කට්ටක් කන්න ම වෙනවා | දිනමිණ

කට්ටක් කන්න ම වෙනවා

කාවින්ද දිල්ශාන්

‘මන්ද පමා’ ගීතය you tube මාධ්‍ය තුළ මේ ගීතය කෙටි කලකදී අති විශාල ජනප්‍රියත්වයක් ලැබීය. එය ගායනා කරන්නේ උමාරියා සිංහවංශ විසිනි. ගීතය විඳින විට ඉතා සිත්ගන්නා සුලු පසුතලයක් දර්ශනය වේ. ඒ සඳහා නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණයෙන් දායකත්වය දුන්නේ නව යෞවනයෙකි. ඔහු කාවින්ද දිල්ශාන් ය.

 

l කලා ක්ෂේත්‍රයට එන්න මාර්ගය විවර වුණ හැටි අපි මුලින්ම කතා කරමු.?

මම ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලෙන් චිත්‍ර විෂය උසස් පෙළට හදාරනවා. මගේ ප්‍රධාන අරමුණ වුණේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට එන එක.

ඒ කඩඉම මා ජයග්‍රහණය කළා. අද මා විශ්ව විද්‍යාලයේ පළමු වසරේ මාධ්‍ය අධ්‍යයනය අංශයේ අධ්‍යාපනය හදාරනවා.

 

l කොළඹට ආවට පස්සේ කලාව පිළිබඳව වැඩිදුර අධ්‍යයනය සඳහා යොමු වෙනවද.?

ඔව්. කොළඹදී දමයන්ති ෆොන්සේකා ගුරුතුමියව මට මුණ ගැහෙනවා.

ඇය යටතේ රංග කලාව පිළිබඳව හදාරන්න අවස්ථාවක් මට ලැබෙනවා. ඇයගේ ලැබෙන එක් උපදෙසක් තමයි රංගනය වගේම ආනුෂාංගික කලා මාධ්‍ය පිළිබඳව හැදෑරීමක් කරන්න කියන එක. ඒ හරහා තමයි කලාවේ අනෙකුත් ඉසව් පිළිබඳ වඩාත් අවධානය යොමු කරන්න මගේ අවධානය යොමුවෙන්නේ.

 

l අතිශය ජනප්‍රිය වන රූප රචනාවක් වන "මන්ද පමා" ගීතයට නවකයකු ඔබ ලෙස සම්බන්ධ වෙනවා.?

ඒ සඳහා මාව යෝජනා කරන්නේ අධ්‍යක්ෂවරයා වන හසින්ත් පතිරණ. ඔහු සමග මම එක්තරා වෙළෙඳ දැන්වීමක කලින් වැඩ කළා. එතනදි තමයි මට මුලින්ම ඔහුව මුණ ගැහෙන්නේ. ඔහු විදෙස් නිෂ්පාදන වල පවා කටයුතු කළ අත්දැකීම් බහුල නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. දවසක් මට දුරකථනයෙන් කතා කළා.

ඔහුගෙන් ලැබුන ආරාධනය මතයි මේ නිර්මාණයට මා සම්බන්ධ වෙන්නේ.

 

l "මන්ද පමා" ගීතයේ පසුතල නිර්මාණය කිරීම සඳහා මොන වගේ අධ්‍යයනයක ද යෙදෙන්නේ ?

මේ ගීතය මුලින්ම අරාබි හා ඊජිප්තු මෙලඩි එකකට ගායනා වන බව හැඟී ගියා. අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වුණේ එහි වර්ණ හා හැඩතල මිශ්‍ර වුණු අරාබි සම්ප්‍රදායට යන නිර්මාණයක්. ඒ සඳහා නිර්මාණ ආකෘති කීපයක්ම මා අතින් යෝජනා වුණා. එයින් අප තෝරාගත් කොටස් තුනකින් ගීතයේ පසුතලය නිර්මාණයට යොදා ගන්නවා.

