නොසිතූ තරම් දුර ගිය ඩීප්ෆේක් සෙල්ලම | දිනමිණ

නොසිතූ තරම් දුර ගිය ඩීප්ෆේක් සෙල්ලම

 

90 දශකයේදී ලොවට බිහි වුණු 'ඩීප්ෆේක්' තාක්ෂණයට ඒ නම ලැබුණේ 2017 තරම් මෑත භාගයේදීය. Reddit වෙබ් අඩවියේ “deepfakes” නමැති පරිශීලකයකු ඇතුළු තවත් අය r/deepfakes යටතේ

නළු නිළියන්ගේ මුහුණු යොදා සභ්‍ය හා අසභ්‍ය ඡායාරූප, වීඩියෝ පළ කරන්නට පටන් ගැනීමත් සමඟ එය ලොව පුරා කතාබහට පාත්‍ර විය. ඉන් අනතුරුව, Zao App වැනි ඕනෑම කෙනකුට එය භාවිත කිරීමට අවස්ථාව සලසන සේවාවන් මෙන්ම, මිනිස් මුහුණු එක්කොට නව මිනිස් මුහුණු සකසන thispersondoes notexist.com ආදිය ද බිහි විය.

 

 

දෙදෙනකු එක වර කැමරාවට මුහුණ තැබූ විට එකිනෙකාගේ මුහුණු මාරු වී පෙනෙන කැමරා ෆිල්ටර් ඔබ 'ස්නැප් චැට්' වැනි ඇප්ස් හරහා දැක ඇතිවාට සැකයක් නැත. ඉහළ හැකියාවක් නොමැති පහසුකම් අඩු දුරකතනයකින් පවා තත්කාලීනවම (real-time) එය කළ හැකි නමුත් සියයට සියයක්ම සාර්ථක නැත. ඒ වෙනුවට, වීඩියෝවක් ගෙන කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් එහි රූප රාමුවක් පාසා අධ්‍යයනය කර, පුද්ගල හැසිරීමට අනුරූප වන සේ තවත් කෙනකුගේ මුහුණක් එය මත මුසු කරලීම යනු 'ඩීප්ෆේක්' යැයි සරලව කිව හැකියි.

'ඩීප්ෆේක්' විවිධ ආකාරවලින් සැකසිය හැකිය. එක ක්‍රමයක් වන්නේ, කිසියම් මුහුණක් ගෙන, එය චිත්‍රපටයක් වැනි වීඩියෝ වෙතට යෙදීමයි. අනෙක් ක්‍රමය, කිසියම් පුද්ගලයකුගේ මුහුණේ ඉරියව් ගෙන, කෘත්‍රිම බුද්ධියක් පුහුණු කරවා ඒවා තවත් කෙනෙකුට යෙදීමයි.

 

වීඩියෝ සංස්කරණ

මුල් ක්‍රමයේදී සිදු වන්නේ, නව වීඩියෝව සංස්කරණය කරන අවස්ථාවේදී අදාළ පුද්ගලයන් දෙදෙනාගේම සහභාගීත්වයක් නොමැතිව එක් මුහුණක් තවත් මුහුණකට යෙදීමයි. උදාහරණ ලෙස නිකොලාස් කේජ්ගේ මුහුණ 'ෆ්‍රෙන්ඩ්ස්' වැනි ටෙලිකතාවලට යොදා සැකසූ වීඩියෝ හැඳින්වීමට පුළුවන.

දෙවැනි ක්‍රමයේදී අප කෙනෙක්ව කැඳවාගෙන, ඔහුගේ මුහුණේ ඉරියව් පරිගණකයට ඉගෙන ගැනීමට සලස්වයි. මෙය, හඳුන්වන්නේ යාන්ත්‍රික ඉගෙනුම (Machine Learning) නමිනි. අනතුරුව, එය තවත් කෙනෙකුගේ මුහුණක් සමඟ සංකලනය කරමින් වීඩියෝවකට යෙදීම සිදු කරයි. මේ ක්‍රමවේදය භාවිත කරමින් හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා යොදාගෙන සැකසූ වීඩියෝ රාශියක් ද දක්නට ඇත. ඒවායේ ඔහු කතා කරනවා සේ පෙනුණත් සැබැවින්ම, වෙනත් අයකු යොදා රඟපාන ලද කොටස් ගෙන, ඩීප්ෆේක් තාක්ෂණය ඔස්සේ ඔබාමාට පණ පොවා තිබේ.

