20ට විවේචන ඇත් නම් දෙන්න | දිනමිණ

20ට විවේචන ඇත් නම් දෙන්න

ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය

ජන මත විචාරණයකට නොයා විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව සහතිකයක් දී තිබෙන බවත් විස්ස සම්බන්ධයෙන් යම් කෙනකුට අධිකරණයට යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩකඩ ද ව්‍යවස්ථාවෙන්ම සලසා තිබෙන බවත්, ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. බල්ලන් බිරුවට තවලම නොනැවතී ඉදිරියට යන්නා සේ පදනමක් නොමැති විවේචන ගැන සැලකිලිමත් නොවී ආණ්ඩුවද ඉදිරියට ගමන් කරන්නේ යැයි ඒ මහතා කීය.

ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උපාධිධාරී පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා පෙරේදා (05) මේ බව ප්‍රකාශ කළේය.

ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ හා කණ්ඩායම් මේ සංශෝධනය සම්බන්ධව කුමන අදහස් දැක්වුවත් 19 වැනි සංශෝධනය ඉතා ඉක්මනින් ඉවත් කර 20 ගෙන ඒමට ජනතාව ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලබාදී තිබෙන බවත් ඒ අනුව ආණ්ඩුව ජනතා අභිලාෂයන් ඉටු කිරීමට ඉක්මන් පියවර ගෙන තිබෙන බවත් කී ඒ මහතා විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගය පිළිබඳ සාධාරණ විවේචනවලට හා ඊට අදාළ සංශෝධනවලට පුළුල් ඉඩක් පවතින බවද අවධාරණය කළේය.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම එක පවුලක් ඉලක් කර කර ඔවුන්ගේ දේශපාලන ගමන අඩාල කිරීමට ගෙනා එකක් බව රටම දන්නා බවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එවැනි පටු පරමාර්ථයන්ගෙන් තොරව රටේ යහපත පිණිස ගෙන එන්නක් බවත් හෙතෙම අවධාරණය කළේය.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න