 

l කොහොමද මේ නිර්මාණය මූලිකවම ගොඩනැගෙන්නේ.?

නිර්මාණය වන්නේ අභ්‍යන්තර පසුතලයක. ඒ නිසා සම්පූර්ණ පසුතලය වැලිවලින් පිරවීමට කටයුතු කළා. ඒ තුළින් කාන්තාරයක භූමි දර්ශනයක් මතු කර ගන්න හැකි වුණා. අභියෝගය වුණේ රංගනය අතරතුර නැවත නැවතත් මතුපිට වැලි තට්ටුව පිළිවෙළකට සකස් කරන එක. ඒ වගේම පිඹුරෙකු යොදා ගන්නටත් අපට සිදුවුණා. එයත් අමතක නොවන අත්දැකීමක්. මෙහි යොදාගෙන තිබෙන පසුබිම අලංකරණ සඳහා ස්වාභාවික මල් යොදා ගන්නත් කටයුතු කළා.

ඒ වගේම කෘත්‍රිම වැස්සක් නිර්මාණය කරන්න සිදුවුණා. මේ සඳහා මගේ සරසවි මිතුරන් වන ධනුක සහ කොන්තවර්ධන සහය කලා අධ්‍යක්ෂවරුන් විදිහට කටයුතු කළා. ඒ වගේම මෙහිදී තරිදු සහෝදරයාත් අපට උදව් වුණා.

ගීතය ගායනා කරන්නේ වගේම ගීතය නිරූපණය කරන්නේ උමාරියා සිංහවංශ අක්කා. ඇය සමග වැඩ කරන්න ලැබීමම ලොකු අත්දැකීමක්. ඇයගෙන් විශාල සහයෝගයක් අපිට නිතරම ලැබුණා. ඒ වගේම ඇයගේ කැපවීම ඉතාමත් විශාලයි. ඒ තුළ තමයි මේ ජයග්‍රහණය කණ්ඩායමක් විදිහට අපි ලබන්නේ.

රූප රචනාව ගැන කතා කරනකොට අධ්‍යක්ෂවරයා හසින්ත් පතිරණ අමතක කරන්න බැහැ. මේ ගීතය මෙතරම් ජනප්‍රිය වීම පිළිබඳ බලාපොරොත්තුවක් ඔහුට තිබුණා. ඔහුගේ අදහස වුණේ මේ ගීතය ප්‍රේක්ෂක ආකර්ෂණයට අනිවාර්යෙන් රැගෙන යන බව. කොරෝනා තත්ත්වයට පළමුවයි මේ ගීතය රූගත කරන්න අප සැලසුම් කර තිබුණේ. නමුත් නිරෝධායන නීති යටතේ අවසර ලබාගෙනයි මේ ගීතය පසුව රූගත කිරීම් සිදුවන්නේ.

අධ්‍යක්ෂවරයා හොඳ සාකච්ඡාවක හිටියා. ඒ නිසා අපටත් වඩාත් පහසු වුණා ඔහු සමඟ කටයුතු කරන එක.

 

l තරගකාරී මාධ්‍ය වටපිටාවක ජනප්‍රිය කලා නිර්මාණයක නවකයෙකුට වැඩ කරන්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්.?

ඔව්. කලා ක්ෂේත්‍රයට එන එක ඉතා අමාරු වැඩක්. හරියට කිව්වොත් මේ ක්ෂේත්‍රෙය් කැපිලි වැඩියි. ඒ වගේම උදව් කරනවා ඉතා අඩුයි. ඒ වෙනුවෙන් අපට කට්ටක් කන්න වෙනවා. ඒ කැපවීම කරන්න පුළුවන් නම් අපේ ගමන නිර්මාණය වේවි කියලා මම විශ්වාස කරනවා.

ෂර්ලි සමරසිංහ

නව අදහස දක්වන්න