රටට ඕනෑ එක නීතියක් | දිනමිණ

රටට ඕනෑ එක නීතියක්

අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි

වර්තමානය වන විට නිරතුරුවම කතාබහට ලක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය, රට තුළ ඉතා බියකරු ලෙස ව්‍යාප්තව ඇති මත් ජාවාරම මැඬලීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කීරීම සම්බන්ධ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ, අධිකරණ ඇමැති,

 

ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා සමඟ කළ කතාබහකි මේ.

විශේෂයෙන් ළමා අපචාර වැඩිවීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි. අවශ්‍ය  වුවහොත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, මේ  සම්බන්ධයෙන් වෙනම උසාවියක් ස්ථාපිත කිරීමට අප  බලාපොරාත්තු වෙනවා. කුඩු  ජාවාරම,  ජාවාරම්කරුවාගේ සිට රජයේ  දෙපාර්තමේන්තුවලට පවා රිංගලා.  මේ අභියෝග ජය  ගැනීමේදී අපට  රජයක් හැටියට නීති ගේන්න පුළුවන්.

 වත්මන් රජයේ ප්‍රමුඛ පොරොන්දුව වන නව ව්‍යවස්ථාවක් සැකසීමේ කාර්යය ආරම්භ කිරීමට අධිකරණ ඇමැතිවරයා ලෙස ඔබ කටයුතු කළා. එම කටයුතුවල ඉදිරි පියවර කොහොම ද?

සංකල්පයක් ලෙස දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා, විසි වන සංශෝධනය ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ වන විට විසි වන සංශෝධනය කෙටුම්පත් කර අවසානයි. එම කෙටුම්පත ලබන කැබිනට් රැස්වීමට අප ඉදිරිපත් කරනවා. එම කෙටුම්පත සලකා බලලා, මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ද? කියලා කැබිනට් මණ්ඩලය මඟින් තීරණය කරන්න ඕනැ. ඒ අනුව කැබිනට් අනුමැතියට යටත්ව ඉදිරි කටයුතු කරනවා. මේ කෙටුම්පත නීතිපතිට යොමු කළා. නීතිපතිවරයා ඔහුගේ මතය ප්‍රකාශ කළ විට, මෙය ඉදිරිපත් කළ යුත්තේ මොන පදනම යටතේ ද? කියලා සාමාන්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදන ක්‍රියාවලිය යටතේ අප ඉදිරි වැඩකටයුතු කරගෙන යනවා.

 

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාව තුළ කරන වෙනස්කම් මොනවා ද?

අප කෙටුම්පත ඉදිරිපත් කරලා තිබෙනවා. මොනවාද කරන වෙනස්කම් කියලා, පාර්ලිමේන්තුව තමයි අවසාන වශයෙන් තීරණය කළ යුත්තේ. ප්‍රධාන වශයෙන් දහනමයෙන් හඳුන්වා දී තිබෙන යම් යම් කරුණු ඉවත් කරලා, අලුත්ම ක්‍රියාදාමයකටයි අප යන්නේ. ඒත්, අවුරුදු පහේ කාල සීමාව ඒ ආකාරයෙන් තියා ගන්නවා. ජනාධිපතිවරයෙක් තෝරා ගන්නා අවස්ථාව, එහෙම නැත්නම් වාර ගණන දෙකකට සීමා වෙනවා. දහනම වන සංශෝධනයෙන් හඳුන්වා දුන් අනෙකුත් දේ වෙනස් වෙනවා.

 

 ජනතාව තුනෙන් දෙකක බලයක් මේ ආණ්ඩුවට ලබා දුන්නේ, නව ව්‍යවස්ථාවක පොරොන්දුවක් අබියස, මෙය එම ගමනේ ආරම්භය ද?