රටක ජනපති කෙනකු යොදාගෙන එසේ වීඩියෝ සැකසිය හැකි නම් එය මහා භයානක එකක් බව ඔබට සිතෙන්නට ඇත. ඒ තර්කය ද කිසිසේත්ම බැහැර කළ නොහැකිය. 'වොන්ඩර් වුමන්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන ගල් ගැඩෝට් නිළිය, ටේලර් ස්විෆ්ට් ගායිකාව, ගේම් ඔෆ් ත්‍රෝන්ස්හි ආර්යාට රඟපෑ මෙසී විලියම්ස් වැනි අය යොදාගෙන ඩීප්ෆේක් හරහා සකසන ලද අසභ්‍ය චිත්‍රපට පවා අන්තර්ජාලගතව තිබේ.

 

ස්ටාර් වෝර්ස්

ස්ටාර් වෝර්ස් : රෆ් වන් (2017) චිත්‍රපටියේ ලේයා කුමරියගේ දසුන මතකද? කැරී ෆිෂර් නිළිය හැට හැවිරි‍දි වියේ දී (2016 දී) මිය ගොසිනි. එහෙත්, ඇය පණ පෙවූ

ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවට ඇගේ තරුණ වියෙහි රඟපෑමක් අවශ්‍ය වී තිබුණි. වෙනත් නිළියක් යොදාගෙන එම නිළියගේ මුහුණ මත තිත් සලකුණු යොදා, CGI හෙවත් මූලික දෘශ‍ය ප්‍රයෝග භාවිතයෙන් දැවැන්ත පරිශ්‍රමයකින් තත්පර කිහිපයක ජවනිකාවක් සැකසුණි. CGI නිසා එය අපහසු කටයුත්තක් බවට පත් වුණත්, ඩීප්ෆේක් භාවිත කළා නම් එය එතරම් සංකීර්ණ නොවන්නට ඉඩ තිබුණි.

මුහුණු දෙකක් මාරු කිරීමේ අපූරු හැකියාව ඇත්තේ ඩීප්ෆේක් සතුව පමණක් නොවන බව ඉන් පැහැදිලි වන්නට ඇත. එහෙත් ඒවා සැකසීමට චිත්‍රාගාර තුළ දැඩි පරිශ්‍රමයක්, අධික මිලක් මෙන්ම ඉහළ හැකියාවක් ඇති පරිගණක ආදිය අවශ්‍ය වේ.

එහෙත් 'ඩීප්ෆේක්' සතු සුවිශේෂී බව වන්නේ, කුඩා පරිගණක පද්ධතියක් තුළින් ඕනෑම කෙනෙකුට මෙවැනි වීඩියෝ දර්ශන කරන්නට අවස්ථාව ලැබීමය. වේගවත් ප්‍රොසෙසරයක් සහ ජවයෙන් පිරි ග්‍රැෆික් ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හෝ ක්ලවුඩ් පරිගණකයකින් මෙය කරගන්නට හැකියාව තිබේ. ඡායාරූප සඳහා මුහුණු මාරු කරන සේවා දැනටමත් බිහිව තිබුණත් වීඩියෝ සඳහා වඩාත් සාර්ථක ඩීප්ෆේක් වීඩියෝවක් සැකසීමේදී පරිගණකයට අමතරව වීඩියෝ සංස්කරණ ක්‍රියාවලියකින් වීඩියෝවේ සුමට කිරීම් කළ යුතුය. නමුත් එය පැරණි VFX ක්‍රමයට වඩා පහසුය.

 

