අත ඇයගේ ය නම ඔහුගේ ය | දිනමිණ

අත ඇයගේ ය නම ඔහුගේ ය

 

ඇමෙරිකානු ගත් කතුවරියක වන කැතරින් නිකලස් 2015 වසරේදී අමුතු පර්යේෂණයක නියැළුණා ය. ඇය තම ග්‍රන්ථයක අත්පිටපතක් තම නමින් ද, පිරිමි නමකින්ද ප්‍රකාශකයන් කිහිපදෙනකු වෙත යොමු කළාය. පැය විසිහතරක් ඇතුළත ඇගේ පිරිමි නමින් (ජෝර්ජ් නිකලස්) ඉදිරිපත් කළ අත් පිටපත් සඳහා සතුටුදායක පිළිතුරු පහක්ම ලැබුණි. ප්‍රතික්ෂේප වූ ජෝර්ජ්ට පවා ප්‍රසංශාත්මක හා දිරි ගන්වන සුළු ප්‍රතිචාර ලැබුණි. එහෙත් කැතරින්ට කැඳවීම් ලැබුණේ ප්‍රකාශකයන් දෙදෙනකුගෙන් පමණි.

ගැහැනු සහ පිරිමි නම් දෙකකින් ඉදිරිපත් කළ එකම අත් පිටපතකට දෙවිදියක ප්‍රතිචාර ලැබීම ගැන කැතරින් නිකලස් කතුවරිය දක්වන්නේ මෙබඳු අදහසකි.

"ප්‍රශ්නය තිබුණෙ මගේ නව කතාවේ නෙවෙයි. මගේ නමේ. කැතරින් කියන නමේ."

 

ප්‍රකාශකයන් විසින් ලේඛිකාවන් ප්‍රතික්ෂේප කිරීමේ කතාව සාහිත්‍ය ඉතිහාසයේ බොහෝ ඈතට දිවයයි. මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු යුගයේ දී ලේඛන කලාව ස්ත්‍රීන් සඳහා නො වේ ය යන මතය තදින් සමාජ ගතව තිබිණි. පසු කලෙක සුප්‍රකට ලේඛිකාවන් බවට පත් වූ බ්‍රොන්ටේ සහෝදරියන් දෙදෙනාගෙන් චාලට් බ්‍රොන්ටේ 1836 දී ඇය ලියු කවි කිහිපයක් එවකට සිටි ප්‍රවීණ කවියෙකු වූ රොබට් සදී වෙත යැවුවාය. විසි හැවිරිදි චාලට් තමන් ලද ප්‍රතිචාරයෙන් කම්පනයට පත් වූවාය. සදී කවියා මෙසේ කියා තිබුණි

"සාහිත්‍ය යනු කාන්තාවන්ට අයත් වැඩක් නොවේ. ඔවුන් එහි නොයෙදිය යුතුය."

 

කෙසේ වෙතත් ඉන් පසුබට නොවූ චාලට් තම සොයුරියන් වූ එමිලි හා ඈන් ද හවුල් කරගෙන 1846 දී 'පොයම්ස්' නමින් කවි එකතුවක් පළ කළා ය. එහෙත් ඔවුන් තිදෙනාගේ සැබෑ නම් වෙනුවට යෙදුවේ කියුර, එලිස්, හා ඇක්මන් බෙල් යන පිරිමි නම් තුනකි. පසු කලෙක ඔවුන්ගේ සැබෑ නමින් ද එම පොත ප්‍රකාශ කෙරුනි. එසේම ජේන් අයර් නවකතාවෙන් චාලට් බ්‍රොන්ටේ ද වදරින් හයිට්ස් නවකතාවෙන් එමිලි බ්රෝන්ටේ ද ද මෙන්ටන් ඔෆ් වයිල්ඩ්ෆෙල් හෝල් තුළින් ඈන් බ්‍රොන්ටේ ද ලැබූ ජාත්‍යන්තර කීර්තියට ළංවන්නට වත් ඔවුන්ට හරස් කැපූ රොබට් සදී ට නොහැකි විය.

 

පැරැණි සාහිත්‍ය තුළ බලපැවැත්වූ පුරුෂාධිපත්‍යය නිසා බොහෝ ලේඛිකාවන් තම නිර්මාණ පළ කළේ ආරූඪ කරගත් පිරිමි නම් වලිනි. වෙස්වළාගත් එම පිරිමි ලේඛකයින් සාහිත්‍ය සමාජයේ මුල් පෙළ අසුන් හිමිකරගත්තේ කාන්තාවන් ගේ ප්‍රතිභාව ද පිරිමින්ට නොදෙවෙනි බව කියාපාමිනි.