ඔව්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරගෙන යන වැඩපිළිවෙළ, ඒ ආකාරයෙන්ම ඉටු කිරීමේ අව්‍යශ්‍යතාව තිබෙනවා. 19 තුළ ඊට අවශ්‍ය පසුබිමක් නැහැ. 19 යම් යම් බාධා තිබෙනවා. එම බාධා ඉවත් කරගත යුතුයි. එම බාධා ඉවත් කිරිම තමයි විසිවන සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ. ඒ හා සමගාමීව අප විසිවන සංශෝධනය ගෙනත්, ඉදිරි වැඩ කරන ගමන්, අලුත් ව්‍යවස්ථාවක් සැකසීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය අරගෙන, නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කොහොම ද? කියලා පුරෝකථනය කිරීමට විද්වත් මණ්ඩලයක් පත් කරනවා. පුළුල් ජනතා නියෝජනයක් අරගෙන, අලුත් ව්‍යවස්ථාව සැකසීමේ දී සැලකිය යුතු කරණු මොනවා ද? කියලා, එම විද්වත් මණ්ඩලය තමයි තීරණයක් දිය යුත්තේ. සියලු ජන කොටස්, විවිධ ආගමික ප්‍රභුවරුන්, දේශපාලන නායකයන්, ජනතා නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව, උගතුන්, බුද්ධිමතුන්, මේ සියලු දෙනා එකතු කරගෙන ව්‍යවස්ථාව කවර ආකාරයෙන් තීරණය විය යුතු ද? යන්න එම විද්වත් මණ්ඩලය මඟින් තීරණය කළ යුතුයි. දේශීයත්වය සුරකින, රටේ ඒකීයත්වය රකින, අපේම ව්‍යවස්ථාවක් සකසා ගැනීම පිළිබඳ එහිදී සලකා බැලිය හැකියි.

 

දහනවයෙන් ස්ථාපිත ස්වාධීන කොමිෂන් සභාවලට, විශේෂයෙන් මැතිවරණ කොමිසමේ ඇතැම් නිලධාරීන්ට මැතිවරණ සමයේදී ඇඟිල්ල දිගු වුණා. ස්වාධීන කියන වචනයත් එපා කළ මේ කොමිෂන් සභා වෙනුවට සුදුසු යාන්ත්‍රණයක් සකසන බවට වත්මන් කැබිනට් අමාත්‍යවරුන් පවා මැතිවරණ සමයේදී ප්‍රකාශ කළා. මේ පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?

දැනට ඒ සම්බන්ධයෙන් සාකච්ජා වෙමින් පවතිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තිය යටතේ කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් ලබා දිය යුතුයි.

මත් ජාවාරම රට තුළ ඉතා බියකරු ලෙස ව්‍යාප්තව ඇති බවට මේ දිනවල කරන වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් දෙස බැලීමේදි පෙනෙන කරුණක්. රාජ්‍ය යන්ත්‍රණයේ ඇතැම් නිලධාරීන් පවා මේ ජාවාරම්කරුවන් අතර සිටිනවා. අධිකරණ අමාත්‍යාංශය, අධිකරණ ඇමැතිවරයා ලෙස මේවා මැඬ පැවැත්වීමට දියත් කරන වැඩපිළිවෙළ මොකක් ද?

අප, ආණ්ඩුව හා රජය ඉදිරියේ අභියෝග රාශියක් තිබෙනවා. ඒවා ජනප්‍රිය අභියෝග වෙන්න පුළුවන්. ඒ වගේම, ජනප්‍රිය නොවෙන්න පුළුවන්. මේ සියල්ල පිළිබඳ අධිකරණ ඇමැතිවරයා විදිහට අප විවිධ පාර්ශ්ව සමඟ සාකච්ජා කරමින්, විසැඳුම් සොයමින් යනවා. සියලු ජනතාවට බියෙන්, සැකයෙන් තොරව ජීවත් වීමේ අභියෝගය මූලිකවම අප ඉදිරියේ තිබෙනවා. රටේ දූෂිතම ආයතන විදිහට ලේබල් වැදී, වල් වැදී ඇති රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු ඉන් මුදාගෙන, අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය කිරිම අපේ වගකීමක් වෙනවා. ඊයේ තිබුණු සාකච්ජාවේ හැටියට ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාරවල රඳවන්න පුළුවන් රැඳවූවන් ගණන එකොළොස් දහසක් විතරයි. ඒත් අද වන විට විසි අටදහසක් ඉන්නවා.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අධිකරණවලට වාර්තා එවීම ප්‍රමාද වන බව අප දන්නවා. මේ අවුරුද්දේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අධිකරණ මඟින් මත්ද්‍රව්‍ය සාම්පල් දොළොස් දාහක් ලැබි තිබෙනවා. මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න, එම දෙපාර්තමේන්තුවේ සංයුතිය ප්‍රමාණවත් නැහැ. මානව සම්පත ප්‍රමාණවත් නැහැ. රස පරීක්ෂකවරු නැහැ. අවශ්‍ය නවීන පහසුකම්වල අඩුවක් තිබෙනවා. ඒ වගේ ක්ෂේත්‍ර ගණනාවක වෙනස්කම් කළ යුතුව තිබෙනවා.

