කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව ඉහළ දැමීමට නවීන තාක්ෂණය උපරිමයෙන් යොදාගත යුතුයි | දිනමිණ

කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව ඉහළ දැමීමට නවීන තාක්ෂණය උපරිමයෙන් යොදාගත යුතුයි

කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය හා නව්‍යකරණයන් යොදා ගත යුතු බවත්, ඒ සඳහා අවස්ථා සැලසීම හා ව්‍යාප්ත කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC) 35 වැනි සැසිවාරය අමතමින් පැවසීය.

අලුත්ගමගේ මහතා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරයි.

ඩිජිටල් කෘෂිකාර්මික විසඳුම් ඇතුළු නවෝත්පාදන වලින් තිරසර කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ ඒ මහතා සඳහන් කළේ ශක්තිමත් ආහාර පද්ධති ගොඩනැඟීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දිය හැකි ලෙස කෘෂිකාර්මික අංශයේ අනුවර්තන ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම, ස්වාභාවික සම්පත් නැණවත් ලෙස භාවිත කිරීම ප‍්‍රවර්ධනය කිරීම ද අත්‍යවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය යැපුම් ජීවනෝපාය උප අංශයේ සිට ජාතික ආර්ථිකයේ ගතික ආදායම් උපයන නිෂ්පාදන අංශයක් බවට පරිවර්තනය කිරීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙහි තාක්ෂණික හා උපදේශන සහාය රටට ඉමහත් උපකාරයක් වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

සුළු පරිමාණ ගොවීන්ට ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවීම, වගාකරුවන් සඳහා නිසි රක්ෂණ ක‍්‍රමයක් නොතිබීම, කෘෂි රසායනික කළමනාකරණයේ පවත්නා අසමතුලිතතාවන් සහ කෘෂිකාර්මික වගා කන්න වෙනස්වීම් පිළිබඳ අනාවැකි පුරෝකථන කිරීමට නොහැකි වීම වැනි කෘෂිකාර්මික අංශය වර්තමානයේ මුහුණදීමට සිදු වී තිබෙන ගැටලු පිළිබඳ ශ්‍රී ලංකා දූත පිරිස මෙහිදී අවධානය යොමු කළහ.

මෙම ක්ෂේත්‍රයන්හි තාක්ෂණික, ප්‍රතිපත්තිමය සහ අනෙකුත් වැඩසටහන් සඳහා ලෝක ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ අඛණ්ඩ සහයෝගය මෙහිදී අපේක්ෂා කරන බවද ඔවුහු ප්‍රකාශ කළහ.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපය සඳහා වන කලාපීය සමුළුව යනු මෙම කලාපයේ රටවල්වල සහ කලාපයේ වර්තමාන ප්‍රමුඛ අවශ්‍යතා සහ COVID-19හි බලපෑම, කෘෂිකර්මාන්තයේ තත්ත්වය, ස්වාභාවික සම්පත් කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැනි කලාපයේ දැවෙන ගැටලු සාකච්ඡා කිරීමේ සංසදයයි.

කලාපය පුරා ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැඩි දියුණු කිරීමට උපකාරී වන හවුල්කාරිත්වයන්, නවෝත්පාදන සහ ඩිජිටල් තාක්ෂණයන් මෙන් ම කලාපීය හා ගෝලීය ප්‍රතිපත්ති සහ නියාමනය පිළිබඳ කරුණු ඉස්මතු කිරීමට ද මෙය මහඟු අවස්ථාවක් සපයයි.

කොවිඩ් 19 වසංගතය සහ ඒ හා සම්බන්ධ මහජන සෞඛ්‍ය ගැටලු ගණනාවක් පවතින වාතාවරණයක දී මාර්ග ගත වීඩියෝ සම්මන්ත්‍රණ මඟින් මෙම සැසිය පැවැත්විණි.

සැප්තැම්බර් පළමු වැනි දා ආරම්භ කර දින හතරක් පුරා පැවැත්වුණු මෙම සමුළුවට මෙම වසරේ සාමාජික රටවල් 46ක නියෝජිතයෝ සහභාගී වූහ.

භූතානයේ දී පැවැති මෙම ආසියානු පැසිෆික් කලාපීය සමුළුවට නියෝජිතයෝ 400කට වැඩිපිරිසක් එක්ව සිටියහ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කු ඩොන්ග්-යු මහතාද ආසියානු පැසිෆික් කලාපීය සමුළුව අමතමින් අදහස් දැක්වුවේය.

නදී මාණික්කගේ

නව අදහස දක්වන්න