 

‘සයිලස් මාතර්’ නමැති සුප්‍රකට නවකතාව ලියූ ජෝර්ජ් එලියට් පසුපස සිටියේ මේරි ඈන් එවන්ස් කතුවරියයි. ලිට්ල් විමෙන් හැ බිහයින්ඩ් අ මාස්ක් ලියූ ඒ. එම් බර්නාඩ් යනු ලුයිසා මේ ඇල්කොට් ය. අයිසැක් ඩින්සෙන් නමින් අවුට් ඔෆ් ඇමරිකා (චිත්‍රපටයකට ද නැගුනි) ලියුවේ කැරන් බ්ලික්සන් ලේඛිකාවයි.

 

හැරි පොටර් පොත් පෙළ තුළින් මහා ජනප්‍රියත්වයක් ලැබූ ජේ කේ රෝලින්ග් ලේඛිකාවගේ සම්පූර්ණ නම වූයේ ජෝ ඈන් කැත්ලින් රෝලින්ග් ය. එහෙත් ග්‍රන්ථ ප්‍රකාශනයේදී ජේ කේ යන මුලකුරු යොදමින් පිරිමි ගතියක් ගැනීමට ඇයට සිදුවූයේ ප්‍රකාශකයාගේ ඉල්ලීම මතය. ඔහුගේ අදහස වූයේ ගැහැනු ළමයින් මෙන්ම පිරිමි ළමයින්ද ආකර්ෂණය කර ගැනීම සඳහා ගැහැනු බව වසන් කර තැබීම වඩා යෝග්‍ය බව ය. එහෙත් සිදුවූයේ ප්‍රකාශකයා නොසිතූ දෙයකි. හැරි පොටර් ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙද්දී ජේ.කේ. රෝලින්ග් යනු කාන්තාවක් බව ද ප්‍රසිද්ධියට පත්විය.

 

ගත් කතුවරියන් තමන්ද කතුවරුන්ට නොදෙවෙනි බව සනාථ කරනුයේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ද දිනා ගැනීමෙනි. නොබෙල් සාහිත්‍යය ත්‍යාගය හිමිකරගත් ප්‍රථම කාන්තාව වන්නේ ස්වීඩනයේ සෙල්මා ලැජලොෆ් ය. ඒ 1909 දීය. ඉන්පසුව, 1926 දී ඉතාලියේ ගාර්සියා දෙලේදා ද 1928 දී නෝර්වේහි සිග්රිඩ් උන්සෙඩ් ද, 1938 දී ඇමරිකාවේ පර්ල් එස් බක් ද, නොබෙල් සාහිත්‍යය ත්‍යාගය දිනා ගැනීමට සමත් වූහ.

 

එම නාමාවලියට ඩොරිස් ලෙසින්ග් (එක්සත් රාජධානිය) එල්ෆ්රීඩ් ජෙලින්ක් (ඔස්ට්‍රියාව) හර්මා මුලර් (ජර්මන් - රුමේනියා) ඇලිස් මන්රෝ (කැනඩාව) ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච් (බෙලරූස්) ඔල්ගා මොකාර්යුක් (පෝලන්තය) විස්ලාවා සෙම්බොර්ස්කා (පෝලන්තය) ආදීහු ද එක් වෙති.

 

නොබෙල් දිනූ පළමු කළු ලේඛිකාව ඇමරිකාවේ, ටෝනි මොරිසන් ය.

 

නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට පමණක් දෙවැනි වන බුකර් සාහිත්‍ය ත්‍යාගය දිනා ගැනීමේ දී ද ලේඛකයා අබිබවා ලේඛිකාවන් ඉදිරියට පැමිණීම වර්තමානයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. (අභාග්‍යයකට මෙන් එම ලේඛිකාවන් සිංහල පාඨකයාට ආගන්තුකය. ඔවුන්ගේ කෘතියක් සිංහලට නැගෙන්නේ ඉතා කලාතුරකිනි. පරිවර්තන පරිවර්තිකාවක් බොහෝ වෙතත් ඔවුන් තෝරා ගනුයේ තමන්ට වැටහෙන සරල නොගැඹුරු ග්‍රන්ථය බව පෙනී යයි.)