ඒ වගේම අපේ නීති පද්ධතියේ යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. යල්පැනගිය නීති අලුත් විය යුතුයි. අධිකරණවල නඩු ඇසීමේ ප්‍රමාදය අවම කිරීමට ක්‍රියා පිළිවෙතක් ආරම්භ කළ යුතුව තිබෙනවා. සමාජය දෙස බැලීමේ දී, විශේෂයෙන් ළමා අපචාර වැඩිවීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි. අවශ්‍ය වුවහොත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, මේ සම්බන්ධයෙන් වෙනම උසාවියක් ස්ථාපිත කිරීමට අප බලාපොරාත්තු වෙනවා. කුඩු ජාවාරම, ජාවාරම්කරුවාගේ සිට රජයේ දෙපාර්තමේන්තුවලට පවා රිංගලා. මේ අභියෝග ජය ගැනීමේදී අපට රජයක් හැටියට නීති ගේන්න පුළුවන්. රජයකට, නීතිය පිළිබඳ සමාලෝචනය කරලා, අවශ්‍ය නීති ගෙන ඒමේ හැකියාව තිබෙනවා. නීති සම්පාදනය කරන්න පුළුවන්. අලුත් අධිකරණ අපිට ස්ථාපිත කරන්න පුළුවන්. එහෙත්, සමාජීය වශයෙන් ජනතාවගේ වගකීමක් මීට තිබිය යුතුයි. ළමා අපචාර, කුඩු ජාවාරම මෙරටින් තුරන් කිරීමට හැකි වෙන්නේ, මේ ජනතා සහභාගීත්වය තුළයි.

 

19 වගේම 13 ගැනත් මේ දිනවල සමාජයේ කතා බහට ලක්වනවා. 13 සංශෝධනයට පියවර ගන්නවා ද?

දැනට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ජාවට බඳුන් වන්නේ 19 පමණයි. 19 ගැට රාශියක් තිබෙනවා. ඒවා තියාගෙන ජනාධිපතිතුමාට ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැහැ. 13 ගැන දැනට සලකා බලලා නැහැ. අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී මේ කරුණු සැලකිල්ලට ගත හැකියි. එක රැයකින් සියල්ල වෙනස් කරන්න බැහැ. ක්‍රමයෙන් රට යථා තත්ත්වයට ගෙන ඒමේ වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ දැක්මට අනුව දියත් කිරීම සිදු කරනවා. එක නීතියක් රට තුළ තිබිය යුතුයි. සියලු දෙනාට ජාති, ආගම්, කුල, පන්ති භේදයකින් තොරව එක්සත්ව ජීවත් විය හැකි රටක් නිර්මාණය කීරීම, අපේ අභිප්‍රායයි.

 

පවතින මැතිවරණ ක්‍රමය පිළිබඳ, විවිධ පාර්ශ්ව මත පළ කරනවා. පසුගිය සමයේ මැතිවරණ සීමා නීර්ණ කොමිෂන් පවා ස්ථාපිත කර, කටයුතු සම්පාදනය කරන ආකාරය ජනතාව දැක්කා. මැතිවරණ ක්‍රමය වෙනස් කීරීම පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ මොකක් ද?

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු ආරම්භ කර තිබෙන මේ මොහොතේ, මගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැඩක් නැහැ. එය කිසියම් යන්ත්‍රණයකට ඇවිල්ලා, නියම පරිදි සාකච්ජා කළ යුතුයි කියලා මම හිතනවා. ඒ වෙලාවේදි මැතිවරණ ක්‍රමයක් පිළිබඳ පොදු මතයකට එන්න පුළුවන්.

 

 

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න