කාලගුණ රතු නිවේදනයක් | දිනමිණ

කාලගුණ රතු නිවේදනයක්

දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (06) නිකුත් කර තිබේ. මේ නිවේදනය අනුව අද උදේ 9.00 දක්වා කාලය තුළදී දිවයින වටා ගැඹුරු සහා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 දක්වා ඉහළ යා හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිබව රතු නිවේදනයේ සඳහන් වේ.

මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම ඉහත සඳහන් කාලය තුළදී අනතුරුදායක වන අතර නාවුක ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ඒ අතර දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද දිනයේදී බලාපොරොත්තු වන අතර කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී (50) පමණ සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දින දහවල් 12:08 ට ගිංතොට, ගල්වෙලවත්ත, ගල්ලෑල්ල, අතුරලිය සහ කහඳමෝදර ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න