කෘත්‍රිම බුද්ධිය

ඩීප්ෆේක් සඳහා ඔබේ සහ ඉලක්කගත පුද්ගලයා‍ගේ මුහුණේ විවිධ කෝණවලින් යුත් ඡායාරූප අවශ්‍ය වේ. මෙය වීඩියෝවක ඇති රූප රාමු වෙන්කර ගැනීමෙන් කළ හැකිය. එවන් වීඩියෝ රැසක් කෘත්‍රිම බුද්ධියක් වෙත ආදානය කළ පසු ඒවායේ ඇති රූප රාමු තුළින් එය ඉගෙන ගනී. ජනපතිවරු, නළුවන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මුහුණු පහසුවෙන්ම චිත්‍රපට ආදියෙන් ගත හැකි නිසා ඔවුන්ව අනුකරණය කරන ලද ඩීප්ෆේක් බහුලය. යොදාගන්නා දෘඪාංග සහ ආදාන දත්තවල ගුණාත්මක බව අනුව, මෙම AI පුහුණු කිරීම සඳහා ගත වන කාලය සති හෝ මාස ගණනක් විය හැකිය. ඔබ නිෂ්පාදනය කරමින් සිටින චිත්‍රපටයේ රඟන නළුවකු හදිසි අනතුරකට ලක්ව මුහුණට හානි වුව හොත්, දෙවන චිත්‍රපටයට වයස අඩු-වැඩි කරගන්නට අවශ්‍ය වුව හොත්; ඩීප්ෆේක් තිබෙන තුරු මුළු නිෂ්පාදනයම නවත්වන්නට සිදු වන්නේ නැත.

ඒ අනුව, ඩීප්ෆේක් සැකසීමට විශාල දත්ත (Big Data) විශ්ලේෂණයට දස්කම් දක්වන කෘත්‍රිම බුද්ධියත්, යාන්ත්‍රික ඉගෙනුමත් පාදක වන බව ඔබට පැහැදිලි වන්නට ඇත. මේ හරහා නව රැකියා රැසක් බිහි වේ. පරිගණක අංශය හැසිරවීමට AI දැනුමැති අය, ක්‍රමලේඛකයන් පමණක් නොව, රංගන ශිල්පීන් සහ හොඳ කටහඬක් ඇති අයට තමන්ගේ පෙනුම සහ හඬ විකුණන්නට දැන් නි‍ෙවසේ සිටම හැකියාව ලැබේ.

 

විසඳුමක් තිබේ ද?

සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයකුට කිසියම් නිෂ්පාදනයක් විකුණා ගැනීමට අවශ්‍ය වූ විට එය වෙළෙඳ දැන්වීම් ආයතනයකට ලබා දෙයි. ඔවුන් නළු නිළියන්, සංස්කාරකවරුන් ඇතුළු මහා පිරිසක් කැඳවා ගෙන රූගත කිරීම් කර වෙළෙඳ දැන්වීම සකසයි. එහෙත් ඩීප්ෆේක් තාක්ෂණය තිබේ නම් එවැනි මහා පරිශ්‍රමයක් දැරීම අනවශ්‍යය. රංගන ශිල්පීන්ගේ අංග චලනත්, හඬ ශිල්පීන්ගේ කටහඬත් AI එකකට උගන්වා තැබුවාම ව්‍යාපාරිකයාට හෝ දැන්වීම් ආයතනයට ඍජුවම ඒවා භාවිතයෙන් තමන්ට අවශ්‍ය වීඩියෝව සකසා ගත හැකිය. ඔබේ කටහඬ භාවිත කරන වාරයක් පාසා ගෙවීමක් ලබා ගන්නටත් හැකිය. මෙයට replicastudios.com යනු සජීවී උදාහරණයකි.

එහෙත් 'ඩීප්ෆේක්' නිසා ඇති විය හැකි වැ‍රැදි භාවිත නිසා බොහෝ දෙනකු ඊට විරුද්ධය. එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි කළ ප්‍රසිද්ධ සාකච්ඡාවල වීඩියෝවල වේගය අඩු කර, හඬ සංඛ්‍යාත අඩු කර නැවත සැකසූ වීඩියෝ ෆේස්බුක් ඔස්සේ මුදා හැරුණි. එවිට ඒවා ඇසෙන්නේ හරියට ඇය ජනපති ගැන දුක්ඛිත සහ කලකිරුණු ස්වරූපයකින් හෝ අධික ලෙස බීමත්ව කතා කරන්නාක් මෙනි. මේවා සත්‍ය යැයි සිතූ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් ඇයට විවේචන පවා එල්ල වුණි.

ඩීප්ෆේක් හඳුනාගැනීම සඳහා ද පරිගණක මෘදුකාංග සැකසීමට ෆේස්බුක්, මයික්‍රොසොෆ්ට් වැනි ආයතනවල අවධානය යොමුව තිබේ. ඒ සමඟ ඩීප්ෆේක්වලින් පල ලබමින් එය පාලනයකින් යුතුව රිසි සේ අත් විඳින්නට නුදුරු අනාගතයේදී අපට හැකියාව ලැබෙන බවට සැකයක් නැත.

 

තඹරු විජයසේකර

නව අදහස දක්වන්න