 

පිරිමි නමින් ලියුවත් ඔවුන් කාන්තාවන් බව හඳුනාගෙන සිටි ප්‍රකට ලේඛකයෝ හා කලාකරුවෝ ද සිටියහ. ජෝර්ජ් සෑන්ඩ් නමින් ලියූ ප්‍රංශ ලේඛිකා අමෙන්ටින් ලුසිල් පිරිමි ලේඛක සමාජයේ ජනප්‍රිය චරිතයක් විය. නිතරම දිග කලිසමකින් සැරසී සිටි ඇය සුරුට්ටු පානය කළාය. වංශවතකු හා විවාහ වී සිටිය ද අමෙන්ටින්ට නොයෙක් පෙම් සබඳතා විය. ඉන් එක් අයකු වූයේ ලෝකප්‍රකට සංගීතඥ පෝලන්ත ජාතික ෆෙඩ්රික් චොපින් ය. ඔහු එක් වතාවක් තම මිතුරු සංගීතඥයකු ගෙන් ඇත්තෙන්ම මේ ගැහැනිය සැබෑ ගැහැනියක් දැයි අසා සිටියේය.

 

අමෙන්ටින් එතරම් නිදහස් ගති පැවතුම් ඇතිව සිටියාය. ඇයගේ තවත් පෙම්වතකු වූයේ ප්‍රංශ නවකතා කරු ගුස්ටාව් ෆ්ලෝබෙයාර් ය. ඔහු ප්‍රංශයේ ගම්බද දිවිය පසුබිම් කරගත් ජෝර්ජ් සෑන්ඩ් ගේ නවකතා, රුසියානු ගත්කරු තුර්ගනියෙව්ට සම කළේය. අමෙන්ටීන් ගේ මල ගමේදී ෆ්ලෝබෙයාර් දරාගත නොහැකි ශෝකයෙන් හඬා වැලපුණේ ය. ෆ්ලෝබෙයාර්ට මදුම් බෝවාරි වැනි නවකතා ලිවීමේදී අමෙන්ටීන් වැනි නිදහස් මතික ප්‍රේමණීය කාන්තාවන්ගේ ඇසුර ද උපකාරී වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

 

පුරුෂාධිපත්‍ය මතවාද කාන්තා සාහිත්‍යයට බාධා කළ ද බොහෝ ගත් කතුවරුන් ගේ කෘතීන් හි ප්‍රධාන චරිත බවට පත් වූයේ කාන්තාවන් වීම උත්ප්‍රාසජනක ය

 

පිරිමි නම්වලට වසං වෙමින් හෝ වෙනත් ආරූඪ නම් යොදා ගනිමින් ලිවීමේ යෙදුණු ලේඛිකාවන් ලොව බොහෝ රටවලින් සොයාගත හැක. බින්ග් ෂිං යන ආරූඪ නමින් ලියූ සී වැන්ග්යින් එබඳු චීන ලේඛිකාවකි. ඇයගේ රචනා ශෛලිය මහත් සේ ජනප්‍රිය වූ අතර එය බින්ග් ෂිං ශෛලිය නමින් හැඳින්වුණි. ඇයගේ කාව්‍ය ශෛලිය 'වසන්ත ජලධාරා' නමින් නම් කෙරුණි.

'නූතන සාහිත්‍යයේ මිත්තණිය' යන ගෞරව නාමයෙන් හැඳින්වුණු බින්ග් ෂිං චීන ලේඛක සංවිධානයේ මුලසුන ද දරුවා ය.

 

පිරිමි දෘෂ්ටිකෝණයකින් කාන්තාව දෙස බලමින් ඇය ලියූ කතා පෙළ මහත් සේ ජනප්‍රිය විය. එහි පළමු කතාව පළ වූයේ 1941 දී එරට පළ වූ සඟරාවක ය. පසුව ග්‍රන්ථයක් වශයෙන් පළ වූ එම කතා දාසයක එකතුව about women නමින් ඉංග්‍රීසියට නැගුණි. (චීන ජාතික ෂොං ලී ගේ අධීක්ෂණයෙන් යුතුව මවිසින් සිංහලට පරිවර්තනය කළ කත ගැන කතා නමින් 1018 දී ප්‍රකාශයට පත් කෙරුණි.) විවිධ කාන්තා චරිත වටා ලියැවුණු බින්ග් ෂිං ගේ එම කතා විටෙක උපහාසාත්මක ය, උත්ප්‍රාසාත්මක ය. තවත් විටෙක ශෝකීය. මනුෂත්වය උදෙසා දල්වන ලද පහන් එළි බඳුය.

