන පන්දහස් ගණනක් ආයතන පරිශ්‍ර තුළ දිරාපත් වෙමින් පවතින බව වාර්තා වී ඇත. මේ වාහනවලින් බොහොමයක ඇත්තේ සුළු අඩුපාඩුය. තවත් වාහන හොඳ අලුත් වැඩියාවකින් පසු ධාවනය කළ හැකිය. රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයට අනුව වාහන හාරදහස් ගණනක් අලුත්වැඩියා කිරීමට නියමිතය. අලුත් වැඩියාවට අවශ්‍ය මුදල් ගෙවීමේ හැකියාව නැති ආයතන තිබෙන්නට පුළුවන. එම ආයතනවල වාහන අලුත් වැඩියාව සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව මුදල් සපයයි. මෙලෙස අලුත්වැඩියා කරන වාහන විවිධ ආයතනවල සේවා සඳහා යොදා ගැනීමට ද නියමිතය. මෙය ඉතා කාලෝචිත පියවරක් වන්නා සේම බුද්ධිමය පියවරක් ද වන්නේය. රාජ්‍ය ආයතන වාහන සඳහා වැය කරන නාස්තිකාර වියදම් නැවැත්විය යුතුය. එය රට ගොඩනැඟීමට අදාළ උපාය මාර්ගයකි.

දූෂණය, නාස්තිය, වංචාව තුරන් කළ හොත් රාජ්‍ය ආයතන බොහොමයක් ලාභ ලබන තැනකට ගෙන යා හැකිය. මේ ආයතනවල නිලධාරීන් අවංක රාජ්‍ය සේවයක නිරත වන්නේ නම්; රටේ සංවර්ධනයට බලවත් ශක්තියක් ඒ ඔස්සේ ගොඩනැ‍ඟෙනු ඇත. රටක් දියුණු කිරීම සාමූහික ක්‍රියාවලියකි. රටේ නායකයන්, දේශපාලකයන්, ආයතන ප්‍රධානීන් පමණක් නොව; මහජනයා පවා සාමූහික ක්‍රියාවලියට එක් විය යුතුය. මේ අපෙ රට යන්න ද අප රට වෙනුවෙන් යමක් කළ යුතුයි යන්න ද මන්ත්‍රයක් සේ ජප කළ යුතු කාලය එළැඹ තිබේ.

නව අදහස දක්වන්න