ආදි මානව ජනාවාසයක සාධක ඇති ඉපැරණි ගල්ලෙනක් වළල්ලාවිට - ගුලවිට | දිනමිණ

ආදි මානව ජනාවාසයක සාධක ඇති ඉපැරණි ගල්ලෙනක් වළල්ලාවිට - ගුලවිට

ප්‍රාග් ‍ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන ආදී මානව ජනාවාසයක පුරාවිද්‍යා සාධක ඇති ඉපැරණි ගල් ලෙනක් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, ගුලවිට ප්‍රදේශයෙන් හමු වී ඇති බවත් එම ස්ථානයේ ගල් වැඩපළක් සඳහා දී තිබූ අවසරය වහාම තාවකාලිකව නතර කර ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ගුදම් පහසුකම්, වරාය බහාලුම් අංගණ, වරාය පහසුකම් හා නැව් බෝට්ටු කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පසුගියදා (03) පැවසීය.

වළල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ ගල් වැඩපළක් පවත්වාගෙන යන ස්ථානයකට යාබද තවත් ගල් වැඩපළක් සඳහා පුරාවිද්‍ය දෙපාර්තමේන්තු අවසරයකින් තොර බලපත්‍ර දීම පිළිබඳ ජයන්ත සමරවීර ඇමතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ අදාළ ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවකදී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන මෙම ගල් ලෙන හමු වී තිබේ.

පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණවලින් පසු මෙම ගල් ලෙන පාහියන්ගල ලෙන ආශ්‍රිතව හමු වී ඇති ප්‍රාග් ‍ඓතිහාසික තොරතුරුවලට සමානකමක් ඇතැයි පුරාවිද්‍යා නිලධාරීන් සැක පළ කර තිබේ. එවැනි සාධක ගණනාවක් බාහිර පරසරය නිරීක්ෂණයෙන් දැකගත හැකි බව එම නිලධාරීහු පවසති.

මේ පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යයනයක් සිදු කර කරුණු අනාවරණය කර ගන්නා තෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව අනෙකුත් ආයතන ගල් වැඩපළකට දී ඇති අනුමැතිය තාවකාලිකව නතර කිරීමට රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා (03) නියෝග කළේය. ඒ අනුව වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්, කළුතර දිසාව බාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් දැනුම්වත් කර එම ගල් වැඩපළ ආරම්භ කිරීමේ කටයුතු නැවැත්වීමට උපදෙස් දෙන ලදි.

මෙම ස්ථානයේ ඇති විශාල ගල් පර්වතය ආශ්‍රිතව පිහිටි ලෙනෙහි ප්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක තොරතුරු තිබිය හැකි බවත් බොහෝ විට එය පාහියන්ගල ලෙනෙන් හමුවන යුගයන්ට අයත් විය හැකි බවටත් කෙසේ වෙතත් මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැණීමක් කර තොරතුරු තහවුරු කරගත යුතු බවත් පුරාවිද්‍යා නිලධාරීහු කියා සිටිති.

නව අදහස දක්වන්න