 

බින්ග් ෂිං ගේ ග්‍රන්ථයෙහි පළමු ලිපිය ඇය අරඹන්නේ මෙසේය.

 

" පිරිමියකු ගැහැනුන් ගැන ලිවීමට යෑම තුළ කිසියම් හෝ නොගැලපෙන බවක් ඇතැයි පෙනීමට ඉඩ ඇත. එය කිසියම් උපහාසාත්මක කටයුත්තක් ද , නැතහොත් යම් පෙම් පළහිලව්වක් ද කියා ප්‍රශ්න කිරීමට ද ඉඩ ඇත්තේ ගැහැනු ගැන ලිවීම ගැහැනුන්ට ම අයත් කාර්යයක් ලෙස සලකමිනි. මිලියන 200 ක් පමණ වන චීන ජනතාව අතරේ ගැහැනුන් කෙරෙහි වැඩිපුරම ගෞරවය හා සැලකිලි දක්වන එකම මිනිසා මම යයි සිතමි. මා පිළිබඳව දන්නා අය මා සතු ගැහැනු ගති ගැන ද දනිති. ගැහැනුන් සතු මුදු බව ඉවසීම හා කල්පනාකාරී ගුණය මා සතුය. මට සොයුරියන් නොමැතිවීම හා මා අවිවාහකයකු වීමද ගැහැනුන් ගැන කතා කිරීමට ඇති අමතර සුදුසුකම් ය. එහෙත් මගේ මව හැර මගේ ජීවිතයට සමීප වෙනත් ගැහැනුන් නැත. මගේ මිතුරන්ගේ භාර්යාවෝ මගෙන් නිතර මෙසේ විමසති.

 

" දැන් ඔබේ වයස හතළිහත් පැනලා. හොඳ රස්සාවක් වගේම ප්‍රසිද්ධ නමකුත් තියෙන එකේ ඇයි හොඳ නෝනා කෙනෙක් හොයා ගන්නෙ නැත්තෙ?"

 

" මට තාම හොඳ කෙනෙක් මුණගැහුණේ නෑ."

 

" කොයි වගේ කෙනෙක්ද හොයන්නේ. අපිට කියන්නකො බලන්න අපි බලන්නම් හොඳ කෙනෙක් හොයල දෙන්න."

 

මෙබඳු අවස්ථාවල මම ලැජ්ජාවට පත් වන්නා සේම මට අවශ්‍ය වන්නේ කෙබඳු කතාවක් දැයි කියා ගත නොහැකිව පසුබාන්නෙමි.

 

දිනෙන් දින එකතු වන මා ප්‍රිය කරන ගැහැනු ලක්ෂණ ගණන අනුව බලන කල මම පරිපූර්ණ ගැහැනියක මවා දීම දෙවියන් වහන්සේට ම භාර දිය යුතුයි. මගේ මිතුරකු ඔහුට බිරියක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කාරණා විසි හයක් සඳහන් කර තිබුණි. වසර දහයක් ගතවූ පසු ඔහුට ගැළපෙන බිරිඳ සොයාගත නොහැකිවිය. අවසානයේ ඉතුරු වූයේ ඇය ගැහැනියක විය යුතුය යන කොන්දේසිය පමණි.

 

පසු වදනෙහි ලා බින්ග් ෂිං මෙසේ සඳහන් කරයි:

 

" හතළිස් වසරක අපක්ෂපාතී නිරීක්ෂණයෙන් පසු ගැහැනිය පිළිබඳ මා බැසගත් වැදගත් නිගමනය පැරණි කියමනකට සමානය.

 

" පිරිමියා තම ජීවිකාව සඳහා ජීවත් වෙයි. ගැහැනිය ආදරය වෙනුවෙන් ජීවත් වෙයි." එහෙත් ආදරය වෙනුවෙන් ජීවත් වීම තරම් වාසනාවට හෝ අවාසනාවට හේතු විය හැකි තවත් දෙයක් නැත.

 

කපිල කුමාර කාලිංග

 

නව අදහස දක්වන්න